සඳු ග්‍රහයා හඳුනා ගනිමු

අගෝස්තු 9, 2024

සෞරග්‍රහ මණ්ඩලයේ මව් වශයෙන් නම් කෙරෙන්නේ සඳු හෙවත් චන්ද්‍රයායි. චන්ද්‍රයා රාතී‍්‍ර කාලයේ දී තම බලය විදුවයි. දහවල් කාලයට චන්ද්‍රයාගේ බලය අඩු ය. රාත්‍රී කාලයේ දී උපත ලබන දරු දැරියන්ට කාරකයා වන්නේ චන්ද්‍රයායි. තරිඳු, නිසයුරු, සිසි යන නම් චන්ද්‍රයාට ව්‍යවහාර වේ.

සඳුගේ දිග්බල ප්‍රදේශය සිව් වැන්න වේ. සඳුදා දවස චන්ද්‍රයාගේ දිනය වේ. අධිපති ග්‍රහයා චන්ද්‍ර නමින් හඳුන්වයි. අධිපති දේවතාවා දුර්ගා වේ. දුර්ගාගේ ගුණ ගත් විට එය සුබ වේ. රෙහෙණ, හත, සුවණ යන නැකැත් තුන සඳුට අයත් වේ. මේ නැකැත් තුනම සුබ කාර්යයන් සඳහා යොදා ගනු ලැබේ. රෙහෙණ, සුවණ නැකැත් දෙක පුරුෂ නැකත් වන අතර හත නැකත ස්ත්‍රී නැකැතකි.

නැකැත් 27 අතුරින් රෙහෙණ නැකත 4 වැනි නැකත වේ. සංස්කෘත නාමය වන්නේ රෝහිණී වේ. රෙහෙණ නැකැත අධිපති දේවතාවා වන්නේ ප්‍රජාපතී වේ. හත නැකත, හස්ථා වශයෙන් සංස්කෘතයෙන් හඳුන්වයි. අර්ථය දේවතාවා හෝ අධිපති දේවතාවා වේ. සුවණ නැකත ශ්‍රවණා යන සංස්කෘත නමින් හඳුන්වයි. විෂ්ණු දේවතාවා එහි අධිපතීත්වය දරයි.

චන්ද්‍රයාගේ ගමන අනුව පුර සහ අව වශයෙන් සඳ ගමන කොටස් දෙකකට බෙදා වෙන් කරයි. පුර තිථි 15 ක් සහ අව තිථි 15ක් වේ. පුර පෑලවිය, පුර දියවක, පුර තියවක, පුර ජලවක, පුර විසේනිය, පුර සැටවක, පුර සතවක, පුර අටවක, පුර නවවක, පුර දවසක, පුර එකොළොස්වක, පුර දොළොස්වක, පුර තෙළෙස්වක, පුර තුදුස්වක, පුර පසළොස්වක යනාදී ලෙස පුර පක්ෂය බෙදේ.

අව තිථි ලෙස ගත් විට අව පෑලවිය, අව දියවක, අව තියවක, අව ජලවක, අව විසේනිය, අව සැටවක, අව සතවක, අව අටවක, අව නවවක, අව දසවක, අව එකොළොස්වක, අව දොළොස්වක, අව තෙලෙස්වක, අව තුදුස්වක, අමාවක ලෙස අව පක්ෂය බෙදේ.

සඳුගෙන් යෙදෙන යෝග 27 කි. ඒවා නම් විශ්කම්භ, පී‍්‍රති, ආයුෂ්මන්, සෞභාග්‍ය, ශෝභන, අතිගණ්ඩ, සූකර්ම, ධෘති, ශුල, ගණ්ඩ, වෘද්ධි, ධෘම, ව්‍යාඝාත, හර්ෂණ, වජ්‍ර, ස්ද්ධි, ව්‍යාතිපාත, වාරියන්, පරිඝ, ශිව, සිද්ධ, සාධ්‍ය, ශුභ, ශුභ්‍ර, බ්‍රහ්ම, මහේන්ද්‍ර, වෛධෘති යනාදී ලෙස ය. නැකැත් සෑදීමේ දී මේ යෝග වැදගත් වේ. ඒවා සුබ අසුබ ලෙස යෙදේ. මීට අමතරව චර සහ තිර කරණ ලෙස ද කරණ 10 කි. බව, බාලව, කෞලව, තෛතිල, ගරජ, වණිජ, විෂ්ටි යන කරණ තිර කරණ ලෙසද, ශකුණ, චතුෂ්පාද, කිංස්තුංග, නාග යන කරණ චර කරණ ලෙස ද හැඳින්වේ. මේවා තිථි සමඟ සම්බන්ධ වේ.

කටක රාශියට අධිපතිකම් දරන සඳුට මිත්‍ර ග්‍රහයන් රවි, කුජ, ගුරු වේ. සම ග්‍රහයන් වන්නේ බුධ, ශුක්‍ර ය. රාහු, ශනි සතුරු ග්‍රහයන් වේ. සඳු සහ ගුරු දෙපළගෙන් යෙදෙන යෝග ලෙස ගජ කේෂරී, අනඵා, සුනඵා ආදී යෝග පෙන්වා දිය හැකිය. කෙසේ නමුත් චන්ද්‍රයාගේ සංක්‍රාන්තිය සමඟ ඒ ඒ ලග්නවලට බලපාන කරුණු මෙසේ වේ.

මේෂ

චන්ද්‍රයා මේෂ ලග්න හිමියන්ගේ හතර වැන්නාධිපතියා වේ. චන්ද්‍රයාගේ දිග්බල ස්ථානය ද 4 වැන්නයි. හතරවැන්නට අධිපති චන්ද්‍රයා ජන්මීන්ට ඉඩකඩම්, යාන වාහන, සැප සම්පත් ලබා දෙයි. මව නියෝජනය වේ.

වෘෂභ

තුන අධිපතියා චන්ද්‍රයා වේ. තුන් වැන්න වික්‍රමස්ථානය වන අතර සියලු සිතුවිලිවලට ප්‍රමුඛස්ථානය ගනී. වෘෂභ ලග්නය චන්ද්‍රයාගේ උච්ච භවනය වේ.

මිථුන

චන්ද්‍රයා දෙවැන්නාධිපතියා වේ. දෙවැන්න ධනස්ථානයයි. මව පියා නෑදෑයන්ගේ සියලු දේපළ හිමි වේ.

කටක

කටක ලග්න හිමියන්ගේ ලග්නාධිපතියා චන්ද්‍රයා වේ. චන්ද්‍රයා පුර සඳු වූ කල පුද්ගලයන් මුහුණේ ලක්ෂණ ආලෝකමත් වේ. චන්ද්‍රයාට බ්‍රහස්පති කේන්ද්‍ර ගතවීමෙන් ගජකේෂරී යෝගය උදාවේ. අනඵා සුනඵා යෝගය ද යෙදේ. ඒ චන්ද්‍රයාගේ පිහිටීම අනුව යෙදේ.

සිංහ

සිංහ ලග්නයට චන්ද්‍රයා මිත්‍ර ග්‍රහයා වේ. දොළොස්වැන්න අධිපතියා වේ. චන්ද්‍රයා 12, 6, 8 යන ස්ථානවල සිටීමෙන් විපරීත රාජ යෝග යෙදේ. සිංහ ලග්න හිමියන්ට විදේශීය ධනය පවා ලබා දේ.

කන්‍යා

කන්‍යා ලග්නයට සඳු මිත්‍ර ග්‍රහයෙක් නොවේ. එහෙත් 11 වැන්නාධිපති නිසා අයස්ථානය බලවත් වූ විට මහා ධනස්කන්ධයකට හිමිකම් කියයි. ප්‍රාර්ථනා ඉෂ්ට වේ.

තුලා

දසවැන්නාධිපතියා වන්නේ චන්ද්‍රයායි. රැකී රක්ෂා දියුණුව උසස්වීම් ලබාදෙයි. රාජ්‍ය අංශයේ රැකියා අපේක්ෂිත අයට ඒවාට හිමිකම් ලබාදෙයි.

වෘශ්චික

භාග්‍යස්ථානාධිපතියා සඳු වේ. භාග්‍ය උදාකර දෙන අතරම විදේශ ගමන් බිමන් සඵල කර දෙනු ලැබේ.

ධනු

ධනු ලග්නයේ අෂ්ටමාධිපතියා සඳු වේ. අට වැන්න මාරක ස්ථානයයි. 8 වැන්න බොහෝ විට චන්ද්‍රයා දුර්වලව සිටියොත් සිය දිවි හානි කර ගැනීම් සහ දියේ ගිලීම්වලට හේතු වේ. එනිසා ජලයෙන් පරිස්සම් විය යුතු ය.

මකර

හත්වැන්නාධිපතියා සඳු වේ. සෙනසුරු මකර ලග්නයේ අධිපති වුවත් චන්ද්‍රයා සමඟ අමනාප වුවත් චන්ද්‍රයා බලවත් වීම මත හවුල් ව්‍යාපාර දියුණුව සැලසේ. විදෙස් ධනය හිමිවේ.

කුම්භ

6 වැන්නාධිපතියා සඳු වේ 6 වැන්නේ සඳු සිටීමෙන් විපරීත රාජ යෝගයක් යෙදේ. මව්පස ඥාතීන්ගෙන් උදව් හිමිවේ.

මීන

පස්වැන්නාධිපතියා සඳු වේ. මිත්‍ර ග්‍රහයා වේ. අධ්‍යාපනන කටයුතු තරග විභාග ජය අත් වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.