ඔබත් උපන්නේ අගෝස්තු 31 සිට සැප්තැම්බර් 05 අතර දිනෙකද?

අගෝස්තු 30, 2024

 

අගෝස්තු 31

(පෞද්ගලික අංකය 4)

සෞදි ආරක්ෂක අමාත්‍ය හා ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් (1985) ද ඔබේ උපන් දිනයේමය. ලොව ලාබාලතම ආරක්ෂක අමාත්‍යාවරයා වශයෙන් තේරී පත් වූ ඔහුගෙන් සමාරම්භය ගැනීම ඕනෑම මාසයක අංක 4 න් උපන් අයෙකුට හොඳ නිදසුනක් වනු ඇත. ගුරු ග්‍රහයාගේ හා රවි ග්‍රහයාගේත් ආකර්ෂණයට නතු වීමෙන් ජනතාව අතර බැබළීමක් ඇති නායකත්ව ගුණාංග ඉහත උපන් දිනය තුළ ඇතුළත්. පෞද්ගලික 1/4 තුළ රවිගේ හා යුරේනස්ගේ බලය යම් අනුපාතයකට සම්මිශ්‍රණය වී ඇත. එනම් පෞද්ගලික අංකය 1 හෝ 4 වනවිට සත්‍ය වශයෙන්ම එහි වැඩි බලය ඒකරාශි වන දිශානතිය කුමක්දැයි හරිහැටි නිශ්චය කර ගැනීමේ හැකියාවක් අප සතුව තිබිය යුතුයි. ඉහත උදාහරණයට අදාළ යම් අයෙක් වඩා හුදෙකලා ව සිටින්නේ නම් ඔහුගේ යුරේනස්ගේ අනුපාතය වැඩි බව නිගමනය කරගත හැකියි. එමෙන්ම යමෙක් පිරිවර මැද බැබළෙමින් සිටින්නේ නම් ඒ රවිගේ බලය තීව්‍ර ලෙස පිහිටා ඇති විටයි. කොරෝනා සමයෙහි එරට සේවයේ නියුතු සියලු ශ්‍රී ලාංකියන්ගේ ද පොදු පහසුකම් සියල්ල සැපයීමේ වගකීම ඔහු විසින් දරනු ලැබුවා. ඒ වගේම එතරම් ෂරියා නීති ඇතුළු තදබල නීති රට තුළ තදින්ම බලාත්මකව පැවතියදී වුවද ඇයගේ බිරිඳට ඇඟ පසඟ නිරාවරණය වූ බටහිර ඇඳුම්වලින් සැරසී සිටීමට නිදහස ලබා දී තියෙනවා. ඔහුට බිරියන් තිදෙනෙක් සිටී. මේ අතරින් ෂාරා බින්ත් මෂූර් බින් අබ්දුල්අසීස් අල් සවුද් නමැති ප්‍රකෝටිපති බිරිඳ ඔහුට වඩා වසර 9 ක් පමණ වැඩිමහල් බවද පැවසෙනවා. පුදුම වියයුතු නෑ ඇත්තෙන්ම එය තමයි පෞද්ගලික අංක 4 පාර්ශවයෙන් හිමිකම් ඇති ස්වභාවය. තමන්ට වඩා වයසින් බොහෝ වැඩි, වයසින් බොහෝ අඩු, ජාතියෙන්, කුලයෙන් හෝ පරිබාහිර නැතහොත් අඩුම තරමින් ඉතා දුර බැහැර ප්‍රදේශයකින් කලත්‍රයා තෝරා ගැනීමට සිදුවීම වැනි සිදුවීමක් හෝ පෞද්ගලික අංක 4 සමග බද්ධ වෙලා තියෙනවා කියන එක පොදු සිද්ධාන්තයක්.

 

සැප්තැම්බර් 1

(පෞද්ගලික අංකය 1)

ඔයාලා දන්නවද යම් දිනකටත් ඊට පසු දිනකටත් පිට පිට එකම පෞද්ගලික අංකය පැමිණිය හැකි අවස්ථාවක්? දින 31 කින් ඉවර වෙන ඕනෑම මාසයක අවසන් දිනය වගේම ඊළඟ මාසයේ ආරම්භක දිනයත් යුරේනස් අභිබවා ප්‍රබල රවිගේ බලයට නතු වීම නිසා පෞද්ගලික අංකය 1 ට ම අයත් විය හැකි අවස්ථාවක් උදා වෙනවා. පෞද්ගලික අංකය 1 හා 4 අනුපාතය මැන ගන්නා හොඳම උදාහරණ දෙකක් හරි පුදුම විදිහට අපිට ළඟළඟම ලැබුණේ. අගෝස්තු 31 පෞද්ගලික අංක 4 න් උපන් සල්මාන් කුමරු තුළ අංක 01 ට අයත් රවිගේ බලය දෝර ගලද්දී සැප්තෑම්බර් 01 උපන් සුරූපී රූප රාජිණියක් වැඩි වශයෙන් යුරේනස්ගේ බලයට නතුවූ නිසා ඇති වූ ඛේදාන්තයක් මෙරට මෑත ඉතිහාසයේ සඳහන්. ඇය නික්ම ගියේ එතෙක් රඟපෑ "භාග්‍යා" නම් එකම රූපවාහිනී ටෙලියට ඇය විසින් නර්ථනය ඉදිරිපත් කළ වේග රිද්මයේ ගීතයෙන් මේ මුළු සියවසම ප්‍රමෝධයට පත් කරලා. අහලා ඇතිනේ "ආජු තපර ලාහීලා - බීජුතපර ලාහීලා" ගීතය. රංගන හා නිරූපණ ක්‍ෂේත්‍රයන්ගේ එක සේ සමත්කම් පෑ රමණී බර්තෝලමියුස් (1966) නමින් හැඳීන්වුණු මේ සුන්දර තරුණිය අවිවාහක රූ රැජිණ කිරුළට හිමිකම් පෑවේ හරියටම වයස අවුරුදු 19 දී. මුළු රටක් එක ලෙස හඬවා අවසන් ගමන් ගියේ හරියටම වයස අවුරුදු 20 දී. ඇගේ අකල් මරණය සම්බන්ධයෙන් එකල අගේ පෙම්වතා වූ කමල් නම් නවක රංගන ශිල්පියෙක් ජනතාවගේ සැකයටත් පාත්‍ර වුණා. එසේ වුවත් ඇගේ මරණයට ඇත්තම හේතුවත් අංක විද්‍යාව තුළ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා නේද කියලා අවබෝධ වූවිට ඔබත් විශ්මයෙන් විශ්මයට පත්වේවි. රවි ගේ බලපෑමෙන් අයෙක් පිරිවර මැද දිදුලීමත් යුරේනස්ගේ බලපෑමට ගොදුරු අයෙක් ජීවිත කාලය පුරා හුදෙකලා වන ආකාරයත් ඕනෑම මාසයකට හිමි සිද්ධාන්තයක්. ඒ වගේම ඉක්මනින් නිගමනවලට එළඹීමත් සුළු ප්‍රශ්නයක දී පවා කලබල වීමත් ඉහත උපන් දිනයෙන් උත්පත්තිය ලබන අය සතු පොදු දුර්වලතාවයක්.

සැප්තැම්බර් 2

(පෞද්ගලික අංකය 2)

මේ කාලයේ උපදින බොහෝ දෙනෙක් කලාවට, සාහිත්‍යයට අමිල සේවාවක් සිදු කරලා ශාස්ත්‍රීය ලෝකය බබළවනු ලබනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංකය 2 න් උපත ලැබීම. එවිට වෙනත් ග්‍රහ බලපෑම්වල ප්‍රබල බලපෑමකට ලක් නොවුනොත් මානසික තලය තුළ ඉතා සෞම්‍ය, කලාකාමීන් බිහිකිරීමට නැඹුරු කෙරෙනවා. පෙරදිග සංගීතය, නර්තනය හා ගායන අංශවලින් මේ අය දස්කම් දක්වනු ලබනවා. දුව-පැන කය වෙහෙසා සිදුකරන ක්‍රියාකාරකම් වෙනුවට මනස වෙහෙසන ක්‍රියාකාරකම්වලටයි මේ අය වැඩි වශයෙන් ලැදි වෙන්නේ. ළමා කාලයේදී කෙසේ වෙතත් පසු කාලීනව මේ අය බැටළු හම පෙරවා ගත් නරින් වැනි ස්වරූපයක් ද ගත හැකියි. ඒ මන්ද කියනවානම් මේ දිනයේ උපත ලබන අය හිතන දෙයක්, කරන දෙයක් අනුමාන කර ගැනීමට උඩ ඉන්නා දෙවියන් පවා අසමත් නිසා.

ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන යාමේදි වුවත් තත්වය එබඳුයි. හැබැයි අන්තිමට හැංඟි හැංඟී මූණු බැඳලා එළිපිට නටන්න සිද්ද වෙච්චි දාට ඇත්තටම රැවටිලා තියෙන්නේ ඔයාමයි කියලා දැන ගත්තාම ඔයාට ඇතිවන මානසික පීඩනය දුරු කර ගැනීමට ගොඩක් කඳුළු සලන්න වේවි. කටුවෙන් එළියට ඇවිල්ලා බාහිර සමාජය සමග විවෘතව අදහස් හුවමාරු කරන්න ගත්ත දාට දැනට මහා ගුප්ත චරිතයක් කියලා ඔයාට ගැහිලා තියෙන හංවඩුවත් යම් පමණකට මැකිලා යාවි. මෙදින උපත ලබන ඔබ පෙන්නන තරමට හොඳමත් නැති නරකත් නැති චරිතයක්. ඒ වගේම වයස 32 ට පෙර විවාහා අසාර්ථකවීම්වලට ද වැඩි නැඹුරුවක් දක්වනවා. කෙනෙක් දෙමාපියන්ට දෙවියන්ට වගේ සලකද්දී තවත් කෙනෙක් දෙමාපියන් හට අතින් පයින් පවා ප්‍රචණ්ඩත්වය පතුරවන්න තම් සාහසික විය හැකි අවස්ථාත් මේ උපන් දිනයෙන් දැක ගත හැකියි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් (1944) හා වජිර අබේවර්ධන (1960) යන මහත්වරුන් මෙදින උපන් දින සමරනු ලබනවා.

 

සැප්තැම්බර් 3

(පෞද්ගලික අංකය 3)

බුධ(-) හා ගුරුගේ ග්‍රහ කම්පනයන්ගේ බලපෑමට නතු මෙදින පඨවි ත්‍රිවංකයේ බලපෑමට ද නතු වෙනවා. පඨවි ත්‍රිවංකයේ ස්වභාවය අනුව භූමිය ආශ්‍රිත වැටීම් තැලීම් හා නායයාම්වලට මැදිවීමේ අවදානමත් වැඩි බව පෙන්නුම් කෙරෙනවා. මාසයේ බලපෑම හේතුවෙන් ඔබ එතරම් පොත පත දැනුමක් අහිමි කෙනෙක් වුවත් ඔබට කිසිවෙකුටත් නොදෙවෙනි ශූර බුද්ධියක් හිමි වෙනවා. දිය රෙද්දෙන් බෙල්ල කැපීම වැනි කටයුත්තක පවා ඔබට අවශ්‍යනම් ඉතා සාර්ථකව නිරත විය හැකියි. ඒ වගේම තමයි තමන් සතු දක්ෂතා ගොන්නක් ඇති නිසා සැප්තෑම්බරයේ උපත ලබන අය නිතර නිතර අළුත් රැකියාවන්ට යොමු වීමේ වැඩි නැඹූරුවක් පවතිනවා.

බුධගේ බලයට ගුරුගේ බලයත් එකතු වුණාම ලේසි පහසු චරිත ස්වාභාවයක් නෙවෙයි ඇති වෙන්නේ. ඔබේ පෞද්ගලික අංකය 3 නිසා තමන් විසින් සොයා ගන්නා ලද මාර්ගයක ජයග්‍රාහී ලෙස ගමන් කොට සිය ආර්ථික ශක්තිය තහවුරු කර ගන්නවා ඇත. තම අරමුණ කරා යන ගමනද දැඩි අධිෂ්ඨානයකින් හා කැපවීමකින් සිදු කරනු ඇත. ඔබ ශක්තිමත්, විනයගරුක අයෙක් වනු ඇත. එසේ වුවද ඔබගේ බාහිර පෙනුමෙන් අභ්‍යන්තරයේ ඇති අධ්‍යාත්මික ශක්තීන් එළියට නොපෙනේ.

විශාල ව්‍යාපෘති ඔබට පහසුවෙන් කළ හැකිය. නිසි ස්ථානයේ නැති ඕනෑම දෙයක් පහසුවෙන් නිරීක්ෂණයට ලක්වීම මේ කාලයේ උපන් අයගේ පොදු ලක්ෂණයකි. එසේම සියුම් ලෙස කරුණු විශ්ලේෂණය කිරීමේ හැකියාවක් පවතී. පුද්ගලයන් තෝරා බේරා ගෙන තමන්ට ගැළපෙන අය පමණක් ඇසුරු කරන ස්වභාවයක්ද ඇත. ඔබට බාහිරයට පෙන්නුම් කරනවාට දැඩි සකසුරුවම් ස්වභාවයක් ද ඔබගේ අභ්‍යන්තරයේ තද බල ලෙස පවතී. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන (1951) මහතාද ඔබ මෙන්ම සිය දහස් වරක් වත් කියවා වත් කිසිවෙකුටත් හඳුනාගත නොහැකි සුවිශේෂී පුද්ගල පෞරුෂයන් ඇතිවිටෙක එය ඔබ ස්වභාව ධර්මයෙන් ලද සුවිශේෂී ආශීර්වාදයක් ලෙස සැලකුවද එහි ඇති වරදක් නැ

 

සැප්තැම්බර් 04

(පෞද්ගලික අංකය 4)

රවි හා යුරේනස් ගේ සුසංයෝගයෙන් ගොඩ නැගුණු ඉතාම සුවිශේෂී චරිතයක් තමයි ඔයා. සෘජු බව නිසාම නිතර හතුරන් ඇතිවෙනවා. හවුල් ව්‍යාපාර කිසිදා සාර්ථක වෙන්නෙත් නෑ. ජීවන සහාකරුවෙක් හරි ළඟ රැඳෙන්නේ දෙන්නාගේ අරමුණු සමාන වුනොත් විතරමයි. සල්ලි ගැන මහා ඉහළින් තකන්නෙත් නෑ. ඒ වගේම යටත් සේවකයන් පවා වංඡා කරනවාත් වැඩී. ඉවෙන්, නාඩියෙන් වගේ ඔළු පරිස්සම් කරගෙන හිටියට කවදාවත් ඔයා නීතියෙන් නම් සහනයක් පතන්න හිතන්නවත් එපා. ඔයා පැටලෙන නඩුවක් දවසක ඔයාටම අවනඩුවක් වෙලයි නඩු නිමිත්ත ඈවර කෙරෙන්නේ. ඔයාට මඩ ප්‍රහාර දියත් කරන්නත් මිතුරු වේශයෙන් ළඟ ඉන්න පසමිතුරන් නිතරම දතකනවා. ඒ කෙළින් ගහන්න බැරි කමට. බල්ලෝ බිරුවට හඳ කඩා වැටෙන්නේ නැති” ගානට ඔයා කිසි දෙයක් ගණන් ගන්නෙත් නැති එක හොඳයි එක අතකට. පිරිසක් මැද තමන්ගේ ඉදිරි සැලසුම් හෙළි නොකර ඒවා ක්‍රියාත්මක කරලාම ඒ අයගේ කටවල් වහන ක්‍රමය තමයි ඔයාට උචිතම. ශාස්ත්‍රීය අංශයෙන් විතරක් නෙවෙයි කාර්මික අංශයේ ව්‍යාපෘතිවලින් පවා වඩා සාර්ථක වියහැකි දෛව බලයක් තමයි හිමිවෙලා තියෙන්නේ. හැදුනොත් හැදෙන්නෙත් දොස්තරලත් හිතා ගන්න බැරි ලෙඩ තමයි ඉතිං. කොහොම වුණත් දරා ගැනීම හොඳ නිසා ඉක්මනින් ලෙඩේ ගොඩ දා ගන්නත් වාසනාව හිමි වෙනවා. ඔබ හුදෙකලාව දිවි ගෙවනවාද-පිරිවර මැද හිරු මෙන් බැබළෙනවාද”? යන කාරණය තීරණය වෙන්නේ ඔබතුළ වැඩි බලය හිමි රවිට ද යුරේනස්ටද යන සාධකය පදනම් කර ගෙනයි. නමගිය ප්‍රහසන නළුවෙකු, චිත්‍රපට නිෂ්පාදකයෙකු වගේම ලේඛකයෙක් ද වන එක්සත් ජනපදයේ ඩේමන් කයිල් වේයනස් කියන්නේ දක්ෂතා තෝතැන්නක හිමිකරුවෙක් වගේම ඔබ සමග උපන් දින සමරන්නෙක්.

 

සැප්තැම්බර් 05

(පෞද්ගලික අංකය 5)

බුද්ධිය මෙහෙයවා කරන ඕනෑම අංශයක රැකියාවකින් ඔයා සාර්ථක වෙනවා. අනුන්ගේ පව්වලට කර ගහන නිසාත් ඔබ සතු හැකියා ගොන්න නිසාත් එක තැනක එක රස්සාවක් කරන් ඉන්නෙත් නෑ - පනින්නමයි හිත. ඉතිං මේ පැනිල්ලෙන් කිසියම් ක්ෂේත්‍රයක පරිණත වීමේ අවස්ථාව ගිලිහෙන එකත් සුළුපටු පාඩුවක් නෙවෙයි නේද? ඔයාට විදෙස් පරිසරයක්ට හුරුවෙන්න ගත වෙන්නේ ටික දවසයි. ඕනෑම භාෂාවක් අල්ල ගන්නත් තියෙන්නේ සුවිශේෂී හැකියාවක්. ඔබට දේපළ පවා හොඳීන් ආකර්ෂණය වන ස්වභාවයක් පෙන්නුම් කෙරෙනවා. තමන් පදිංචි වී සිටියත් නැතත් ඔබට නිවාස කිහිපයක්ම හිමිකම් ලැබෙනවා. ඒ වගේම ඔබ සතු සුවිශේෂී දක්ෂතා මාධ්‍යකරණය වැනි අංශයකින් දුර ගමනක් යන්නත් ඉවහල් කරගත හැකියි. වැඩි ප්‍රතිලාභයක් පතාගෙන අපැහැදිලි ව්‍යාපෘතිවල පවා ආයෝජනයට යෑමෙන් මුදල් පාඩුද බොහෝ විට ඇතිවේ. ඔබගේ සඳෑ සමය අගහිඟතා මැද ගත කිරීමට සිදුවන බවක් පෙනී යනවා. ඒ ගැනත් දුර තියාම හිතා බැළුවොත් නරකද? සැප්තැම්බරය කන්‍යාව (බුධ-) ට අයත් නිසා පත පොත දෙකට ලැදියාව වගේම සුවිශේෂී දක්ෂතා බොහෝමයක් උපතින්ම හිමිකර දෙනවා. දිවා රෑ නිදි වරා, කුසට නිසි අහරක් හෝ පවසට දිය බිඳක් හෝ නොලැබ මුදල් පසුපස හඹා යන්නත් ඔබ රුසියෙක්. එසේ වුවත් නිසි විවේකයක් නොගැනීම වගේම මනස නිවන විනෝදාංශයක නිරත නොවී හිස ගිනි ගෙන දැවෙන්නට හැරීමේ අවසාන ප්‍රතිඵලය ඔබ හිතන තරම් සුන්දර එකක් නොවේවි. අවසානයේදී ඔබේ පවුලත් සෞඛ්‍යත් යන දෙකම එකටම කඩා වැටේවි. පවුරු වළල්ල චිත්‍රපටයෙන් ජාත්‍යන්තර ඇගයීමට පාත්‍රවූ සම්මානනීය නිළි නීටා ප්‍රනාන්දු (1947), සංගීත ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තරය දිග් විජය කළ ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක (1959) යන මහත්ම මහත්මීන් ඔබේ උපන් දිනයට අයත්.

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.