සියාවස නැකැත් හිමියෝ

අගෝස්තු 23, 2024

 

කෘපණෙ ධන පූර්‍ණශ්ච පරදාරොපසේවකඞ

මානවඞ ශත තාරායං විදේශගමනේ රතඞ”

සියාවස නැකතින් උපත ලද්දේ නම් ක්‍රම ක්‍රමයෙන් අතමිට සරුසාර වන ධන සම්පත් ඇති විදේශ ගමන් බිමන් යන කාම භෝගි දිවියක් ගෙවන කෙනකු වන්නේය. කලාවට දක්ෂතා ඇති වේ. විශිෂ්ට කලා ඇදුරකු වන්නේය.

රට රටවල ගමන් බිමන් යන්නේය. තමාගේ නම ප්‍රසිද්ධ වන අතර කලා නිර්මාණවලට සම්මානයක් ද ලැබේ. එහෙත් නැකැතටත් වඩා කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම ඍණ පැත්තේ නම් තමාගේ ඉඳුරන් පාලනය කර ගැනීමට නොහැකිව ඉඳුරන් පිනවීමට ගොස් විපත් ඇතිකර ගනී. ආගමික පැත්තද මුදල් සෙවීමට හරවා ගනී. පින් බිමක වුවත් සිටින සතෙකු මැරීම ඔහුට එතරම් දෙයක් නොවේ. සිතන සිතන දෙයත් පේන පේන දෙයත් නොපෙනෙන දේවල්වලට වැඩියෙන්ම ආසා කරමින් පව්කාර වැඩවලට සම්බන්ධ විය හැකිය. සිත චංචලයි. එකම තැනකට යොමුකර ගැනීම අසීරුයි. අන් අයව තේරුම් ගැනීමට නොහැකිව අධික ලෙස කේන්ති ගනී. තමා තමාටම සතුරුකම් කරයි. දැඩි ආත්මාර්ථකාමියකු වේ. හරි වැරැද්ද පිළිගැනීමට අකමැතියි. කෙසේ හෝ තමාගේ අදහස් ක්‍රියාත්මක කිරීමට යත්න දරයි. බොහෝ අය තමා සමඟ උරණ වේ. නුරුස්සයි.

විවාහයට ලැබෙන්නේ ද තමාට වඩා මහලු පෙනුමක් ඇති අයයි. එහෙත් යුගදිවිය අසාර්ථකත්වයට පත් නොවේ. විදේශ ගතවීම්වලට සුබයි. ඕනෑම රැකියාවක් කිරීමට කැමතිය. තමාට ලැබුණු දෙයින් තෘප්තිමත් වීම නම් තරමක් දුරට අඩුයි. ඒත් භාරගත් දෙය අත් නොහරී. යම් කාන්තාවක් මේ නැකතින් උපත ලද්දේ නම් ඇය ඉතාම අවංකවම සිය වැඩ කටයුතු කරයි. අන්‍යයන්ගේ ආදර ගෞරවයට ද පාත්‍ර වේ. කිසිවකු කොන් නොකරයි. තම නෑදෑයන්ට උපකාර කරයි. ආගමික භක්තියක් ද දේව භක්තියක් ද සිත තුළ ඇති කරයි. ඇරත් මිථ්‍යා විශ්වාසයන්හි එල්බ නැත. යථාර්ථවාදීිව සිතා එදිනෙදා සිය වැඩ කටයුතු කරයි. යම් දැරියක් සියාවස නැකතින් මල්වර වීමෙන් ජීවිතයට වාසනාව උදාකරයි. පවුලේ දියුණුවක් ද ඇති වේ. පළමු වැනි හා හතර වැනි පාදයන්හි නම් විවාහ කටයුතු සාර්ථක වේ. යුගදිවිය සරුසාර වේ.

දෙවැනි සහ තුන්වැනි පාදයකනම් තරමක පීඩාකාරි යෙදීම් ඇති වේ. එහෙත් විවාහය දිගටම ගෙන යයි. යුගදිවිය සරුසාර කර ගැනීමට බොහෝ යත්න දරයි. තමාට කොතරම් එදිනෙදා අඩුපාඩුකම් තිබුණත් එය අන්‍යයන්ට පෙන්වා දෙන ක්‍රමයෙන් ඉවත් වී සියලුම දෙය සම්පූර්ණ බවක් අන්‍යයන්ට පෙන්වයි. ගේ තුළ ගිනි පිටත නොදේ තමා ම විසඳා ගනී.

සියාවස නැකතට, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, මුවසිරස, සිත, දෙනට, යන නැකත් හිමියන් ගැළපේ. විවාහයේදි මෙය විශේෂයි. කේන්ද්‍රයේ 7 වැන්නාධිපති අටේ වේද අට වැන්නාධිපති හතේද සිටීම පරිවර්තන මහා දෝෂයකි. එය විවාහයට නුසුදුසුය.

විවාහ වීමේදී නැකැත් මෙන්ම කේන්ද්‍ර දෙකෙහි ලග්නය දෙවැන්න, හත්වැන්න, අට වැන්න සහ එකොළොස් වැන්න ගැන විමසා බැලීම අනිවාර්ය වේ. හත, අට පරිවර්තන යෝගය විවාහයට අහිතකරයි.

සියාවස නැකැතින් 7 වැන්නේ කුජ, රාහු, ශනි, කේතු සහ රවි සිටී නම් ගැඹුරින් ග්‍රහ හැසිරීම් රටාව බලා විවාහයට සුදුසු අයකු තෝරා ගැනීම වැදගත් වේ.

සියාවස නැකැතින් ගෙයක් නිර්මාණය කිරීම එතරම් සුබවාදි නොවන බවත් ලැබීම් අතින් දුර්වල බවත්, සතුරු කරදර විපත් ඇතිවන බවත්, නෑ හිතවතුන්ගෙන් වන හානිද බලපාන බැව් නැකැත් වදුලේ සනිටුහන් වී ඇත. එහෙත් පොත්වල ලියා තිබෙන අන්දමටම ප්‍රතිපල ලැබෙන්නේ ද නැත. නැකැත පමණක්ම නිවාස වැඩට නොගත යුතුයි. එයට මුළු පංචාංගයම ගත යුතු වේ. අතේ ඇඟිලි දෙකක් කැඩී ගියහොත් අනික් ඇඟිලි තුනෙන් වැඩපල කරන ලියන වැඩ ද කරන බව ඇත්තකි.

ඡ්‍යොතිෂ විද්‍යාවේ දැක්වෙන පරිදි ඉතාම ශ්‍රේෂ්ඨතම ග්‍රහයන් හෝ නැකැත් නොමැත. අසුබ යැයි සම්මත සමහර ග්‍රහයන් හා නැකැත් ඉතාම ධනාත්මක පැත්තෙන් ක්‍රියාත්මක වන බැව් පැහැදිලිය. “පෙරමග බලනු . සුබ නැකතටත් වඩා” යන්නැයි පවසා තිබේ.

කුණ්ඩලාභරණ වහලයට වැටී එයින් නැවතුණේ සාලේ පැදුරකය. එයින් පසු “කුණ්ඩසාලේ”නමින් නමක් පටබැදිනි. සෑම දෙයකම පැති කීපයක් අන්තර් ගතවී ඇත්තේ සුබසෙත පාඨක පිරිසගේ සිත සුව පිණිසය. අපි නැකැත් විශාල සංඛ්‍යාවක් හා ඒහා බැදුණ විස්තර ගොන්නක්ම දිග හැර ඇත්තෙමු.

විශේෂයෙන්ම සුබ වැඩකටයුතුවලට නිවාස ගොඩනැගීම් ළිං කැපීම්, ගොවිතැන් වැඩ මෙන්ම විවාහ කටයුතුවලදී ද සුබ නැකැත් අනුගමනය කිරීමෙන් උසස් ප්‍රතිපල ලබා ගැනීමට හැකිවේ.

විශේෂයෙන් විවාහ කටයුතුවලදී නැකැත් මෙන්ම කරණය ද මුළු මහත් පංචාංගයම ද උසස් අන්දමට තිබීම සුවිශේෂී කරුණක් වන්නේය.

නැකැත පමණක් ගෙන විවාහ කටයුතු කිරීමෙන් අපේක්ෂා කරන ධනාත්මක පැතිකඩ නොමැති බවද දක්වමු. අද අපි කතා බහ කරන්නට යෙදුණේ සියාවස නැකැත ගැනයි. මේ නැකතින් ඔබට ඵලදායි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ඡ්‍යොතිෂ විද්‍යාවේ දක්වා ඇති අනික් අංගයන්ද ඒකරාශි කරගෙන ඉදිරියට යෑම සෑම අතකින්ම ඵලදායි වන්නේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.