පුවපුටුප නැකැත

අගෝස්තු 30, 2024

 

පුවපුටුප නැකැතින් උපත ලද්දේ නම් බොහෝ සම්පත් අපේක්ෂා කරන දරු සම්පත් හිමි බොහෝ සැප සම්පත් අපේක්ෂා කරන අල්ප ලැබීම් ඇති කෙනෙක් වන්නේය.

දැරියක් මේ නැකැතින් මල්වර වී නම් සමදිවියක් ගෙවන, ගෙදර වැඩවලට දක්ෂ, නෑයින් නොවන අයගෙන් උපකාර ලැබෙන, ධාර්මික දිවියක් ගෙවන, ජීවිතයේ මැදිවියේ ධනය ලැබෙන, වාසනාවන්ත දිවියක් ගෙවීමට වාසනාව හිමි අයකු වන්නේය. කුමන අයුරකින් හෝ තමාට අවශ්‍ය වන ධන සම්පත් ලබා ගැනීමට සමත් වන්නේය.

අයුතු ලෙස අධාර්මිකව කිසිම විටෙක මිල මුදල් අතට නොගනී. සත්‍යගරුකයි. නීතියට ගරුකරයි. වැඩකරයි. කෙනෙකුගේ සිත් නොරිදවයි. යහපත් ගති ලක්ෂණ තිබේ. තමාට වඩා අන් අය දියුණු වේ නම් ඒ අය සමඟ උරණ නොවේ. ඒ අයගේ දියුණුවට පහර නොගසයි. වැඩි දෙනෙකු එසේ කරනු ඇත.

මුදල් මූලික සමාජයේදී ඔහු කොන් නොවේ. තැනට සුදුසු නුවණින් ක්‍රියාකර සමාජය අත්කර ගනී. කිසිවෙකුට කරන්නට අපහසු දේවල් තමා භාරගෙන නිම කරයි. ඉතාම දක්ෂ නිර්මාණකරුවෙකි. කාරියකි. දෙපක්ෂයම වැඩට ඉතාම දක්ෂයි.

සමාජයේ ඉහළම තනතුරුවල සිටින බව පෙනේ. නැකත් වදුල සංග්‍රහය නාරා අවස්ථා බැලීමේදී වඩාත් පැහැදිලි වන්නේය.

මුදලටම වහල් ණය ගැති නොවූ පුවපුටුප නැකත් හිමියා සමහර විට තනිවම සිතා හුදෙකලාව වැඩ කර ගනියි. මොහුට හෝ ඇයට සහායකයන් නොමැත. තනිවේ. බොරු නොකියයි. වංචා නොකරයි. ආවේගශීලිම නැත. සංසුන්ව වැඩ කරයි. හුදෙකලාව පි‍්‍රයකරයි. කා සමඟත් වැඩ කිරීමට හැකියාව තිබේ. සමහරවිට රාජ්‍ය හෝ රාජ්‍ය අනුබද්ධිත රැකියාවක් කිරීමට වාසනාව ඇත්තේය. පිටරට රැකියාවන්ට වරම් ඇත. තමා උපයන මුදලින් තම පවුලේ අඟහිඟකම් නැතිව ක්‍රමවත්ව මුදල් පාලනය කර ගනිමින් දිවිගෙවන බව පෙනේ. වැඩි මෝස්තර නැත. අතිශයින්ම චාම්ය. සරල දිවියකට කැමතිය. එසේම ක්‍රියා කරනු ලැබේ.

උත්සාහයේ ප්‍රමාණයට මිල මුදල් අතට ලැබෙනු ඇත. අඩු හෝ වැඩි මුදලක් අතට ලැබුණත් අරපිරිමැස්මෙන් එදිනෙදා තමන්ගේ සියලු වැඩ සාර්ථක කර ගැනීමට සමත්ය. වැඩිපුර යමක් අතට ලැබේ නම් එය බෙදා හදාගෙන වැඩකිරීමට මේ නැකැත් හිමියා පෙලඹේ. මානුෂීය ගුණධර්ම ඇති නිසා සමහර අය මොහුට එතරම් පි‍්‍රයක් නොදක්වති. බොරුවට ආගමික වැඩ නොකරයි. සිතට එකඟව ක්‍රියා කරයි.

යුගදිවියේදී සහකරුට හෝ සහකාරියට කැමති අන්දමට නිදහසේ වැඩකටයුතු කිරීමට නිදහස දී වැඩ කරයි. අතදීමක් නැත. සංසුන් මනසක් හිමිය. වැඩක් පටන් ගැනීමේදී සැලසුමක් සහිතව කරයි. එය මනාව කැපී පෙනෙන අන්දමට නිම කරන ක්‍රමයක්ද තිබේ. නෑදෑයින් අතර සමහර විට කොන්වන ගතියක්ද තිබේ. බොරු වැරදි සොයන අයකුද නොවේ. වංචාකරුවකුද නොවේ. කියන කරන සියලුම දේවල් සිතට එකඟව කරන අතර අවංක හදවතක් තිබේ.

මේ පුවපුටුප නැකත් හිමියාගේ යුගදිවිය සාර්ථක වීමට බොහෝ ගුණාංග ඇත්තේය. තම සහකරුවාට හෝ සහකාරියට අවංකවම ආදරය, ආලය ළෙන්ගතුකම තිබීම අවංකවීම සිය පවුලට සැලකීම සෑම අතකින්ම නෑහිතවතුන් අමතක නොකිරීම ආදි විශේෂිත මානුෂික ගුණාංගවලින් පිරිපුන්ය.

ගැඹුරු ශාස්ත්‍රීය විෂයධාරාවන්ද අධ්‍යයනය කරයි. විවිධ භාෂා ඉගෙන ගන්නා අතර ඒවා අන්‍යයන්ට ද උගන්වයි. සමව සිතන පතන ආත්මාර්ථකාමී නොවන සරල මානුෂික ගුණාංගවලින් පිරිපුන් චරිතයකි. පුවපුටුප නැකත් හිමියා සමහර විට විදෙස්ගතවී සිටින කාලය තුළ එරටේ සිරිත් විරිත් හා දේශයට අයත් විවිධ විෂය ධාරාවන් අධ්‍යයනය කරන ගතියක්ද ගැබ්වී ඇත්තේය. ඉහළ පෙළේ මහා උගතකු නොවූවත් තමා දන්නා පරිදි රටේ සංස්කෘතිකමය උරුමයන් ගවේෂණය කිරීමට අතිශයින්ම දක්ෂයි. සමහර අය තමා ඉගෙනගත් විෂයන්ට අදාළ පොත් ලිවීමට පෙලඹේ. සමහර විට තමා සිටින රටට උචිත අන්දමට ඒ භාෂාවන් හසුරවයි. ප්‍රචලිත කරයි. ඒ අතින් ඉතාම දක්ෂකම් පිහිටා ඇත්තේය.

පුවපුටුප නැකත් හිමියාට ඍජුවම ගසා ඇති අඳුරු ලේබලය තුළ ඇත්තක්ද නොමැත. එය එතරම් සත්‍යයක්ද නොවේ. ඕනෑම කෙනකු ඉපදුණ විට ඔහු හෝ ඇය තුළ සර්ව සම්පූර්ණ ඉතාමත්ම යහපත් චරිතයක් සෙවීම කළුනික සෙවීමක් වැනිය.

හොඳ නරක දෙකම මිශ්‍රවී ඇත. ඕනෑම කෙනකුගේ හොඳ සහ නරක ගැබ් වී ඇත. එය මනුෂ්‍ය ස්වභාවයකි. පුවපුටුප නැකත් හිමියාගේ සමහර විට නරකම පැත්ත ගැන කතා කළත් හොඳ පැත්ත ගැන කතා නොකරයි. ඒ ඔහුගේ වැරැද්දක් නොව ඔහුව හඳුන්වා දෙන ක්‍රමයේ ඇති වැරැද්ද නිසාය. පුවපුටුප නැකතට පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද , මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, අද, සා, සියාවස යන නැකත් සීහුම් ඇත. අස්ලිස, දෙට, රේවතී, රෙහෙණ, හත, සුවණ, බෙරණ, පුවපල්, පුවසල ගැළපීම් නැත. ශුභ අශුභ මේ අන්දමට ගොනු වී ඇත. විවාහ කටයුතුවලදී මේ නැකත් ගැළපීම් ගැන මනා අවබෝධයකින් කටයුතු කිරීම අනිවාර්ය වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.