මුදු රේඛාවලින් හෙළිවෙන ජීවන තොරතුරු

අගෝස්තු 16, 2024

 

සොලමන් මුදුව කලාතුරකින් අත්ලක දක්නට ලැබෙන අතර දබර ඇගිල්ල මුල අර්ධ කවයක් පරිදි ගුරු මණ්ඩලය මත පිහිටා තිබේ.ගුප්ත ශාස්ත්‍රවලට දක්ෂයෙක් වූ ඒ වගේම බුද්ධිමත් මහත්මා ගතිගුණ ඇතිව රජ කළ සොලමන් රජුගේ නමින් මේ මුදු රේඛාව නම් කර තිබේ. මේ රේඛාව පිහිටා ඇති අත්ල හිමියන් ගුප්ත විද්‍යා විෂයන්වලට දැඩි ආශාවක් දක්වන අතර එම විද්‍යාවන් ප්‍රගුණ කිරිමටත් එම විෂයන්ගෙන් ප්‍රයෝජනයක් ගැනිමටත් හැකියාව ලැබේ.

දාර්ශනික මනසක් ඇති පුද්ගලයන්ගේ අත්ලවල මෙන්ම විනිසුරුවරුන් මනෝවිද්‍යාඥයන් වැනි අයගේ අත්ලවලද මේ මුදුව බෙහෝවිට දක්නට ලැබේ. සමහර විට සොලමන් මුදු දෙකක් එත් අත්ලක පිහිටීමට ද හැකි අතර ඇතැම් විට ඒවා මඟින් චතුරස්‍ර හෝ ත්‍රිකෝණ නිර්මාණය වීමටද පළුවන. ඒ වගේම දබර ඇගිල්ලේ එක් පැත්තකට වන්නට අර්ධ වශයෙන් සොලමන් මුදුව පිහිටා තිබිය හැකිය. එම පුද්ගලයන්ද ගුප්ත්‍ර ශාස්ත්‍ර ඉගනීමට කැමැත්තක් දක්වන අතර අධ්‍යාත්මික ජීවිතයකට වඩාත් නැඹුරු වේ. සොලමන් මුදුව වඩාත් පහතින් පිහිටා ඇත්නම් එම අත්ල හිමියා අධික සංවේදි සිතිවිලි සහිත සංගීතය ආදි කලා අංශවලට නැඹුරු පුද්ගලයකු වේ.

කෙසේ වුවත් මේ රේඛාවට බලයක් නොමැත. මේ රේඛා ලක්ෂණයෙන් පෙන්වන්නේ අදාළ විෂයන්ට අදාළව ඇති කැමැත්ත නැති නම් ආශාව පමණි.

එම නිසා සොලමන් මුදුව ක්‍රියාත්මක වීමට අත්ලේ අනිකුත් රේඛා ලක්ෂණද සම්බන්ධ විය යුතුය. විශේෂයෙන් ශීර්ෂ රේඛාව වන්ද්‍ර මණ්ඩලයට ගමන් කිරිම, හෘද රේඛාව සහ ශීර්ෂ රේඛාව අතර ගුප්ත කතිරය වැටි තිබිම, ජීවන රේඛාව සිරස් රේඛාවක් බවට පත් වී ගමන් කිරිම, ආදි ලක්ෂණයන් පිහිටා තිබිම මඟින් සොලමන් මුදුව ක්‍රියාකාරි වේ. ඇඟිලි තුඩු හතරැස් ආකාරයෙන් සහ ඇඟිලි පුරුක් මහත් වී තිබේ නම් නියම වශයෙන් ගුප්ත ශාස්ත්‍රයන්ගෙන් ඉතා උසස් තත්ත්වයන්ට පත්වේ. හෘද රේඛාව කැඩී බිඳී ගොස් ශීර්ෂ රේඛාවෙන් ශාඛාවක් චන්ද්‍ර මණ්ඩලයට වැටී තිබෙනම් එවැනි පුද්ගලයන් අවබෝධයෙන් තොරව ගුප්ත්‍ර ශාස්ත්‍ර හදාරා නොයෙක් ආකාරයේ අකටයුතුකම් කරන තත්ත්වයට පත්වේ.

අන්ධ විශ්වාසයන් මුල් කරගෙන ක්‍රියාකරන මොවුන් මානසික රෝගවලට පවා ගොදුරු වීමට පුළුවන. එම නිසා ගුප්ත විද්‍යාවන් හදාරන අයට ප්‍රබල ජීවන රේඛාවක්ද ආත්ම විශ්වාසය ඇති කිරිමට විකෘතිවීම්වලින් තොර හෘද රේඛාවක්ද චන්ද්‍ර මණ්ඩලයට ගමන් කරන පැහැදිලි ප්‍රබල ශීර්ෂ රේඛාවක් සමග සොලමන් මුදුව හෙවත් ගුප්ත මුදුව පිහිටා තිබිය යුතුය. ශනි මුදුව කලාතුරකින් දැකිය හැකි ලක්ෂණයක් වන අතර මැදැඟිල්ල මුල අර්ධ කවාකාරව ශනි මණ්ඩලය මත පිහිටයි. ශනි මුදුව අත්ලක නොපිහිටිය යුතු ලක්ෂණයක් වන අතර බොහෝවිට මැදගිල්ලේ දෙපැත්තෙන් කෙටි රේඛා වශයෙන් ආරම්භ වි ශනි මණ්ඩලය මැදදී සම්බන්ධ නොවී පවතින අවස්ථාවද දකින්න ලැබේ. කෙසේ මුත් ශනි මුදුව සහිත අත්ල හිමි පුද්ගලයා නිතරම කලකිරුණු ස්වභාවයෙන් යුක්ත පුද්ගලයකු වන අතර එකම රැකියාව වැඩි කාලයක් කරන්නේද නැත. දුර දිග නොබලා කටයුතු කරන අතර කිපෙන සුලුබව නිරන්තරයෙන් දකින්න ලැබේ. මොවුන් බොහෝ දුරට අවිවාහකව ගත කරන අතර විවාහ වුවත් යුග ජිවිතය සාර්ථක වන්නේ නැත. තම අරමුණු වෙත ළඟා වීම ඉතා අපහසුවේ. සිය දිවි හානි කර ගන්නා අයගේ සහ සමාජයෙන් ඈත් වී තනිවම ජිවත් වී මිය යන අයගේ අත්ලේ බොහෝවිට මේ රේඛාව දිස්වේ. ශනි මණ්ඩලයෙන් ලබාදෙන ධර්මිෂ්ඨ භාවය, මමත්වය, ලෝකොත්තර ආශාව ආදිය වෙනත් මඟකට යොමු කරවයි. ශනි මුදුව සහිත අත්ලක ශිර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලට ගමන් කර ඇත්නම් ජීවිතය කලකිරිමට පත්ව සියදිවි හානිකර ගැනිමේ තත්ත්වයට වුව ද පත්විය හැකිය. එසේම ශනි මුදුව සහිත අත්ලක කුඩා අසුබ ලක්ෂණයක් හෝ සුළු විකෘති වීමක් ඉතා ප්‍රබල ලෙස ජිවිතයට බලපෑම් එල්ල කරයි. තවද ශනි මුදුවෙන් අතු රේඛාවක් රවි මණ්ඩලයට ගමන් කිරිමද ඉතා අවසනාවන්ත ලක්ෂණයකි.

කලාතුරකින් වෙදැඟිල්ල හෙවත් රවි ඇඟිල්ල පාමුල අර්ධ කවාකාර ව පිහිටි රේඛාව රවි මුදුව ලෙස හැදින්විය හැකිය. රවි මුදුව සහිත අත්ල හිමියා ඉතා වසනාවන්ත පුද්ගලයෙකි. ඉතා ඉහළ සදාචාරාත්මක හැදියාවක් ඔහු සතුවන අතර නිෂ්චිත අරමුණක් කරා සාර්ථකව ගමන් කර ජයග්‍රහණය අත්පත් කර ගැනිමට දක්ෂ වේ. ලස්සනට මොවුන් කැමැතිය. සුඛෝපහෝගි දිවියකට කැමැතිය. එහෙත් රවි මුදුව රවි මණ්ඩලය සම්පුර්ණයෙන් ආවරණය කරයිනම් එය බාධකයක් ලෙසද ක්‍රියාකරයි. සෑම දෙයකම සුබවාදි පාර්ශ්වය පමණක් බලන ස්වභාවයක් ඇති නිසා නිර්මාණ ශක්තිය අඩු විය හැකිය. තවද බුධ ඇගිල්ල හෙවත් සුළැඟිල්ල පාමුල ද අර්ධ කවාකර ව පිහිටි රේඛාවක් පිහිටා තිබිය හැකි අතර එය බොහෝ දුරට ඉහළට ගමන් කරන ස්වභාවයක් පෙන්නුම් කරයි. මෙය ඉතාමත් කලාතුරකින් පිහිටන ලක්ෂණයක් වන අතර බුධ මුදුව ලෙස හැදින්වේ. මෙවැනි පිහිටිමක් සහිත නම් එවැනි ලක්ෂණයකින් පෙන්නුම් කරන්නේ විවාහයට සම්බන්ධ කාරණයක් වන අතර ඉහළට එසවුණ බුධ මුදුවක් සහිත අය නැවත විවාහයකට ඇතුළත් වන්නේ නැත.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.