ආකර්ෂණීය බුද්ධිමත් වඳුරු රාශි හිමියෝ

ජූලි 14, 2023

 

 

චීන රාශි චක්‍රයේ නව වැනි රාශිය වන්නේ වඳුරාගේ රාශියයි. වඳුරාගේ රාශියට අයත් වන්නේ 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016 යන වසරවල ඉපදුණ පුද්ගලයන් ය. වඳුරා දක්ෂ, සජීවී ගුණයෙන් යුතු මායාකාරී සත්ත්වයෙකි. මිනිසුන්ට බොහෝ සමානකම් ඇති නිසා මේ සත්ත්වයා බොහෝ සංස්කෘතීන් හි මිනිසුන් විසින් අගය කරනු ලබන අතර චීන සංස්කෘතියේ ද වඳුරාට විශේෂ තැනක් හිමි වේ.

 

වඳුරාගේ රාශියේ උපන් අය නිර්මාණශීලීත්වය හිමි පුද්ගලයන් ය. ඔවුන් බොහෝ විට නම්‍යශීලී වේ. මොවුනට තියුණු නිරීක්ෂණයක් හා බුද්ධිමත් සංවාදවල නිපුණත්වයක් හිමි ය. එමෙන්ම වඳුරු රාශිය හිමි පුද්ගලයන් ඉතා දක්ෂ මිත්‍රශීලී අයයි. ඕනෑම අයකුගේ සිත් ඇදගැනීමේ හැකියාව ඇති දෝෂ රහිත සන්නිවේදන කලාව මේ අයට උපතින්ම හිමි ය. මේ රාශියේ ඇති විශේෂත්වය වන්නේ ද එයයි.

මේ රාශියේ ඇතැම් පුද්ගලයන් සමහර විට තරමක් ආත්මාර්ථකාමී සහ පළිගන්නා සුළු බවක් ද පෙනෙන්නට තිබේ. එසේම වඳුරු රාශියේ කාන්තාවන් ඔවුනගේ තරගකරුවන් හා අනුකම්පා විරහිත ආකාරයෙන් ක්‍රියා කරයි. නමුත් ඔවුන් සතුව සිත් ඇදගන්නා චමත්කාර සුළු බවක් හා අලංකාරයක් ද ඇත. මොවුනගේ සමාජ සම්බන්ධතා සෑමවිටම ක්‍රියාශීලී වන අතර අවධානය ලබා ගැනීමට උනන්දුව දක්වන නිසා විශ්වසනීයත්වයෙන් අඩුය.

මකර රාශියේ අය හා වඳුරු රාශියේ අය හොඳීන් ගැළපෙන බව පැවසිය හැකිය. ඔවුන් විවාහ ජීවිතයක් ගත කිරීමට මෙන්ම සාමාන්‍ය සමාජ සම්බන්ධතා සඳහා ද හොඳ ගැළපීමක් වන්නේ එකිනෙකාට හොඳීන් ඇහුම්කන් දීමේ ගුණය නිසයි. එය ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට හේතුවක් වේ.

වඳුරු රාශියේ අයගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ බුද්ධියයි. කුඩා කාලයේ දී ඔවුන් සම්මාන, ත්‍යාග ආදිය ලබන ගුරුවරුන්ගෙන් පැසසුම් ලබන අය වේ.

වැඩිහිටියන් ලෙස ඔවුන් වෘත්තීය පිළිගැනීමක් ලබාගෙන විශිෂ්ට නායකයන් බවට පත්වීමට සුදුසුකම් ලබයි. මේ නිසා ඔවුන් තරමක් අහංකාර ය. තීරණ ගැනීමේ දී ඔවුන් බොහෝ විට ගෞරවනීය නොවන අතර ආත්මාර්ථකාමී ගති ප්‍රකට කරයි. එමෙන්ම ඔවුන් තමාට වඩා අනෙක් අය හොඳීන් ක්‍රියා කරන විට ඊර්ෂ්‍යාකාරී වේ. ඔවුන් අතිශයින් තරගකාරී වන අතර එය ධනාත්මක ලෙසින් මෙන්ම ඍණාත්මක ලෙසින් ද බලපෑ හැකියි. වඳුරු රාශියේ පුද්ගලයන් තමාට හමුවන සෑම අයෙක්ම ගුරුවරුන් ලෙස සලකන

අතර විවේචනයට, සවන් දීමට සහ වැරැදිවලින් ඉගෙනීමට කැමැත්තක් දක්වයි. ඔවුන් සන්සුන් හා තාර්කික චින්තකයන් වන නිසාම සෑම විට ම ජයග්‍රහණ ලබා ගැනීමට මෙන්ම අවසාන ජයග්‍රාහකයා වීමට හැකි වේ. වඳුරාගේ වසරේ උපන් පිරිමින් උද්‍යෝගිමත් හා වගකිව යුතු පුද්ගලයන් වේ. ඔවුන් හාස්‍යජනකබව ප්‍රිය කරන චරිත වන අතර ඕනෑම අයකුට සිනහවක් ඇති කළ හැකි වීම විශේෂත්වයකි. තමාට අවශ්‍ය දේ පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ද ඔවුන් සතුය.

මුරණ්ඩු සහ තරමක් නොමේරූ ගති ඇති චරිත වුවත් ඉවසිලිවන්ත බවින් ද යුතුය. රුචිකත්වයන් නිරන්තරයෙන් වෙනස් වන බැවින් ඔවුනට යම් යම් දේ විඳ දරා ගැනීමට අපහසු ය. අවස්ථාවාදී චරිත විය හැකි බැවින් දිගු කාලීන සබඳතා පවත්වාගැනීමට අපහසු ය.

වඳුරාගේ වසරේ උපන් කාන්තාවන් සමාජශීලී වන අතර අන් අය සමඟ පහසුවෙන් සබඳතා ඇතිකර ගනී. මිනිසුන් නොදැනුවත්වම ඇගේ සුන්දරත්වයට හා උණුසුම් පෞරුෂයට ආකර්ෂණය වේ. ඔවුනට උසස් ප්‍රමිතීන් හා අපේක්ෂාවන් ඇත. මෙම කාන්තාවන් අදහස්වලින් පිරී ඇති ඉහළ තරගකාරීත්වයක් ඇති පිරිසකි. දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට ඔවුන් අන් අයගේ අනුකම්පාව, අන් අයට යටත් වීම, අන් අයගෙන් සැනසීම අපේක්ෂා නොකරයි. ඔවුන් තුළ ඇති විශ්වාස නිසා පමණට වඩා සුබවාදීව හිතන චරිත වේ. නමුත් ඔවුන් වගකීමෙන් යුතු නම්‍යශීලී චරිත ඇත්තියන් ය. ඉක්මනින් වෙනස් වන පරිසරයට අනුව අනුවර්තනය වන අතර අලුත් මිතුරන් ඇතිකර ගැනීමේ දක්ෂතාවක් ද ඇත.

වඳුරාගේ රාශිය හිමි ඔබට ඇසුරු කිරීමට වඩාත් සුදුසු රාශීන් වන්නේ සර්ප, මකර හා මීයාගේ රාශිවල පුද්ගලයන් ය. වඳුරන් සහ සර්පයන් අතර සම්බන්ධය ඉතා සාමකාමීය.

ඔවුන්ට වඩාත් ගැළපෙන හා සමාන පෞරුෂ ලක්ෂණ හිමිය. වඳුරාගේ රාශියේ පුද්ගලයන් අසහනයට පත් වූ විට ඔවුන් සතුටින් තැබීමට මීයාගේ රාශියේ පුද්ගලයන්ට හැකියාව පවතී. ඔවුන් එක් වූ අවස්ථාවන් සිනාවෙන් පිරී තිබේ. මකරාගේ රාශියේ අයට ද වඳුරු රාශියේ පුද්ගලන්ට සතුට ගෙනදීමට හැකියාව ඇත.

වඳුරාගේ රාශියේ අයට කොටියාගේ රාශියේ අය නොගැළපෙන්නේ ඔවුන් එකිනෙකා ගැන සැක කරන බැවින් හා එකිනෙකා සමඟ දැඩි ලෙස ගැටෙන බැවිනි. ඌරාගේ රාශියේ අයට හා වඳුරු රාශියේ අයට සමාන ජීවන අරමුණු හා අවශ්‍යතා නොමැත. එමෙන්ම සන්නිවේදනය කිරීමට අපහසු බැවින් සබඳතා දිගුකල් නොපවතී.

වඳුරු රාශියට වාසනාව ගෙන දෙන වර්ණ වන්නේ සුදු, රන්වන් පැහැය හා නිල් වර්ණයන් ය.

වාසනාව ගෙන දෙන අංක වන්නේ: 1, 7, 8 අංකයි.

වාසනාව ගෙන දෙන පාෂාණය වන්නේ: ටොපෑස් ය.

වඳුරු රාශියට අවාසනාව ගෙන දෙන වර්ණ ලෙස කළු, අළු, තද දුඹුරු වර්ණයන් දැක්විය හැකියි. අවාසනාව කැඳවන අංක ලෙස 2, 5, 9 අංක දැක්විය හැකියි. මොවුනට සුදුසු රැකියා වන්නේ අවදානම් සහගත හා අභියෝගාත්මක රැකියා ය. එම නිසා වෘත්තීය ක්‍රීඩකයන් වීම හා තැරැව්කාර රැකියා සුදුසු වේ. තාර්කික චින්තනය, බොහෝ ක්ෂේත්‍ර පිළිබඳ දැනුම ඇති නිසා රහස් පරීක්ෂක, සංස්කාරක, නීතිඥ වෘත්තීන් හොඳීන් ගැළපේ.

කෙසේ වුවද මොවුනට කෙටි කාලීන ලෙස රැකියාවල යෙදීම වඩාත් සුදුසු වන්නේ එක් දෙයකට ඇලී සිටීමට අකැමැති නිසයි.

වඳුරු රාශියේ පුද්ගලයන් ක්‍රියාශීලී අය වන අතර ඔවුන් ඒ නිසාම අනතුරුවලට ගොදුරු විය හැකිය. සෙම්ප්‍රතිෂ්‍යාව සහ උගුරේ අමාරුව බහුලව වැලඳෙන රෝග වන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. එමෙන්ම ඔවුන් තමාගේ මානසික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. අන් අය සිතන දේ ගැන ප්‍රමාණයට වඩා සැලකිලිමත් වන අතර ඒ නිසා පහසුවෙන් මානසික අවපීඩනයට ලක් විය හැකිය.

දැන් අපි මේ වසර වඳුරාගේ රාශියේ ඔබට කුමනාකාරයේ සුබා සුබ ලබා දෙන්නේ දැයි විමසා බලමු. ඔබ මේ වසරේ දී තමාගේ වැඩ පිළිබඳ එතරම් උනන්දුවක් නොදක්වන අතර යම් පසුබෑමකට මුහුණ දෙන්නේ නම් ඔබ එය අතහැරීමට තීරණය කළ හැකිය.

නමුත් එය එතරම් සුදුසු දෙයක් නොවන බැවින් එසේ නොකිරීමට වගබලා ගන්න. වඳුරු රාශියේ ඔබට මේ වසර ආදරණීය වසරකි. ඔබ ආදරයේ නියම ස්වභාවය අත්විඳීනු ඇත. අවිවාහක අයට ඔබ කෙරෙහි වඩාත් උනන්දුවක් දක්වන පිරිස් හමුවිය හැකි අතර

වඩාත් ගැළපෙන අයෙක් ඒ අතරින් තෝරා ගැනීමට හැකි වේ. විවාහක ඔබට මේ වසරේ දී ඔබේ සබඳතාව උණුසුම් ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකිවේ. ඔබ දෙදෙනා කොපමණ කාලයක් එක්ව සිටියා වුවත් ඔබේ සහකරුවාට මේ සබඳතාව නැවුම් ලෙස පෙනිය හැකියි. කෙසේ වෙතත් ඔබ දෙදෙනා අතර යම් විරසකයක් ඇති වූ විට එය ඉවසා අනෙකා වෙනුවෙන් කැපවීමෙන් සතුට දිගුකාලීනව රඳවාගත හැකිය. සමාව දීම සහ අනෙකා අතින් වූ අතපසුවීම් අමතක කිරීම මඟින් මේ වසර ඔබට ආදරණීය වසරක් කරගත හැකියි. එම අවස්ථාව කිසිදු විටෙක පැහැර නොහරින්න.

මේ වසර ඔබට වැඩ හා අභියෝග බහුල වසරක් වේ. යම් සාධාරණ හේතුවක් නිසා කවුරුන් හෝ ඔබව විවේචනය කරන්නේ නම් සමාව අයැද ඔබේ වැරැද්ද හෝ අඩුපාඩුව සකසාගෙන වඩා හොඳ දෙයක් කිරීමට උත්සාහ කරන්න. නිහතමානීව තමාගේ කටයුතු නිවැරැදිව සිදු කරමින් ඉදිරියට යන්න. මේ වසරේ දී ඔබේ ඉවසීම මඳක් නැතිව යා හැකි බැවින් කෝපය කිසිම ගැටලුවකට සාර්ථක විසඳුමක් නොවන බව සිතට ගන්න. ඉන් සිදුවන්නේ ගැටලු වැඩි වී ආරවුල් වැඩි වී හිත් අමනාපවීම් ඇති වීම පමණක් බව සිතා කටයුතු කරන්න. ආවේගශීලී තීරණ ගැනීමෙන් වළකින්න. සැලැස්මක් සාදාගෙන හැකි උපරිමයෙන් ඒ අනුව කටයුතු කරන්න.ආර්ථික තත්ත්වය යම් ආකාරයකින් ඔබ සිදු කරන කාර්යයන්ට සාධාරණ නොවිය හැකිය.

ඔබගේ කැපවීම, උනන්දුව මත රැකියා ස්ථානයේ හා ආර්ථිකයේ දියුණුවක් බලාපොරොත්තු විය හැකි බැවින් හැකි සෑම විටම උකටලී නොවී, සිය උපරිමයෙන් කැප වී ආර්ථික තත්ත්වය ගොඩනඟා ගන්න. ඔබ පෙර වර්ෂවලට වඩා වෙහෙස මහන්සි වීවැඩ කළ ද ඔබේ ආදායම වැඩි නොවන්නේ නම් අවම වශයෙන් ඔබේ ආර්ථිකය ස්ථාවරව පැවතිය යුතුය. මේ වසරේ දී ආයෝජන සිදු කිරීමට නොයන්න. අරපිරිමැස්මෙන් ජීවත් වීම සුදුසුය. අත්‍යවශ්‍ය නොවන කිසිවක් මිලදී නොගන්න. එසේ යමක් ඉතිරිකර ගැනීමට සිතට ගන්න.

අධ්‍යාපනය ලබන වඳුරාගේ රාශියේ ඔබට මෙය දුෂ්කරම වසරක් විය හැකිය. ඔබගේ යම් පසුබැසීමක් නිහතමානීව ඉවසා වෙනදාට වඩා වෙහෙස මහන්සි වී වැඩ කරන්න.

බුද්ධිය අවදිකර කටයුතු කරන්න. ඔබේ ගුරුවරුන්, සහෝදර සහෝදරියන්, දෙමාපියන් හෝ සෙසු සිසුන්ගෙන් ඔබගේ අධ්‍යාපනය වෙනුවෙන් උපකාර ලබා ගන්න. තනිවම සෑම දෙයක්ම කළ යුතුයැයි නොසිතා අන් අයගේ උපකාර ද ඔබේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබා ගැනීමට නිහතමානී වීම සුදුසුයි.

වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අපි ඔබට යෝජනා කළත් වැඩ කරන අතර තමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ද අවධානයෙන් කටයුතු කරන්න. අනවශ්‍ය ලෙස වෘත්තීය පීඩාවන් ඇතිකර නොගන්න. මිතුරන් හා පවුලේ අය සමඟ සිටීමට කාලය වෙන්කර ගන්න. අනවශ්‍ය ලෙස පීඩනයන් දැරීමෙන් ඔබගේ සෞඛ්‍ය පිරිහීමට ලක්විය හැකි බැවින් තමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතා අනවශ්‍ය පීඩාවන්ගෙන් ඈත් වී සිටින්න. මේ පීඩනයන් අවම කරගැනීම සඳහා ව්‍යායාම කිරීම ද ඔබට සුදුසු ය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.