සුරඟනුන්ට පිහිටන දේහ ලක්ෂණ

සැප්තැම්බර් 6, 2024

දේහ ලක්ෂණ විද්‍යාව අනුව ස්ත්‍රී ලක්ෂණ කීමේදී පංච කල්‍යාණය අතුරින් කේශ කල්‍යාණය ප්‍රධාන තැනක් ගනී.

ශ්‍රීමත් ජීවනාම් විසින් විරචිත භාව කුතුහලය නම් සම්භාවනීය ඡ්‍යොතිෂ පොතේ එන පහත සඳහන් ශ්ලෝකයෙන් ඒ ගැන මැනවින් කියයි.

කාරීපුංගව කුම්භ සමාන උහඞ
පුචරොන්නත එව කදම්භ තිබේඞ
ඉහ මෞලි රජසුමිලා විමලා
විවිධා බහු ධාන්‍ය යුතා සුද්‍රශඞ

යම් ස්ත්‍රියකගේ කෙස් වැටිය හස්ති රාජයකුගේ කුඹුතලය වැනි වූයේ නම් හෝ කොළොම් ගෙඩියක් වැනි වූයේ නම් ඕතොමෝ මහ පොළොවෙන් බොහෝ ධනය ලබන්නීය. යම් කතකගේ කෙස් මනා ලෙස කළු පැහැයෙන් යුතු වීද රළුව ඝනව පිහිටියේ ද ඕතොමෝ සියල් සිරින් සපිරි විවාහ ජීවිතයක් ගත කරනු ඇත. සාමයෙන් සමගියෙන් යුතුව වාසය කරන භාග්‍යමත් වූ දරුවන් කැලක් ලබනු ඇත.

හිස පමණට වඩා විශාල වූයේ නම් ඇය මහත් දුක්කම්කටොලුවලට මුහුණ පාන්නීය. විවාහ ජීවිතය අධික කරදර සහිත වේ. සැමියාගේ තරහවට ගොදුරු වන ඇය නිතර සිත් තැවුලින් ගත කරන්නීය. දිගු හැඩයේ හිසක් නම් ඇය පාපී සිත් ඇති කතක් වේ. වංචනික වේ. ආත්මාර්ථකාමීව තම අදහස් මුදුන්පත් කොට ගැනීමට බොහෝ දේ කරන්නීය.

මී මැසි වදයක්සේ කුරු වී කැරලි ගැසුණ කෙස් කලඹින් යුතු කත පින්වතියක් වේ. ඇය නොයෙක් යස ඉසුරු ලබන කතක් වනු ඇත. හොඳ විවාහ ජීවිතයක් ගෙවීමේ පින උදාවන ඇය සමාජයේ පැසසුමට ගෞරවයට පාත්‍ර වේ. ඉනෙන් පහළට වැටෙන සේ වැඩුණූ කැරළි කෙස් යුතු ස්ත්‍රිය මනා වූ කලාකාමී ඉතා උසස් තත්ත්වයකට පත්වීමේ පින් ඇති ජනපි‍්‍රය ආදරය හිමි අඟනක් වේ. ඉමහත් යසඉසුරු ලබන පී‍්‍රතිමත් ජීවිතයක් ගත කරන ළඳක් වන්නීය. රැලි සහිත වූද මනහර කේශ කලාපයක් ඇති ළඳ දයා කරුණා මෛත්‍රි ගුණ ඇති කතක් වෙයි. උණුවන හදක් ඇති තමාට හැකි පමණින් අනුන්ට උදව් කරන යුගදිවිය පී‍්‍රතිමත්ව ගත කරන පින්වතියක් වේ. පිඟුවන් පැහැයෙන් යුත් කැරලි සහිත කෙස් ඇති කත ස්ත්‍රි මායමින් පිරිපුන් ආත්මාර්ථකාමි ස්ත්‍රියක් වේ. ඇය අනුන් මුළාකොට තම අදහස් ඉටුකර ගන්නට සමත් වේ. කාමාධික පව්කාර කතක් වේ.

ඝන වූ කෙටිවූ වැඩුණූ කේශ කලාපයෙන් ද යුතු වූ කාන්තාව රාගී ව්‍යාකූල ආත්මාර්ථකාමී සිත් ඇති අයහපත් ස්ත්‍රියක් වේ. ඇය කුලසිරිත් නොසලකන කතක් වන බව කිව හැකිය. තුනී කෙස් කලඹින් යුතු කාන්තාව දැඩි මානසික පීඩනයකින් කල් ගෙවන්නියක් වේ. බලාපොරොත්තු රැසක් ඇතත් ඒ කිසිවක් ඉටුකර ගැනීමට අසමත් වේ. අකීකරු කෙස් කලඹක් ඇති කත ඉක්මන් කෝපයට පත්වන ලද දෙයින් සතුටු නොවන කාමාධික අයහපත් ළඳක් වේ. රැලි සහිත කළු කෙස් වැටියක් හිසෙන් ඉහළට ඉලිප්පී තොප්පියක් සේ පිහිටි ළඳ වේගවත් සිතුවිලි ඇති අදූරදර්ශී සිතුම් පැතුම් ඇති ළඳක් වන්නීය. බුද්ධිමත් තීරණ ගැනීමට ඇය අසමත් වේ. මේ නිසා විවාහයට එවැනි අය සුදුසු නොවන බව සැලකිය යුතුය.

ඇස්

මීළඟට ඇස් පිළිබඳව විමසා බලමු. භාව කුතුහලය නම් සම්භාවනීය ඡ්‍යොතිෂ පොතේ එන පහත සඳහන් ශ්ලෝකයෙන් ඒ ගැන පවසන්නේ මෙසේය.

විඩාලක්ෂි ගජාක්ෂිච
කාමිනි කුල නාශිනි
වන්ධ්‍යාච දක්ෂ කානාක්ෂ
පුංශ්වලි වාම කාණිකා

 

බළල් ඇස් හෝ හස්ති ඇස්වලට සමාන ඇස් ඇත්තාවූ ළඳුන් කාම පාශයෙහි බැඳීමෙන් සිය කුල ගෞරවය නසා ලන්නීය. දකුණූු ඇස වපර කත වඳ වේ. වම් ඇස වපර ළඳ පරපුරුෂයන් සොයා යන්නියක් වන්නේය. යම් ළඳකගේ ඇස්වල රත් පැහැ වුණ කොන් ඇත්තේද මැද කළු ඉංඟිරියාව මනා ලෙස කළුවී දීප්තිමත්ව පිහිටියේද පැහැදිලි පෙනුමෙන්, මොළොක් බවෙන් ඇස් දෙකේ කාල වර්ණ ඇස් පිහාටු ඇතිද ඇය ඉතා වාසනාවන්ත කතක් වන්නීය. උස්වු පෞරුෂයෙන් යුත් වූ පුරුෂයකු ලබන ඇය වාසනාවන්ත දූ දරුවන් ලබන්නීය. බොහෝ සම්පත් ඇති ඉතා සාර්ථක ජීවිතයක් ගත කරන්නීය. කිත් පැසසුම් ලබන්නීය.

නිල් පැහැයෙන් යුත් කාන්තිමත් දෙඇස් හිමි නම් ඇය සැමියාගේ ආදරය නොඅඩුව ලබනු ඇත. යස ඉසුරින් පිරී දීර්ඝායුෂ ඇති පින්වත් ජීවිතයක් ගත කරන බව කිව හැකිය. යම් කතකගේ ඇස් පියවල රෝම අවුල් වී පවතින්නේ නම් ඇය නිතරම දුකින් කල් ගෙවන බව කිව හැකිය.

දිගටි වූද සිහින්වුද ඇස් ඇති කත කලා කුසලතාවයෙන් සහජ දක්ෂකමින් යුතු පින්වතියක් වේ. උසස් කලාකාරියක් ලෙස රටේ ප්‍රසිද්ධ වේ. ඇය ඉතා ජනපි‍්‍රය වී කිත් පැසසුම් ගරු සම්මාන ලබන්නේය. ආදරණීය ජනපි‍්‍රය චරිතයක් වේ. කවාකර හැඩයෙන් යුත් ඇස් ඇත්තිය කාමාධික චපල කතක් වන්නිය. තඹ පැහැ ඇස් ඇතිද කොබෙයියන්ගේ ඇස් වැනි කුඩා දීප්තිමත් ඇස් ඇතිද එවන් ළඳුන් පහත් ගතිගුණ ඇති ස්ත්‍රීහු වෙති. රාගාධික කපටි අය වෙති.

ඇතැම් ළදුන්ට ගිලීගිය ආකාරයේ ඇස්ද ඇති අය සිටිති. මේ අය ඉතා නපුරු දුෂ්ට චේතනා ඇති අය වෙති. එවැනි ඇස් රතු පැහැ වූයේ නම් ඉතාම පාපතර වේ. සැමියා නසන්ට පවා ඇය පෙලඹීමට ඉඩ තිබේ. යම් කතකගේ දෙනෙත් තුළ නහර ඉලිප්පී පෙනේ නම් ඇය දුකට පත් අවාසනාවන්තියක් වන්නීය. තද කළු පාටින් යුතු ඇස් පිහාටු ඇත්තී උසස් අධ්‍යාපනයක් ලැබීමටත් තනතුරු ලැබීමටත් වාසනාව උරුම කර ගනී. ඉසුරුමත් ජීවිතයක් ගත කිරීමට ඇයට හැකිය. ස්ත්‍රියක් සිනාවනවිට ඇස් කුඩා වන්නේ නම් ඇය සැපයෙහි ගිජු ආත්මාර්ථකාමී කෙනෙකු වේ. එහෙත් තියුණු නුවණක් ඇතිවේ. කෙටි ඝන ඇහි පිහාටු ඇති නම් බුද්ධිමත් සමාජ ගෞරවය කීර්තිය ඇති නුවණැති නිහඬ නිදහස් ජීවිතයක් ගෙවන කෙනෙක් වේ. ඇහි බැම වක්‍රව ඇස් ඇත්තිය චපල කාමභෝගී ළඳක් වන්නීය.

වට වූ මොළොක් වූ නිල්වන් වූ මෘදු රෝමවලින් සැදුණ බැම සඟලින් යුක්ත වන්නී කාමිණියක් වේ. කිසියම් කතකගේ බැම තද කාල වර්ණයෙන් යුතුව මෘදුව පිහිටියේ නම් ඇය බොහෝ සැප සම්පත් විඳින්නීය. ඉතා දක්ෂ නුවණ ඇති ඇය කරුණා දයා ගුණ උපතින්ම ලබන්නීය. සාර්ථක විවාහ දිවියකට පත්වන ඇය සැමියාගේ දරුවන්ගේ ආදරය මැද ඉතා ගෞරවනීය යහපත් ජීවිතයක් ගත කරන්නීය.

කිසියම් කතකගේ බැම සඟල එකට එක්වී ලොම් පිහිටියේ තම නම් ඇය රාගය, කෝපය වැඩි අකීකරු කතක් වේ. හිතුවක්කාරියක් වන ඇය සැප සම්පත් හිමි වුවත් විවාහ දිවිය කඩාකප්පල් කර ගනී. ක්‍රමානුකූලව අලංකර ලෙස වැඩුණේ නැති රෝම සහිත බැම ඇති ළඳ අදූරදර්ශී ඉක්මන් තීරණයට එළැඹෙන කතක් වේ. ඇයගේ ජීවිතය බොහෝවිට අවුල් වේ. යුගදිවිය අසාර්ථක විය හැකිය.

යම්කිසි කතකගේ ඇහිබැම දෙක අතර විශාල පරතරයක් පවතී. නම් ඇය ගුණවත් කාරුණික කෙනෙක් වේ. සමාජ සේවය කරන විවාහ දිවිය උසස් ලෙස ගත කරන කීර්තිමත් ළඳක් වන්නීය.

ස්ත්‍රී නළල

කිසියම් ළඳකගේ නළල උස්ව පිහිටියේද, පළල්ව පැතිර ඇද්ද මොළොක් හා ශෝභන වන්නේද, කැළැල් නැතිද ඇය බොහෝ සැප සම්පත් විඳින අතර සැමියාගෙන් ගරුසරු ලබනු ඇත. රෝම නැති මෘදු පැහැපත් නළල පිහිටියේ නම් ඇය යස ඉසුරින් පිරිපුන් යහපත් ජීවිතයක් ගත කරන්නීය. ඇය තරුණ වියට පා තබත්ම විවාහ වෙයි. ඉතා සාර්ථක විවාහ දිවියක් ගත කරන අතර සමාජයෙන් ගරුසරුද ලබනු ඇත.

පළල් නළල් තලයක් හිමි නම් ඇය උසස් තනතුරු ලැබීමේ පින් ඇති ළඳක් වන්නීය. ජනාදරයට ලක්වීමට කීර්තිමත් ජීවිතයක් ගත කිරීමට ගරු බුහුමන් පැසසුම් ලැබීමට ද හැකිවන යහපත් කතක් වනු ඇත. ඇය නායකත්වයට සුදුසු කෙනෙකු ද වීමට හේතුය.

යම් ළඳකගේ නළලෙහි නහර ඉලිප්පී ඇත්නම් ඇය අසාර්ථක යුගදිවියක් ගත කරන කතක් වේ. තරුණ වයසට පෙර සිය චරිතය කිලිටි කර ගන්නට පෙලඹෙන බවද, රාගාධික කතක් වන බවද, විවාහ ජීවිතය කඩාකප්පල් කර ගන්නා බවද කියනු ලැබේ. නිල්වන් නහර පිරි නළලක් හිමි කත දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් යුතු වේ. සැමියා හා දරුවන් වෙනුවෙන් වෙහෙස මහන්සි වන ඇය අවසානයේ ඔවුන්ගේ කරුණාවට පාත්‍ර නොවන අතර දහසක් බලාපොරොත්තු තිබුණත් ඒවා ඉටුකර ගැනීම අපහසු ස්ත්‍රියක් වන බවද පෙන්නුම් කෙරේ. තුන් හුලයේ නළල ඇති කත දැඩි ආත්මාර්ථකාමි ලද දෙයින් සතුටු නොවන සැමියාට වදයක් වීමට ඉඩ ඇති ළඳක් වන්නීය. පරුෂ වචන කියන කලකෝලාහලවලට පෙලඹෙන දුෂ්ට කතක් වීමටද ඉඩ ඇත.

වටකුරු ඉහළට නෙරා ආ නළල් තලය උසස් දැනුමක්ද ලැබීමේ විශේෂ සලකුණයි. එම කත කාරුණික වූ උසස් සිතුම් පැතුම් ඇති රටේ ප්‍රශංසාවට ලක්වන සැපවත් විවාහ දිවියක් ගෙවන දරුවන්ගේ ආදරයට ලක්වන කෙනෙකු වන බව කිව හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.