ළදරු වයසේ සිට වැලඳෙන පැතිකුදය (Scoliosis)

අගෝස්තු 2, 2024

 

පුද්ගලයෙකුගේ කොඳු ඇට පේළියේ වම් හෝ දකුණු පසින් එක පැත්තක සිට අනෙක් පසට වන අසාමාන්‍ය ඇදවීම පැතිකුදය හෙවත් Scoliosis  රෝගී තත්ත්වය ලෙස සරලව හඳුන්වන්නට පුළුවන්.

වයසින් අඩු ඉතා කුඩා අවධියේ සිට මහලු විය දක්වාම විවිධ හේතූ නිසා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ තත්වය ඇති වනවා.වර්තමානය වන විට දරුවන් අතර මේ රෝගී තත්ත්වය පැතිර යාමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. කුඩා අවදියේ සිට නව යොවුන් විය දක්වා දරුවන්ට ඇතිවන පැතිකුද තත්ත්වය ප්‍රධාන කොටස් තුනකට දක්වන්නට පුළුවන්.

 

ළදරුවන්ට ඇතිවන පැති කුද තත්ත්වය හෙවත් Infantile Scoliosis

උපතේ සිට වයස අවුරුදු 3ට වඩා අඩු ළදරුවන්ට වැලඳෙන පැතිකුද තත්ත්වය මෙලෙස හඳුන්වනවා. මේ තත්ත්වය ඇති වීමට හේතු කිහිපයක් බලපාන්නට පුළුවන්. ගර්භාෂය තුළ කලල අවස්ථාවේ සිටම වර්ධනයේ සහ විකසනයේ ඇතිවන විවිධ ගැටලු නිසා කොඳු ඇට පේළියේ ඇදවීම් ඇතිවන්නට පුළුවන්. ලෙඩ රෝග සහ ගර්භිණී සංකූලතාවයන් මෙයට හේතුවක් වනවා. ළදරුවා උපත ලැබීමෙන් පසුව දිගා වී සිටින විට අනවශ්‍ය පරිදි කොඳු ඇට පෙළේ එක් පසෙකට පීඩනය ඇතිවෙන ලෙස තමන්ගේ ඉරියව් පවත්වාගෙන සිටීමද පැතිකුද තත්වය ඇතිවීමට තවත් හේතුවක්. මීට අමතරව ජානමය බලපෑම නිසාද ළදරු පැතිකුදය ඇතිවන බව විද්‍යාත්මක පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. රෝගය මුල සිටම නිවැරැදිව හඳුනාගෙන සිදු කරන නිවැරදි ප්‍රතිකාර මඟින් දරුවා වර්ධනය වීමත් සමග රෝගය උත්සන්න වීම සහ රෝගයෙන් ඇතිවන විවිධ සංකූලතාවයන් වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා. රෝගය නිවැරැදිව හඳුනා ගැනීම සඳහා ළදරුවාව නිවැරදිව පරීක්ෂා කිරීම මෙන්ම අවශ්‍ය පරිදි ඔපචර කිරණ සහ MRI  පරීක්ෂණ වාර්තා ද භාවිත කරන්නට පුළුවන්.

 

ළමා වයසේ දී හට ගන්නා පැතිකුදය තත්ත්වය හෙවත් Juvenile Scoliosis

වයස අවුරුදු 4 සහ 10 අතර දරුවන්ට සෑදෙන පැතිකුද තත්ත්වය මේ ලෙස හඳුන්වනවා. මේ රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන ප්‍රධානම හේතු තවමත් නිවැරදිව හඳුනාගෙන නැහැ. එහෙත් මේ වයසේදී දරුවන් තමන්ගේ දේහය සහ ඉරියව් පවත්වා ගන්නා ආකාරය රෝගී තත්ත්වය ඇතිවීමට සාධකයක් ලෙස සලකන අතර දෙමාපියන් වශයෙන් ඔබ ඔබගේ දරුවා සිටගෙන සිටීමේ ඉරියව්වේ දී විවිධ වෙනස්කම් පෙන්වනවාද යන්න පිළිබඳව ඉතා හොඳ අවධානයකින් සිටිය යුතුයි. රෝගය නිවැරැදිව හඳුනා ගැනීමටත් ඉන්පසුව නිවැරැදි ප්‍රතිකාරවලට යොමුවීමේ හැකියාව ලැබෙන්නෙත් එවිටයි. මීට අමතරව ජානමය බලපෑම් මතද මේ ඇතිවන්නට පුළුවන්. නිවැරදිව හඳුනා ගැනීම, පරීක්ෂා කිරීම සහ ර්අධ් සහ ඔපචර භාවිත කිරීමේ හැකියාව පවතිනවා.

 

නවයොවුන් වියේ දරුවන්ට හටගන්නා පැතිකුදය හෙවත් Adolescent Scoliosis

වයස අවුරුදු 11ත් 18ත් අතර පසුවන දරුවන්ට වැලඳෙන පැතිකුද තත්ත්වය මෙලෙස හඳුන්වනවා. මේ තත්ත්වය ඇතිවීම සඳහා ද බලපාන ප්‍රධානම හේතුව පැහැදිලි නැති අතර මේ වයසේ පසුවන දරුවන් එදිනෙදා ජීවිතයේදී, පාසලේ අධ්‍යාපන කටයුතුවලදී සහ ව්‍යායාම/ ක්‍රීඩාවලදී කොදුඇට පේළිය නිවැරදි ඉරියව්වෙන් පවත්වා නොගැනීම මෙයට බලපාන අතුරු සාධකයක්. මෙහිදී පාසල් යන වයසේ දරුවන් භාවිත කරන පිටේ එල්ලාගෙන යන අධික බරකින් යුතු පාසල් බෑග් ශ්‍රී ලංකාව තුළ මේ තත්වය පැතිර යාමට ප්‍රධානම හේතුවක් ලෙස දැක්විය හැකියි. පාසල් බෑග අනවශ්‍ය බර සහිතව පිටේ එල්ලාගෙන යන විට දරුවන් ඉදිරියට නැමීමටත් එක් පැත්තකට කොඳුඇට පේළිය ඇදව තබා ගැනීමටත් හුරු වෙනවා. සතියට දින පහක් පමණ දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස වැරදි ආකාරයෙන් ඉරියව් පවත්වා ගැනීම නිසා ඉතා පහසුවෙන් මේ රෝගී තත්ත්වයට ගොදුරු වන්නට පුළුවන්. මෙහිදී ද දෙමව්පියන් ලෙස ඔබට මේ රෝගී තත්ත්වයෙන් දරුවා ආරක්ෂා කර ගැනීමේ විශාල වගකීමක් පැවරෙනවා.

 

රෝග ලක්ෂණ

සිටගෙන සිටින ඉරියව්වේ දී උරහිස් දෙක අසමානව පිහිටීම

උරපතු ඇට දෙකෙන් එකක් අනිකට වඩා සමෙන් මතුවී එසවී පෙනීම.

සිටගෙන සිටින ඉරියව්වේදී උකුල් සන්ධි දෙක අසමානව එකක් වඩා ඉහළින් පෙනීම.

ඉදිරියට නැමීමේදී පර්ශු කූඩුවේ එක් පැත්තක් වැඩිපුර ඉහළට එසවී පෙනීම.

ඒකාකාරීව හෝ විටින් විට ඇතිවන කොන්ද ආශ්‍රිත වේදනාව.

රෝගී තත්ත්වය වඩාත් උත්සන්න වූ විට පර්ශු කූඩුව ඇදවීම නිසා හුස්ම ගැනීමේ ගැටලු ද ඇතිවන්නට පුළුවන්කම පවතිනවා.

 

ප්‍රතිකාර

පැතිකුද රෝගි තත්ත්වය සහිත දරුවා පරීක්ෂා කරන දේශීය වෛද්‍යවරයා විසින් නිවැරැදි රෝග විනිශ්චයකින් පසුව කොඳු ඇට පේළියේ ඇද වී තිබෙන කොටස නිවැරදිව හඳුනාගත යුතුයි. එම කොටස නිවැරදිව හඳුනා ගැනීමෙන් පසුව තෙල් ප්‍රතිකාර, පත්තු ප්‍රතිකාර සහ තැවුම් ප්‍රතිකාර සිදු කරන්නට පුළුවන්. ඒ සමඟම කොඳු ඇට පේළියේ ඇද වී ඇති කොටස නැවත නිවැරැදි පිහිටීමට ගෙන ඒම සඳහා විවිධාකාරයේ පතුරු තබා වෙළුම් සිදු කරනවා.දරුවා මේවෙළුම් සමග සම්පූර්ණ ප්‍රතිකාර අවසන් වන තෙක් ගත කළ යුතුයි. ප්‍රතිකාර සමඟම ඔබට ලබා දෙන ව්‍යායාමද නිවැරදිව සිදුකිරීම මඟින් කොඳුඇට පේළිය ආශ්‍රිත සන්ධිවල නියම චලන පරාසයන් පවත්වා ගැනීමටත්, මාංශ පේශි ශක්තිමත් කරගැනීමටත්, කොඳුඇට පේළිය ආශ්‍රිත මාංශ පේශීවල අසමබරතාවයන් වළක්වා ගැනීමටත් හැකියාව ලැබෙනවා. එම නිසා ප්‍රතිකර්ම තරමටම ව්‍යායාමද වැදගත්වන බව මතක තබා ගන්න.

 

දෙමාපියන් ලෙස ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

පැතිකුද තත්ත්වය මූලික අවස්ථාවේම හඳුනාගෙන නිවැරැදි ප්‍රතිකාරවලට යොමු වීම මඟින් වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව මතක තබාගන්න.

පැතිකුද තත්ත්වයත් සමඟ දරුවාගේ ඉරියව් වෙනස් විය හැකි නිසා ඒ පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන්න.

මේ රෝගී තත්ත්වයත් සමඟ ඇති විය හැකි කොන්දේ වේදනාවන් නිසා දරුවා පීඩාවට පත් වන්නට පුළුවන්. දරුවාට වේදනාව දැනෙන ආකාරය, දරුවාට වේදනාව දැනෙන වෙලාව සහ ඒ අවස්ථාවලදී දරුවාගේ හැසිරීම් පිළිබඳව සෑම විටම සැලකිලිමත් වන්න.

පැතිකුද තත්වය නිසා කොඳු ඇට පේළි ඇදවීමෙන් පෙනුම වෙනස් වන නිසා බොහෝවිට අන් දරුවන්ගේ උසුළු විසුළුවලට මුහුණ දෙන්නට රෝගී දරුවාට සිදු විය හැකියි. මේ තත්ත්වය නිසා මානසික පසුබෑම් ස්වභාවයක් ඇතිවීමේ ඉඩකඩ පවතින බැවින් ඔබේ දරුවාට නිතර ඇහුම්කන් දෙන්න.

මෙම රෝගී තත්වයට දිගු කාලයක් ප්‍රතිකාර කළ යුතු නිසා ,දිගු කාලයක් ප්‍රතිකාරවලට යොමු වීමට දරුවා මැලිකමක් දක්වන්නට පුළුවන් .එහිදී උපදෙස් ලබා දී ඇති පරිදි ප්‍රතිකාර වලට දරුවා යොමු කිරීම ඔබගේ වගකීම වන බව මතක තබාගන්න.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.