සෑම මසකම එකසේ යෙදෙන සඳුගේ ශුභ අශුභ යෝග

අගෝස්තු 2, 2024

පෘථිවියේ උප ග්‍රහයකු වූ සඳු සෑම දින 28කට ආසන්න කාලයක දී පෘථිවිය වටා සිය කක්‍ෂය ගෙවා දමමින් රාශි චක්‍රය පසු කරන අතර රාශි චක්‍රයේ එක් එක් ග්‍රහයා සමඟ සංයෝග වීමේදී ග්‍රහයෝග සාදයි.

ස්වභාවයෙන්ම සඳු යහපත හා අයහපත ඇතිකිරීමට හේතුවන ග්‍රහයකු වන අතර මිනිසාට මෙන්ම පරිසරයේ පැවැත්මට වැඩි දායකත්වයක් ලබා දෙන ග්‍රහයා වේ.

පුරපස සඳු, සඳුට හිතැති කටක, වෘෂභ වැනි රාශිවලදී වුවද රෑ කල වූ විට වැඩි යහපත උදා කරන අතර අව පක්‍ෂයේදී වෘශ්චික රාශිගත වීමේදී දිවා කාලයට මේ තත්ත්වය අනෙක් පිට හැරේ.

දින 28ක් වන චන්‍ද්‍ර මාසයකදී සදා කල්හි සඳුගේ රාශි චාරය එකාකාරී වන අතර රාශිගත වීම කලින් කලට පුර අව පක්‍ෂ වෙනස් වේ. මාතෘකාරක ග්‍රහයා වුවත් සඳුගේ මේ වෙනස් වීම ශුභ මෙන්ම අශුභ ඵල උදා කිරීමට ද සමත් වේ.

සඳුගේ මේ රාශි තරණයේදී එක් එක් රාශිවලදී අන් ග්‍රහයන්ගේ සංයෝගය හා දෘෂ්ටි වැටීම හා සඳුගේ පිහිටීම තුළ ඇතිවන ග්‍රහ යෝගද ශුභ අශුභ ආකාරයෙන් පිහිටන අතර දෙපස රාශිවල ග්‍රහයින් මුක්තව යම් රාශියක සඳු හුදෙකලා වූ විට කේමධ්‍රැම යෝගය උදා කරයි. මෙහි අවම කාලය දින 2 ක් වන අතර කලාතුරකින් එය දින 25ක් පුරා පැවතිය හැකිය.

කේමධ්‍රැම යෝගය ඇතිවිට ජන්ම ලාභය ලබන්නන් දිළිඳු භාවයට පත්වන, බාධක අඩු ලුහුඬුකම් මධ්‍යයේ ඉතා දුක සේ දිවි ගෙවන්නන් බවට පත්වේ. කලත්‍ර, පුත්‍ර සේම ධන සම්පත්තීන් ද හීන, තම උපන් බිමෙන් පිටව යන්නට කරුණු සැලසෙන, අනුනට ගැතිව බැලමෙහෙවරකම් කරමින් කල් ගත කරනට සිදුවන, අපවිත්‍ර අශෝභන ගති සිරිත් ඇති, උගතුනට, නැණවතුනට, සිල්වතුනට අපහාස කරන්නා වූ හොර මැර, වංචා සටකපටකම් කරන්නන් විය හැකි බව ඡ්‍යොතිර්වේදයෙහි සඳහන් වේ.

සඳුගෙන් උදා කරන ශකට යෝගයද එවැනි අශුභ යෝගයකි. චන්‍ද්‍ර මාසයක් තුළ තුන් වාරයක් උදාවන මේ යෝගය ගුරුගෙන් 6, 8, 12යන රාශිවල සඳු ගෝචර වන කාලයේදී උදා වේ.

මේ යෝගය ඇතිවිට උපදින්නන් තම ධනය හා වාසනාව නැතිවීමත්, ඇතිවීමත් නැවත නැවත අත්දකින්නන්ය. දිළිඳුකම, නැතිබැරිකම හා දුක්ඛිත බව ද විඳවීමට සිදුවේ. මුරණ්ඩු, ඇට්ටර, හිතුවක්කාර ගති ඇතිවේ. නෑදෑයන්ගේ ද්වේෂයට ලක්වේ.

සඳු සිය ගමනේදී කුජ සමඟ සංයෝග වන දින 2 ක හා කුජගෙන් හත්වැන්නේ වන දින 2 ක කාලය චන්‍ද්‍රමංගල යෝගය උදාවන අතර මෙය ශුභ යෝගයක් වුවත් විවාහ ජීවිතයේදී අහිතකරය. මව සමඟ ඇති බැඳීම්වලටද අයහපත් මේ යෝගය ධන යෝගයක් වශයෙන්ද ක්‍රියාත්මක වේ.

සඳු ගුරු ගෙන් කේන්‍ද්‍රගතව පිහිටීමේදී උදාකරන ගජකේෂරී යෝගය උසස් යෝගයකි. සෑම මසකම සිව් වාරයක් උදාවන මේ යෝගය ගුරු කටක රාශිගත වූ විට උදා වූ කල්හි ඉතා උසස් මෙන්ම මහත් බලවත් යෝගයක් බවට පත් වේ. වසර දොළහකට වරක් උදා කෙරෙන මේ අවස්ථාවේදී සඳුද කටකරාශි වූ විට සඳුගේ කුලීර යෝගය, ගුරුගේ ගුරු හංස යෝගය ද එක්කර කටක, තුලා, මකර, මේෂ යන ලග්නවලින් යුත් ජන්මීන් සමාජයේ උසස් තලවලට ඔසවා තබයි.

සඳු වෘෂභ රාශිගත වන අවස්ථාවන්හි උදා කරන සස යෝගයද උසස් යෝගයකි. යහපත් ගුණවත් ප්‍රසන්න පෙනුමක් ඇති කරුණාවන්ත අය බිහි කරන මේ යෝගය සිකුරු ද වෘෂභ රාශිගතව ඇති කල උදාවන විට විෂ්ණු යෝගයද එක් වෙමින් විශේෂ බලයක් එක් කරයි. මේ කාලයේදී වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන් මාලවී නම් මහා පුරුෂ යෝගයෙන්ද ශක්තිමත් වේ.

සඳුගෙන් උදා කරන යහපත් යෝග ලෙස අනඵා, සුනඵා, දුරාධුර, පුෂ්කර, වාසුමතී, චන්‍ද්‍රාධි වැනි යෝගද ශුභ ගණයේ ලා ගැනෙන ග්‍රහ යෝගයන්ය. සඳු බලවත්වන කාල සීමාවල යෙදී ඇති මේ යෝග හිමියන් සමාජයේ යහපත් පුරවැසියන් ලෙස දිවි ගෙවන බව අපගේ නීරීක්‍ෂණ තුළ පෙනී ගොස් ඇත.

වෙනත් ග්‍රහයන්ගෙන් යෙදෙන යෝගවලට වඩා සඳුගෙන් යෙදෙන ග්‍රහ යෝග ඵල දෙන බව සනාථ කෙරෙන අවස්ථා බහුල වශයෙන් දැකගත හැකිය. එයට හොඳම උදාහරණ ගත හැක්කේ ශකට යෝගය සහිතව උපන්නන්ගෙනි. ඔවුන්ගේ ජීවීත එක් කලෙක සමෘද්ධිමත්ව ගත කරන අතර තවත් කලෙක තත්ත්වය පහළ වැටීම්, අගහිඟකම්වලට පාත්‍රවීම් බහුලව දැකගත හැකිය.

 

ඡ්‍යොතිෂ හා අංක විද්‍යාවේදී

එම්.ජී.යූ. රාජපක්‍ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.