ගිලිහෙන මතකය අවදි කරන්නට

දෙසැම්බර් 20, 2024

“මේ කියන දේ මේ මතක නෑ “ යන්න අපට පුද්ගලයන් සමඟ ගැටෙන විට ඇසෙන සුලභ වදනකි. ඇත්තෙන්ම එයට හේතුව මතකය දුර්වල වීමද? එසේ නම් එලෙස දුර්වල වීමට කාරණා මොනවාද? යන්නට මෙමගින් ඔබට යම්කිසි දැනුමක් ලැබෙනු ඇත.

වයස් පරතරයකින් තොරව විවිධ කාරණා පදනම්ව අමතක වීම අවස්ථානුකූලව මතුවේ. මේ පිළිබඳව දැන ගැනීම අප සමාජයේ ජීවත්වන බොහෝ පිරිසකට වැදගත්ය. ඇත්තෙන්ම එලෙස අමතක වීමෙන් අපහසුතාවයන්ට ලක් වූ අවස්ථා ද ඕනෑ තරම්ය. මතකය යනු යම් තොරතුරක් අවශ්‍ය අවස්ථාවේදී සිහි කිරීමට ඇති හැකියාව නැත්නම් නැවත ආවර්ජනය කිරීමට ඇති හැකියාවයි. මේ මතකය අපට අවශ්‍ය වෙලාවට ආවර්ජනය කිරීමට නොහැකි වීම අමතක වීමයි. මෙය වර්තමානයට පමණක් සීමා වූවක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පවා අමතක වීම සමාජය තුළ තිබූවකි. සංඝාරව සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කාරණාව මූලික කරගෙනය. එනම් සංඝාරව නම් බ්‍රාහ්මණයා විසින් බුදුරජාණන් වහන්සෙගෙන් මෙලෙස විමසන ලදී. “වෙලාවකට කලින් හොඳට ධාරණය කරගත් මන්තර හොඳට සිහි වෙනවා. අලුත් දේවලුත් ධාරණය වෙනවා. සමහර දවස් තියෙනවා කිසිම දෙයක් ධාරණය වෙන්නෙත් නැහැ. පාඩම් කරපු දෙයක් මතකෙට එන්නෙත් නැහැ. කවුරුත් කියපු දෙයක් මතක හිටින්නෙත් නැහැ. කොපමණ උත්සාහ කළත් මතකයට එන්නේ නැහැ. එලෙස සිදුවන්නේ ඇයි භාග්‍යවතුන්වහන්ස?” එහිදී බුදුරජාණන්වහන්සේ විවිධ උපමාවන් භාවිත කරමින් අමතක වන්නේ ඇයි ද යන්න පැහැදිලි කර දුන්සේක. එහිදී ප්‍රධාන වන්නේ කාමච්ඡන්දය, උද්දච්චකුක්කුච්ච, විචිකිච්ඡාව, ව්‍යාපාදය, ථීනමිද්ධය යන පංච නීවරණවලින් මනස යටපත් වීමය. එසේ නොවන්නාට හොඳින් මතක ශක්තිය පිහිටන බවත් දේශනා කළ සේක.

බුදු දහම මෙන්ම සෙන් දහම තුළද ඒ පිළිබඳව මෙලෙස කතාවකින් දක්වා ඇත.

“ ජපානයේ විසූ එක් තරුණ පුද්ගලයකු එක්තරා දිනෙක ඔහුට ඇති ගැටලුවකට විසඳුමක් ලබා ගැනීමට සිතා සෙන් භික්ෂුවක් වැඩ වාසය කරන ආරාමයකට ගොස් මෙලෙස පැවසුවේය. “අනේ ගුරුතුමනි. මම ගොඩාක් විෂය කරුණු දන්නවා මම හැම දෙයක් ගැනම වගේ දන්නවා. එහෙත් මට හිතාගන්න බැහැනේ අවශ්‍ය වෙලාවට මතක් කළාට මට අමතක වෙනවනේ. මතකයට එන්නේම නෑ. මම මොකක්ද ගුරුතුමනි මීට කළ යුත්තේ?”

මේ පැනයට සෙන් භික්ෂුව සවන් දුන්නේ කෝප්පයට තේ වත්කරන ගමන්ය. තරුණයා ප්‍රශ්නය ආසා අවසන් මුත් සෙන් භික්‍ෂුවගෙන් පිළිතුරක් නොමැත. සෙන් භික්ෂුව එම කිසිවක් නොපවසා දිගටම තේ කෝප්පයට තේ වත් කරමින් යන විට වැඩි වේලාවක් නොයා එම කෝප්පය පිරී ගොස් උතුරා යන මට්ටමටම පැමිණ ඇති බව එම තරුණයාට පෙනුණි. එහෙත් භික්ෂුවගෙන් පිළිතුරක් ද නැත. තේ කෝප්පය පිරී ඉතිරී යයි.

මේ දිහා බලා සිටි තරුණයා මෙලෙස පවසයි. “ඔන්න ඔන්න ගුරුතුමනි තේ කෝපය පිරී ඉතිරිලා යනවා. ඔන්න තේ ගොඩක් පිටතට ඉතිරෙනවා. දැන් කෝප්පෙට තේ පිරී ඉවරයිනේ. තව පිරෙන්නෙ නෑනේ. උතුරන එක විතරයිනෙ වෙන්නේ.කොච්චර පිරෙව්වත් දැන් තේරුමක් නෑනේ” ඔහු කලබල වී හයියෙන් කෑගහන්නට ගත්තේය.

එවිට මේ සෙන් භික්ෂුව විසින් එම තරුණයාට හරි අපූරු පාඩමක් මේ තේ කෝප්පයේ සිද්ධියෙන්ම පවසන ලදී. “ඔබ දුටුවාද දැන් මේ තේ කෝප්පයට වත් කළ ටිකකින් තේවලින් කෝප්පය පිරී ඉතිරී ගිය ආකාරය. අන්න ඒ වගේ තමයි මතයන්, විශ්වාසයන්, අප පුරවාගෙන සිටින අනවශ්‍ය කාරණා. අප දන්නවා කියලා හිතාගෙන ඉන්න දේවල් තුළින් අපේ මනස පුරවාගෙන සිටියහොත් ආයෙ අලුතෙන් දෙයක් මනසට එකතු කරන්න බැහැ. ඒක හරි ම අසීරු කාර්යයක්. තරුණයකු විදියට ඔබ දන්න ඔබගේ මනසෙ පුරවාගෙන සිටින බොහෝ කාරණා ඇති. එහෙත් ඒ සියල්ල වැදගත් දැයි ඵලක් ඇත්දැයි සිතන්න. මුලින්ම සිත සන්සුන් කරගන්න. අවශ්‍ය මොනවාද අනවශ්‍ය මොනවාද යැයි හොදින් අධ්‍යනය කරන්න. එහෙම කළොත් ඔබට පුළුවන් මේ හිස් කෝප්පය පිරී ඉතිරී ගියා සේ නොවී ඵලක් ඇති දේවලින් මනස බර කරගැනීමට. තව තවත් දේ එකතු කර ගැනීමට ඔබ උත්සාහ කර බලන්න. එවිට ඔබට කෙතරම් දුරට මතක ශක්තිය වර්ධනය වී ඇත්දැයි යන්න ඔබටම අවබෝධ කරගත හැකියි.” සෙන් ගුරුතුමා සරල සිද්ධියක් පාදක කරගනිමින් හරි අපූරුවට එම තරුණ පුද්ගලයාට මෙය හොඳින් වටහා දෙන ලදී.

ඕනෑම කෙනෙකුට මෙවැනි අමතක වීම් විය හැකිය. එයට හේතුවක් ලෙස කරුණු කාරණා අනවශ්‍ය ලෙස මනසට එකතු කර ගැනීමද ඉහත ආකාරයට දැක්විය හැකිය. එහිදී වන්නේ දරා ගත හැකි ප්‍රමාණය ඉක්මවා ගොස් ඒවා අමතක වීමයි. එනම් එය හිස් කෝප්පය උතුරන ලෙස තේ ගලායාම වැනිය. මොහොතක් සිතන්න වයස් භේදයකින් තොරව අපට මෙය නිරන්තරයෙන්ම සිදුවන්නකි.

ඇත්තෙන්ම එයට හොඳම පිළියම කුමක්ද? මෙයට හොඳම පිළියම මෛත්‍රී භාවනාවය. අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී භාවනාවේ වැදගත්කම හා ආනිසංස දේශනා කර ඇති නිසා එයින් ලැබෙන ගුණය අති මහත් බව අපි දනිමු. දවසට විනාඩි කිහිපයක් ගෙන භාවනාවේ නිරත වන්නේ නම් මේ අපට ඇතිවන සියලු අමතක වීම පවා මනස නිරවුල් වූ විට මතකයට නඟාගත හැකි වන බව සත්‍යයකි. මෙය අත් හදා බැලිය හැකි ක්‍රමයකි.

මේ කාර්යබහුල ජීවිතයේ විඩාබර බව නිවාගත හැකි කදිම ක්‍රමයක් ලෙස භාවනාව අපට භාවිත කළ හැකි අතර මේ අමතක වීමේ කාරණාවට පමණක් නොව විවිධ හේතූන් මත ඇතිවන වෙනත් ගැටලු සඳහා ද එය මනාව ප්‍රයෝජනවත් වෙයි. එහෙයින් දිනපතා සිදුකරන තමන්ගේ කටයුතුවල එක් අංගයක් ලෙස භාවනාව එක් කරගැනීම ජීවිතයේ යහපත පිණිසම හේතු වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.