ඒරාෂ්ටක කාලයේ අමතක නොවන දේ සිදුවේ

අගෝස්තු 2, 2024

මකර ලග්නය දරන මගේ මිත්‍රයකුගේ උත්පත්ති කේන්ද්‍ර සටහන තුළ චන්ද්‍රයා 3 වැනි භාවයෙහි තැන්පත්ව ඇත. ඒ අනුව 1995 වසරෙහි ජූනි 1 වනදාත්, 1995 වසරෙහි අගෝස්තු 9 වනදාත් අතර කාලය තුළද 1996 පෙබරවාරි 15 වනදාත්, 1998 අප්‍රේල් 16 වනදාත් අතර කාලය තුළද ඔහුට ජන්ම ඒරාෂ්ඨකයේ උච්චතම අවස්ථාව ගත විනි.

මේ කාලසීමාව තුළ ඔහුට අසුබ සිදුවීමකට මුහුණ දීමට සිදු විය. එනම් ඔහුගේ ආදරණීය මෑණියන්ගේ අභාවයයි. එය ඔහුගේ ජීවිත කාලයටම බලපාන සිදුවීමක් වූ අතර ඒ නිසා ඔහුට පවුලේ වගකීම්වලින් කොටසක්ද පැවරුණි. ඒරාෂ්ටක කාල වකවානුවල හැඬීමට සිදු වන බවද, වගකීම් වැඩි වන බවද, මුළු ජීවිත කාලයටම බළපාන සිදුවීම් සිදු වන බවද අප මීට කලින් ද පැහැදිලි කර ඇත.

ඉහත කී මගේ මිත්‍රයාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව තුළ ඉතාම වාසනාවන්ත සිදුවීමක්ද සිදුවිය. එනම් 1996 වසරෙහි පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත ඔහුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ඉංජිනේරු පීඨයට තේරී පත් වීමය. එනම් ප්‍රථම වතාවෙන්ම ඔහුට ඉහළ ප්‍රතිඵලයක් ලැබී තිබුණි. ඔහු සමඟ කතාබහ කිරීමේ දී පෙනී ගියේ ඔහු විභාගය වෙනුවෙන් අප සිතන තරම්ම කැප කිරීමක් සිදුකර නොමැති බවය. කෙසේ වෙතත් අදාළ විභාග ප්‍රතිඵලය ඔහුගේ මුළු ජීවිතයටම වාසනාව උදා කරන ලදී. ඔහු මේ විශිෂ්ට ප්‍රතිඵලය ලබා ගත්තේ අදාළ විභාගය වෙනුවෙන් දිවා රෑ නොබලා කැප කිරීම් කළ සමහර සිසු සිදුවියන් විභාගය අසමත් වූ පසුබිමක් තුළය.

ඉහත කී මිත්‍රයාට 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදාත්, 2006 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලය තුළද, 2007 වසරෙහි ජූලි 17 වැනිදාත් 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් අතර කාලය තුළද අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇත. එනම් 2007 වසරෙහි මැයි මාසය තුළ ඔහු ඒ වන විට රැකියාව කරමින් සිටි ස්ථානය තුළ උසස් වීමක් ලබන විට මේ අෂ්ටම ඒරාෂ්ටකය කාල අභියස සිට ඇත. එමෙන්ම 2009 වසරෙහි සැප්තැම්බර් මාසයෙහි ඔහු රැකියාවට අමතර ලෙස ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන විටද ඔහු මේ තදබල අෂ්ටම ඒරාෂ්ටක කාලය ගත කරමින් සිට ඇත. එසේනම් තදබල ඒරාෂ්ටක කාල වකවානුවල අසුබ පල පමණක්ම ඇති වන්නේ යැයි පවසන්නේ කෙසේද?

මා වෙත තම කේන්දර සටහන ලබා දුන් තවත් තැනැත්තියකගේ ලග්නය ධනු විය. ඇය මා වෙත කේන්ද්‍ර සටහන ඉදිරිපත් කළේ 2000 වසරෙහි මුල් භාගයේ දී වන අතර ඇයගේ කේන්ද්‍ර සටහනේ ලග්න භාවය තුළ චන්ද්‍රයා විය. ඒ අනුව ඇයට 2004 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් 2005 වසරේ ජනවාරි 6 වැනිදාත් අතර කාලය තුළද, 2005 වසරෙහි මැයි 29 වැනිදාත්, 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදාත් අතර කාලය තුළ ද, 2006 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත්, 2007 වසරෙහි ජූලි 17 වැනිදාත් අතර කාල සීමාව තුළද චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකය සහ ලග්න අෂ්ටම ඒරාෂ්ටකය යන ඒරාෂ්ටක දෙකම ගත වන බව මා හට දැකගත හැකි විය. ඒ අනුව 2004 වසරෙහි අග භාගයෙහි ඇයට නියත ලෙසම රැකියාවක් ලැබෙන බව මම පැවසුවෙමි. මා පැවසූ ආකාරයට ඇයට 2004 වසරේදී විශේෂයෙන් 2004 වසරෙහි අග භාගයේ දී රැකියාවක් ලැබුණි. එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් රැකියාවක් විය. එම රැකියාවට අදාළ පුහුණු කාලයේදී ඇයට ආරෝග්‍යශාලාවල බොහෝ සේ වෙහෙසී වැඩ කිරීමට සිදු වී ඇත.

මා කලින් සේවය කළ ආයතනයකදී මට හමු වූ තුලා ලග්නය දරන තැනැත්තෙකුගේ 10 වැනි භාවය තුළ චන්ද්‍රයා තැන්පත් වී තිබුණි. ඒ නිසා 2004 සැප්තැම්බර් 12 වැනිදාත්, 2005 ජනවාරි 6 වැනිදාත් අතර කාලයද, 2005 මැයි 29 වැනිදාත්, 2006 නොවැම්බර් 15 වැනිදාත් අතර කාලයද, 2006 දෙසැම්බර් 31 වැනිදාත්, 2007 ජූලි 17 වැනිදාත් අතර කාලයද සැලකූ විට ඔහුට බලාපොරොත්තු රහිත මොහොතක අති සුවිශේෂී සිදුවීමක් සිදු විය යුතුව තිබූ බව මා හට පෙනුණි. එය ඔහුගෙන් විමසී විට ඔහු පැවසුවේ එම කාලසීමාව තුළ කොන්ත්‍රාත් පදනම මත ඉතා ඉහළ නිලයක් දරා ඇති බවය. ඔහුට එම කාල සීමාව තුළ තිබූ බලතල පිළිබඳව විමසීමේ දී මම මවිතයට පත් වීමි. අතිශය වැදගත් තීන්දු තීරණ පවා ගත හැකි ආකාරයට පුළුල් වපසරියක් තුළ ඔහුගේ බලතල ක්‍රියාත්මක වී තිබුණි. ඒ නිසාම ඔහුට බෙහෙවින් කාර්යබහුල වීමටද සිදු වී ඇත. ඉහත මා සඳහන් කළ කාලය ඔහුගේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව පැවති කාලයකි. ඒ අනුව ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව තුළ ඔහුට ජීවිතයේ කිසිදා අමතක නොවන කාලයක් ගත වී ඇත.

මා දන්නා රජයේ ආයතනයක දැනට විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුගේ ලග්නය ධනු වන අතර චන්ද්‍රයා තැන්පත්ව ඇත්තේ 11 වැනි භාවය තුළය. ඒ අනුව ඔහුට 2004 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2005 වසරෙහි ජනවාරි 6 වැනිදාත් අතර කාලය තුළද 2005 වසරෙහි මැයි 29 වැනිදාත් 2006 වසරෙහි නොවැමිබර් 15 වැනිදාත් අතර කාලය තුළද 2006 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත්, 2007 වසරෙහි ජූලි 17 වැනිදාත් අතර කාලය තුළද අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇත. මේ කාල සීමාව තුළ ඔහුට ජීවිතයේ මුල්වරට රැකියාවක් ලැබී ඇති අතර 2007 වසරෙහි අප්‍රේල් 3 වැනිදා ඔහුගේ ජීවිතයෙහි තීරණාත්මක රැකියාව ලැබී ඇත. එනම් දැනටද ඔහු සේවය කරන්නේ එම රැකියා ස්ථානය තුළමය. තවද ඔහුගේ විවාහය සිදු වී ඇත්තේ 2007 වසරෙහි අග භාගය තුළ වුවද විවාහ වීමට අදාළ සියලු කරුණු කාරණා පෙළ ගැසී ඇත්තේ ඉහත කී කාල සීමාව තුළය. මීට අමතර ලෙස ඔහුට 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත්, 2012 වසරෙහි මැයි 13 වැනිදාත් අතර කාලය තුළද, 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත්, 2014 වසරෙහි නොවැම්බර් 3 වනදාත් අතර කාලය තුළද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත. ඔහු විවාහ වී දරුවකු පවුලට එකතුවීම පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටිය වසර තුනක් තිස්සේ ඔහුගේ බලාපොරොත්තුව ඉටු වී නැත. නමුත් ඔහුගේ ජන්ම ඒරාෂ්ටක කාලයේ උච්චතම අවස්ථාව උදා වීමෙන් පසු ඔවුන්ගේ කුළුදුල් දරු උපත සිදු වී ඇති අතර 2014 වසරෙහි නොවැම්බර් 3 වැනිදාට පෙර එනම් ඔහුගේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව නිමා වීමට පෙර ඔවුන්ගේ දෙවැනි දරුවාද ඉපදීමට නියමිත බව ඔහු මා සමඟ පැවසුවේ ය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.