උත්‍රපුටුප නැකැත

සැප්තැම්බර් 6, 2024

ගෞරඞ සමායත ධර්මඥඞ ශතෘ ඝාතීච පාමරඞ
උත්තරා භාද්‍ර නක්ෂත්‍ර ජතඞ සහසිකො භවෙත්

උත්‍රපුටුප නැකැතින් උපන්නේ නම් දේහ ලක්ෂණයෙන් අනූන සියලු ශාස්ත්‍රීය අංශයන්ගේ ප්‍රගුණත්වය සතුරන් නැසීමට හැකි අයකු වන්නේ ය.

නැකැත් සංහිතාවේ සඳහන් වන පරිදි මේ නැකැතින් උපන්නේ නම් මනා ලෙස පිහිටි දේහයත් සැමටම පි‍්‍රය වූ විශේෂයෙන්ම ආදර ගෞරවය අන්‍යයන්ගෙන් ලබන ශ්‍රේෂ්ඨ කෙනකු වේ. අන්‍යයන් සමඟ ඇසුරු කිරීමේ දී තමා අනුන්ගෙන් විශාල ලෙස උපකාර අපේක්ෂා කරයි. එය නොලැබුණහොත් ගැටලු තත්ත්වයක් ඇතිවේ. තරමක තමා ගැනම සිතන අයකු ද වේ. කෙසේ වෙතත් තමා දරන මතය අන් කිසිවෙකුට බිඳිය නොහැකි තැනට චිත්ත ධෛර්යය ඇත.

ශික්ෂණය විනයගරුක බව මනා සිහිය කල්පනාව ඇත්තේ ය. අන්‍යයන්ට ඇහුම්කන් දෙයි. සාකච්ඡා, සම්මන්ත්‍රණ, රැස්වීම්, වාද විවාද ආදියට අති දක්ෂයි. නිතරම තමන්ගේ ගොඩ වැඩිකරගැනීමට මාන බලයි. ආගම ධර්මය ගැන එතරම් පැහැදීමක්ද නැත. තර්ක ගෙන ආවද ඒ තුළ එතරම් ගැඹුරක් ද නොමැත.

නිතරම තර්ක කිරීමට පෙලඹේ. දක්ෂ කථිකයෙකි. පින් දහම් කරයි. එය ද උඩින් පමණයි ඇතුළක් නැත. පෙනුමට පමණි.

යම් කාන්තාවක් මේ නැකැතින් උපන්නේ නම් ඇය ඉතාම දක්ෂ නැණවත් ගුණවත් ගැඹුරු අත්දැකීම් බහුල තැනැත්තියකි. සත්‍ය වචනයත්, පි‍්‍රය මනාප ගතියත් අන්‍යයන් තමාවෙත ළංකර ගැනීමටත් සමත් ය. අති සාර්ථකම යුග දිවියක් ගෙවයි. යහපත් දූ දරුවන් ලබයි. දැහැමි දිවියක් ගත කරයි. ඉතාම පින්වත් කතකි.

දැරියක් උත්‍රපුටුප නැකතින් මල්වර වී නම් ඇය සැමියාට යහපත් වන අන්දමට ක්‍රියා කරන්නීය. පාද සතරම ඉතාම සුබදායක වේ. පතිවත රැක ගනී. දිනෙන් දිනම දියුණුවට පත් වන සේ තම විවාහය ගෙන යයි. පෙම් සබඳතාවයක් මත යුග දිවියට පා තබයි. සිදුවූ විවාහය තුළ යම් යම් දුර්වලකම් තිබුණත් ඒවා මැඩ පවත්වාගෙන යාමට ඇය ඉතාම දක්ෂ වේ.

පින්වන්ත දූ පුතුන් ලබයි. දරුවන් තමාගේ තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයට නඟා සිටුවීමට නිතර උත්සාහ ගන්නීය. සැමියාගෙන් තම පුවලේ ඉහළම දියුණුව පිණිස අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව ක්‍රියා කරන්නීය. භාග්‍යවන්ත මවකි. මිල මුදල් සම්පත් වැඩිවේ. විවාහයෙන් පසුව උත්‍රපුටුප නැකතට, අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, විසා, පුනාවස, පුවපුටුප නැකත් ඉතාම යෝග්‍ය වේ. සීහුම් ඇත.

අස්විද, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, අසුබයි. ගැළපීම් නොමැත. විවාහයට ඉතාම අයහපත් වේ.

උත්‍රපුටුප නැකැතේ පළමු පාදයෙන් මල්වර වී නම් ඉතාම සුබයි. දෙවන පාදයත් තුන්වන පාදයත් තරමක් සුවයි. 4 වැනි පාදය ඉතාමත්ම සුබ බැව් සඳහන් කරමි. නැකැත් සංහිතාවේ 26 වැනි නැකැත වන උත්‍රපුටුප නැකැත ඉතාම සෞන්දර්යමත් කලාත්මක නැකැතක් බව කිව හැකිය.

මේ නැකැතින් උපන් දෙපක්ෂයම ලෞකික වශයෙන් දියුණුව ලබයි. මෙලොව පරලොව දිනයි. උපතින්ම භාග්‍යය ලබා ගෙන එන අයෙකි. විවාහයෙන් පසු ලෞකික දියුණුව ලැබෙන්නේ පෙර කරන ලද පින්වල බලමහිමයෙනි. උත්‍රපුටුප නැකැතින් අපි මෙතෙක් වේලා කතා බහ කළේ ඒ අයගේ ධනාත්මක පැත්තයි නමුත් ඍණ පැතිකඩක් ද ඇත්තේ ය. නියම වයස එළඹීමට පෙර මොනයම් අන්දමකින් හෝ පෙම් බැඳීමක් වුවහොත් තමා තරමක අමාරුවේ වැටෙන්නේ මේ නැකත හිමි කාන්තාවයි. ඇය දුර දිග නොබලා පෙම් කරන්නට යෑමෙන් තමාට පෙම් කරන අයගේ දැඩි කැමැත්ත ඉටු කිරීමට ගොස් තමා ඉබේම අමාරුවේ වැටෙනු ඇත. ප්‍රේමය කතා බහට පමණක් සීමා කොට මානසිකව පෙම් කරනවා විනා කායික පැත්තට හැරුණොත් වන්නේ ලෙහන්නට තිබෙන මල්ල ඔබා බැලීමකි.

වැඩ කටයුතු වැරදුණ විට සිත් රිදවීමට පෙර දෙදෙනාම දුරදිග කල්පනාවෙන් වැඩ කිරීම මැනවි.

මේ නැකත් හිමියන් 27 දෙනාගෙන් වැඩි පිරිසක්ම වරද්දා ගන්නා තැන සිය වයස 18 සිටය. හය, හතර නොදන්නාකමින් අමාරුවේ වැටේ. එය ඉදිරි ජීවිතයට එතරම් සුබවාදී නොවේ.

කෙසේ වෙතත් උත්‍රපුටුප නැකත් හිමියන් දෙපක්ෂයම ඉතාම වාසනාවන්ත අයයි. වැඩි සංවේදී නිසා මෙවැනි ආගාධයකට ඇදවැටෙන බව පැහැදිලිය. අවසන් වශයෙන් කිව හැක්කේ උත්‍රපුටුප හිමි නැකත් හිමියන් මෙලොව උපදින වාසනාවන්තයන් බව ඇත්තකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.