තරුණබව රකින ලෙඩ සුව කරන සුවඳ ප්‍රතිකාරය

අගෝස්තු 9, 2024

 

ඔබ පර්ෆියුම් (Perfume) නැමැති චිත්‍රපටය නරඹා තිබේ නම් හෝ එම චිත්‍රපටයට පාදක වූ ප්‍රංශ නව කතාවේ පරිවර්තනයක් වන අශානි ශාලිකා රණසිංහ පරිවර්තනය කළ “සුවඳ විලවුන්” කෘතිය (Das - Parfume Patrick Suskind)  කියවා ඇත්නම් සුවඳ විලවුනකට කළ හැකි මානසික පෙලඹවීම කෙතෙක්ද යන්න ගැන අසීමිත පුදුමයකට පත්වනු ඇත.

එතරම් දුරකට නොගියද, අද මෙතරම් සුවඳවිලවුන් තිබෙන, වර්තමානයේ පවා යමෙකුට එක්වරම අතීතයේ සුන්දර මතකයන් ස්මරණය කිරීමටත්, ඉන් සිත සතුටට පත් කිරීමටත් යම් යම් සුවඳවිලවුන් හේතුවන බව මෙය කියවන ඔබ සෑම දෙනෙකුම අත්විඳ ඇතැයි සිතමි.

මේ සටහන තුළින් අප ඉස්මතු කරන්නේ, සුවඳ ද්‍රව්‍යයන් කායික රෝග සඳහා ද ඖෂධ වශයෙන් යොදා ගනු ලැබූ අවස්ථා පිළිබඳවය.

රෙනී මොරිස් ගැටපොසි නැමැති ප්‍රංශ ජාතික රසායන විද්‍යාඥයෙකු විසින් මේ අයුරින් සුවඳ ද්‍රව්‍යවලට කායික රෝගාබාධ සුව කිරීමේ හැකියාවක් ඇති බව මුළින්ම සොයා ගන්නා ලදී. ඒ සඳහා ඔහුට මුල් වූයේද පරීක්ෂණවලදී බොහෝවිට සිදුවන පරිදි වූ අත් වැරදීමකි.

වරක් ඔහු තම රසායනාගාරයේ පරීක්ෂණයක නිරතව සිටියදී ඇති වූ හදිසි ගිනි ගැනීමකින් සිය අතක් පිළිස්සී ගියේය. දැවිල්ලෙන් මිදෙනු සඳහා ඔහු කළේ ඒ අසල තිබූ ලැවැන්ඩර් තෙල් භාජනයක් තුළට තම අත එබීමය. මහත් පුදුමයකට මෙන් දැවිල්ල එසැණින් නතර වූ අතර, දින කීපයකින් අතෙහි වූ ඉදිමුවද හමෙහි පිළිස්සුමද සුවපත්ව අතට පියවි තත්ත්වයට පත් විය.

ඔහු විසින් තවදුරටත් ඒ පිළිබඳව විමර්ශනයක යෙදුණු අතර, පෙනී ගියේ චර්මයේ සංවේදනයත් මනසත් අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධතාවය හේතුවෙන් සීඝ්‍රයෙන් තෙල් සහ සුවඳ වර්ග නහරවලට උරා ගන්නා බවය. එමෙන්ම ඒවා ඉතා වේගයෙන් සිරුරේ අනෙක් කොටස් කරා ගමන් ගන්නා බවද සොයා ගැණිනි.

ඉන්පසුව දිගින් දිගටම මේ පිළිබඳව පරීක්ෂණ සිදු කෙරුණු අතර, 1928 වසරේදී AROMA THERAPY යන අලුත් වචනය වෛද්‍ය විද්‍යාවට මෙන්ම ඉංගී‍්‍රසි ශබ්ද කෝෂයට ද ඇතුළු වූයේ මේ අනුවය.

එහෙත් මේ ප්‍රතිකාරය අලුත් එකක් නොවේ. ක්‍රි:ව: 2000කට පෙර බැබිලෝනියාවේ රාජකීයයන් මේ ප්‍රතිකාර විධිය අනුගමනය කර තිබෙන බවට සාක්ෂි දැනට ලැබී ඇත. එමෙන්ම ඊටත් පෙර සිටි ඊජිප්තු වැසියන්ද මේ ප්‍රතිකාර ක්‍රමය භාවිතා කළ බවට පුරා විද්‍යාත්මක සාක්ෂි දැනට ලැබී ඇත. අප පුදුමයට පත් කරවන කරුණක් වුවද ක්‍රි:ව: 1350 කට පෙර මියගිය තුතන්කාමන් පාරාවෝ රජතුමාගේ සොහොන් ගැබෙහි බඳුන්වල ඇති මල්වලින් තවමත් සුවඳ විහිදෙන බව ප්‍රකට කරුණකි.

ඇත්තෙන්ම එය එකී මල්වල සුවඳක් නොව, ඒවාට යොදන ලැබූ අනර්ඝ සුවඳ විලවුනකින් නිකුත් වෙන්නකි.

මෙනයින් බලන කල සුවඳ ද්‍රව්‍යයන් ඇතුළුව, නොයෙකුත් ශාක සහ ඖෂධ පැළෑටිවලින් පෙරන ලද තෙල් වර්ග විවිධ ලෙඩ රෝගවලට ප්‍රතිකාර වශයෙන් ප්‍රථමයෙන් භාවිත කරන ලද්දේ අරාබිය විසින් බව පිළිගැනීම අපහසු නොවේ.

මේ සුගන්ධවත් ඖෂධ තෙල් වර්ගවල විශේෂත්වය වූයේ ඒවා තුළ මිනිසාගේ තාරුණ්‍යය ඇති කරන වාජීකරණය ගුණයක්ද පැවතීම නිසාය.

15 සහ16 වෙනි සියවස්වල ජීවත් වූ ලෝපතළ සුප්‍රකට චරිතයක් වූ නොත්‍රදාමුස් අනාගත වක්තෘවරයෙකු මෙන්ම දක්ෂ වෙදදුරකුද වූයේය. ඔහුගේ කාලයේ යුරෝපය සිසාරා පැතිර ගිය මහාමාරිය වසංගතයට එරෙහිව සාර්ථක ලෙස සටන් කළ හෙතෙම ඒ සඳහා ප්‍රධාන වශයෙන් යොදාගත් එක් ඖෂධයක් වූයේ “රෝස වතුරය”.

මේ අයුරින් වෛද්‍ය ඉතිහාසයට ඇතුළුව ඇති තෙල් වර්ග කීපයක්

මෙසේය.

යුකැලිප්ටස් තෙල්- මෙය හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන අයගේ පපුවේ සහ බෙල්ලේ ආලේප කිරීමෙන් එම අපහසුතාවයෙන් මිදිය හැකිය.

කැමොමයිල් තෙල්- චර්ම රෝග සහ සම ප්‍රසන්නව තබා ගැනීම සඳහා භාවිත කරනු ලැබේ.

පෙපර්මින්ට් තෙල්- බඩේ අමාරු තත්ත්වයන්ට සුවයක් ලබා දෙයි.

ලැවැන්ඩර් තෙල්- පිළිස්සුණු විට ආලේප කිරීමෙන් වේදනාව නැතිවී ඉක්මන් සුවයක් ලබා දෙයි.

රෝස තෙල්- වනිතාවන්ට අදාළ රෝග සඳහාත්, නින්ද නොයාමෙන් පෙළෙන අයටත් විශේෂය.

මේ ආකාරයට අරාබි ජාතිකයන් විසින් ප්‍රතිකාර සඳහා යොදා ගනු ලැබුවද, පැළෑටි සාරයේ ඇති මූලික සුගන්ධය කිසිදු වෙනසකින් තොරව පෙරා ගැනීමේ තාක්ෂණය මුළින්ම අයිතිව තිබුණේ ග්‍රීක් වෛද්‍යවරුන්ටය. පසු කලෙක ගී‍්‍රකයන් සතු මේ දැනුම රෝම ජාතිකයන් අතට පත්විය. ඔවුන් එය කොතෙක් හොඳීන් දියුණු කළේද කියනවානම්, රෝමයට ඖෂධ විකිණීමේ මූලස්ථානය බවට පත්වීමට ගත වූයේ ඉතා ටික කලකි. රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කළායැයි කියන නීරෝ රෝස සුවඳට ඉතා ආශා කළ බව පැවසේ. මේ නිසා ඔහු යන එන සෑම තැනකම රෝසමල් රැගෙන ගිය බව පැවසේ.

අරාබි ජාතිකයින් මේ කටයුත්තට අවතීර්ණ වූයේ මෑතකදී වුවත්, ඔවුන්ට එහි විශේෂ ගෞරවයක් අත්පත් වන්නේ ඖෂධ ලෙස යොදා ගැනීම ආරම්භ කළේ ඔවුන් විසින් බැවිනි. අදටත් අන්තර්ජාතික වශයෙන් සුවඳ විලවුන් අලෙවිය පිළිබඳ ප්‍රධාන ස්ථානයක් අරාබි ව්‍යාපාරිකයන්ට හිමිව තිබේ. වෙනත් රටවල් විසින් කට්ට කුමංජල් සහ සුවඳ ලාටු වර්ග ගෙන්වනු ලබන්නේ අරාබියෙනි. අද වන විට අරාබි ජාතිකයින්ද බාහිර වෙදකමට යොමු වූ සිටියද තවමත් මේ පැළෑටි තෙල් වර්ගවලින් ශරීරය සම්බාහනය කර ගන්නා පුද්ගලයන් අරාබිය තුළ හිඟ නොවේ.

සුවඳ විලවුන් ඖෂධ ඇසුරින් කරන ප්‍රතිකාර කොටස් තුනකට වෙන් කර තිබේ. ඒ සම්බාහනය, ස්නානය, සහ ආග්‍රහණය යනුවෙනි.

ඔලිව් තෙල්වලට කපුරු තෙල් මිශ්‍රකර ආලේප කිරීමෙන් අනතුරුව මුනින්තලා වීමෙන් පසු සිරුර සම්භාහනය කිරීමේ ශාස්ත්‍රය දන්නා අයකු විසින් දෙපයින් පාගමින් එම කටයුත්ත සිදුකරනු ලැබේ.

වාෂ්පීකරණයෙන් සාරය ලබා ගැනීමේ ක්‍රමය සොයා ගන්නා ලද්දේ දහවෙනි ශතවර්ෂයේ අවසාන භාගයේදි අබු අලි අල් හුසේන් අබ්දුුල්ලා ඉබාන් සිනා විසිනි. ඔහු වෛද්‍ය විද්‍යාව කෙරෙහි කොතරම් ඇප කැපවීමෙන් කටයුතු කළේද යත් වයස අවුරුදු 50 වන විට වෛද්‍ය විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ සියයක් පමණ ලියා තිබුණු බව වාර්තා වෙයි.

බටහිර ලෝකය තුළ “ඇබිසින්නා” නමින් ප්‍රකටව ඇත්තේ මොහුය. ඔහු සතු විශේෂ දක්ෂතාවය වූයේ රෝසමල්වලින් සාරය පෙරා ගැනීම පිළිබඳවය. මේ රෝස ගැන ඔහු විසින් ඇති කරන ලද උනන්දුව හේතුවෙන් රෝසමල අරාබින්ගේ ජාතික පුෂ්පය බවටද පත්විය. රෝස සුගන්ධය එකල තිබූ ජනප්‍රියම විලවුන් වර්ගය බවට පත්ව තිබු අතර, ඇබිසින්නා විසින් වෙනත් නොයෙකුත් පුෂ්පයන් උපයෝගී කර ගනිමින් පිනිදිය නිෂ්පාදනය ආරම්භ කළේය.

ඇබිසින්නා විසින් නිෂ්පාදනය කරන ලද රෝස වතුර එකල හොඳම සුවඳ විලවුන් වර්ගය බවට පත්විය. මේ වන විට රෝස තෙල් සුඛෝපභෝගී භාවයේ සංකේතයක් බවට පත්වී ඇත. අරාබි ජාතික කාන්තාවන්ගේ රෝග සඳහා ඉතා හොඳ ප්‍රතිකාරයක් වශයෙන් ද සැලකේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.