රුචක රාජ යෝගය ගෙනෙන කුජ ග්‍රහයා හඳුනා ගනිමු

අගෝස්තු 16, 2024

සෞරග්‍රහ මණ්ඩලයේ කුජ හඳුන්වන නම් කිහිපයකි. අඟහරු හෙවත් භෞම, භූමි පුත්‍ර, මිහිපුත්, මංගල එයින් කීපයකි. කුජ සහෝදර කාරකයා වෙයි. කුජගේ මණ්ඩලයේ එක් පැත්තක් රතු පැහැතිය. එම රතු පැහැති පෙදෙස පොළොව දෙසට යොමු වන්නේ අඟහරුවාදා දිනයටය.

එහි කිරණ අසුබ යැයි සිතන නිසා එදින ස්නානය සඳහා පැරැන්නෝ යොදා නොගත්තෝ ය. කුජගේ නැකැත් තුනකි. මුවසිරස, සිත, දෙනට එම නැකැත් වේ. කුජගේ දසාව වර්ෂ හතකි. මේ නැකැත්වලට පාද හතර බැගින් ඇත. සංස්කෘත භාෂාවෙන් මුවසිරස නැකත මෘඝ ශීර්ෂ නමින් හඳුන්වයි. එළුවාගේ හිස යන්න එයින් නිරූපණය වේ. මුවසිරස නැකත හිමි දේවතාවා ඛේමා වේ. සිත නැකත චිත්‍රා නම් සංස්කෘත වචනයෙන් හැඳින්වේ. සිත නැකත හිමි දේවතාවා බ්‍රහ්ම වේ. දෙනට නැකත සංස්කෘතයෙන් හඳුන්වන්නේ ධනුෂ්ඨා ලෙසය. වාසුදේව දෙනට නැකැතට හිමි දේවතාවා වේ. අඟහරු හෙවත් කුජට මිත්‍ර ග්‍රහයන් වශයෙන් රවි, සඳු, ගුරු, කේතු හැඳින් වේ. සම ග්‍රහයින් වන්නේ සිකුරු හා සෙනසුරුය. සතුරු ග්‍රහයින් වන්නේ බුධ හා රාහුය. කුජගේ මුල ත්‍රිකෝණ රාශිය වන්නේ මේෂයයි. වෘෂභයට මිත්‍රවේ. මිථුනයට සතුරුවේ. කටකයට නීච වේ. සිංහයට මිත්‍ර වේ. කන්‍යාවට සතුරුයි. තුලාවට මිත්‍ර වේ. වෘශ්චිකය කුජගේ ස්වක්ෂේත්‍ර රාශිය වේ. ධනු රාශියට මිත්‍රය. මකර උච්චය. කුම්භ රාශියට කුජ මිත්‍රය, මීන රාශියට ද එසේමය.

කුජගෙන් සහෝදර සහෝදරියන් ගැන මෙහෙකරුවන් පිළිබඳව හා වික්‍රමය පිළිබඳව නියෝජනයක් සිදුවේ. එක පැත්තකින් කුජ රුධිරයට සම්බන්ධතාවයක් දක්වයි. කුජ නරක් වීමෙන් හොරි, දද, වන වැනි ලේ විෂවීමේ රෝග සාදයි. කුජ, ශුක්‍ර යෝගය කාමුක යෝගයක් ලෙස ගණන් ගැනේ.

කුජගෙන් භෞම දෝෂය ද හටගනී. මේ දෝෂය ස්ත්‍රියට හෝ පුරුෂයාට මාරක ඇති කරන බව ඡ්‍යොතිෂයේ සඳහන් වේ. සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු නිර්භීත ග්‍රහයකු ලෙස හඳුන්වයි. අඟහරු ආයුධ, හමුදාව, පොළොව නියෝජනය කරයි. අඟහරු කේන්දරයක බලවත් නම් අන් අය යටත් කර ගැනීමේ බලයකට උරුමකම් කියයි. අඟහරුගෙන් යෙදෙන රාජයෝග වන්නේ පංච මහා පුරුෂ යෝග මඟින් යෙදෙන රුචක රාජ යෝගය යෙදෙයි. එය යෙදෙන්නේ අඟහරු මකර, මේෂ, වෘශ්චික රාශියක සිටීමෙන් සහ ඒ ඒ අධිපතීන් කේන්ද්‍රගතව සිටීමෙනි. කුජගේ රාශිගතවීම ඒ ඒ ලග්නවලට මෙසේ බලපායි.

මේෂ

කුජ මේෂ රාශියේ සිටින විට එම ලග්න හිමියාගේ අභිමානය ඉහළ යයි. කෙනෙකුට යටත් නොවන කෙනෙක් බවට පත්වේ. පරාජයට අකමැතිය. කුජ මේෂ රාශියේ සිටින විට උපදින අයට රුචක රාජ යෝගය ඇතිවේ.

වෘෂභ

කුජ වෘෂභ රාශියට 12 වැන්න සහ 7 වැන්නාධිපතියා වෙයි. 12 වැන්නාධිපතියා වීම නිසා අධික වියදම් ඇති කරයි. කුජගේ මේ පිහිටීම යුග දිවියට බලපායි. යාළු මිත්‍ර කම් පවත්වා මංගල කටයුතු ඉටුකරගත හැකිය. විදේශීය ධනයට හිමිකම් ඇත. විදේශ ගමන් බිමන්වලට යහපත් වෙයි. සහෝදර පක්ෂයට අපල ඇති විය හැකි ය.

මිථුන

කුජ 11 වැන්නාධිපතියා වෙයි. 6 වැන්නාධිපතියා ද අඟහරු ය. 6 වැන්න රෝග සතුරු ස්ථානයයි. ආදායම් මාර්ග සරු කරයි. සතුරන් දමනය කිරීමේ බලය ඇති කරයි. හමුදා ආරක්ෂක සේවාවලට යහපත්ය. පොළොවෙන් ධනය උපයයි.

කටක

කටක රාශියට කුජ 10 වැන්නේ යෙදේ. 5 වැන්න හිමියාද කුජය. කටක රාශියට කුජ මිත්‍ර ග්‍රහයෙකි. ඒ නිසා ආරක්ෂක අංශවල රැකියාවලට පත් වේ. කුජ මේෂයේ සිටියදී කටක ලග්නයෙන් උපදින අයට රුචක නම් රාජයෝගය යෙදේ.

සිංහ

සිංහ රාශියට කුජ 9 අධිපතියා වෙයි. බාධක ග්‍රහයා වුවත් මිත්‍ර රාශිය අධිපති රවි බැවින් සුබපල ලබාදේ. විදේශීය ධනයට හිමිකම් කියයි. ආගම දහමට නැඹුරු වුවන් වැරැදි වැඩ කිරීමෙන් වළකී. සිංහයට ආදායම් මාර්ග සතු කරයි.

කන්‍යා

කන්‍යා රාශියට අෂ්ටමාධිපතියා කුජ වේ. සහෝදර පක්ෂයට ද හිතකර නැත. හවුලේ කටයුතුවලට බාධා ඇතිවේ. නිතර ගැටුම් ඇතිවේ.

තුලා

තුලා රාශියට කුජ 7 වැන්නාධිපතියා වේ. දෙවැන්න වූ ධනස්ථානාධිපතියා ද ඔහුය. අඟහරු 7 බැවින් තුලා ලග්න හිමියන්ගේ විවාහ කටයුතුවලදී බියක් හටගනී. අඟහරු 7 වැන්නාධිපති වී 6 වැන්නේ හෝ 8 සිටීනම් අනිවාර්යෙන්ම ස්ත්‍රියට හෝ ස්වාමියාට අපල ඇතිවේ. කුජ ශනි යෝගය භයානක යෝගයකි. මෙය 8 වැන්නේ හෝ 2 වැන්නේ යෙදේ නම් වාත රක්ත රෝගයෙන් අංශභාග රෝග තත්ත්වයට පත්විය හැකිය.

වෘශ්චික

වෘශ්චික ලග්නයට අඟහරු ලග්නාධිපති වේ. 6 වැන්නාධිපතියා ද වන බැවින් සතුරන් මෙල්ල කිරීමේ දී ප්‍රමුඛතමයා වේ. වෘශ්චික රාශියේ අධිපති කුජ වේ. උපදින ළමයින්ට රුචක රාජ යෝගය යෙදේ.

ධනු

ධනු රාශියට 5 වැන්නාධිපතියා කුජය. 12 වැන්නාධිපතියා ද වේ. ධනු රාශිය අධිපතියා වන ගුරු සමඟ කුජ මිත්‍ර වේ. එනිසා තමන් අපේක්ෂා කරන සුබපල ලබාගැනීමට පොහොසත් වේ. විදේශීය ධනයට හිමිකම් කියයි.

මකර

මකර රාශියට කුජ හතරවැන්න 11 වැන්නාධිපතියා වෙයි. කුජගෙන් යෙදෙන රාජ යෝගය වන රුචක යෝගය මකර රාශියට ද යෙදේ. කුජ මේෂයේ සිටීමෙන් මකර, කටක, තුලා යන රාශි තුනෙන් උපදින අයට රුචක රාජ යෝගය යෙදේ. භූමි සම්පත් හිමිවේ.

කුම්භ

කුම්භ රාශියට අධිපති සෙනසුරු සමඟ කුජ සම ග්‍රහයෙක් නිසාත් තුන්වැන්නාධිපතියා වීම නිසාත් සහෝදර පක්ෂයට හිතකර නැත. 10 වැන්නට හිමිකම් කියන නිසා රැකී රක්ෂාවලට යහපත් වේ. එබැවින් සුබපල කුම්භ ලග්න හිමියන්ට වැඩිපුර හිමිවේ.

මීන

මීන ලග්න හිමියන්ගේ කුජ දෙවැන්නාධිපතියා වේ. දෙවැන්න ධනස්ථානය වන අතර ධනස්ථානයට අධිපතියා කුජ වේ. මීන ලග්නයට භාග්‍යස්ථානාධිපතියා බැවින් ධර්ම, කර්ම රාජ යෝගයට හිමිකම් කියන අතර 10 වැන්නාධිපතියා ගුරු වන අතර 9 රාශිය වෘශ්චික අධිපතියා කුජ වේ. එමඟින් ධර්ම කර්මාධිපති යෝගය උදාවන්නේ දෙදෙනා මිත්‍ර බැවිනි. විදේශීය ගමන්වලට හා ධනයට හිමිකම් කියයි. වාසනාව හිමිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.