තරුණ වයසේම ඇති විය හැකි අංශභාගය

අගෝස්තු 9, 2024

 

ශරීරයේ වම් හෝ දකුණු එක් පසෙක ඇතිවන පණ නැති වීම අංශභාගය ලෙස සරලව හඳුන්වනවා. මොළයේ හෝ සුෂුම්නාවේ එනම් මධ්‍ය ස්නායු පද්ධතියට වන විවිධ අනතුරු සහ රෝග නිසා නිසා මේ තත්ත්වය ඇති වෙනවා. මොළයට ඇතිවන අනතුරු සහ රෝගාබාධ නිසා හටගන්නා අංශභාග තත්ත්වයන් පිළිබඳව අද ලිපියෙන් සාකච්ඡා කරමු.

විවිධ හදිසි අනතුරුවලින් මොළයට වන හානි වීම් නිසා ඇතිවන අංශභාග තත්ත්වය ඕනෑම වයසක ඕනෑම පුද්ගලයෙකුට ඇතිවන්නට පුළුවන්. මොළයේ විවිධ ප්‍රදේශවලට හානි වීම නිසා, ඒ ඒ ප්‍රදේශවලින් සිදුකරන ශරීර ක්‍රියාකාරකම් ඇණහිටීම සිදුවන අතර මොළයේ හානිය ඇතිවූ පැත්තට ප්‍රතිවිරුද්ධ ශරීරයේ පැත්ත පණ නැති වනවා. රථ වාහන අනතුරු, වැටීම් ආශ්‍රිතව මොළයට සිදුවන අනතුරු සහ ක්‍රීඩා, ව්‍යායාමවලදී මොළයට සිදුවන දැඩි හානි ඒ ආකාරයට සිදුවන හදිසි අනතුරු ලෙස දක්වන්නට පුළුවන්. මේ අනතුරුවලදී මොළයේ සෛල කොටස් එක්වර විනාශ වීම හෝ මොළයේ අභ්‍යන්තරයට සිදුවන විවිධ වර්ගයේ රුධිර වහනයන් නිසා මොළයේ විවිධ කොටස් පීඩනයට පත් වීමත් පසුව එම සෛල මිය යෑමත් සිදුවනවා. Subarachnoid Hemorrhage  නම් තත්ත්වය මීට උදාහරණයක්.අංශභාග තත්ත්වය ඇතිවීම සඳහා හදිසි අනතුරුවලින් පරිබාහිරව මොළයට ඇතිවිය හැකි විවිධ රෝගී තත්වයන්ද හේතුවන්නට පුළුවන්. දශක කිහිපයකට කලින් මේ රෝගී තත්ත්වයන් වැලඳීම මැදි වයස ඉක්මවූ හෝ මහලු වියේ පුද්ගලයන් අතර සුලබ වූවත් වර්තමානය වන විට තරුණ පුද්ගලයන්ට පවා වැලඳීමේ අවදානමක් පවතිනවා.

ආඝාතය හෙවත් Stroke

අංශභාග තත්ත්වය ඇතිවීමට ප්‍රධානතම හේතු වන මෙය ආකාර දෙකකට සිදුවන්නට පුළුවන්.

මින් පළමු ආකාරය වන්නේ schemic Strokes  ලෙස හඳුන්වන මොළයේ ඔක්සිජන් සහිත රුධිරය රැගෙන යන ධමනිවලින් එකක් හෝ කිහිපයක් අනවශ්‍ය පරිදි සිහින් වීම නිසා යම් කොටසකට රුධිරය නිසියාකාරව නොලැබී ගොස් එම ප්‍රදේශයේ සෛල ක්‍රමයෙන් මිය යෑමයි.ධමනිවල ඇතුළත බිත්තියේ තැන්පත් වන කොලෙස්ටරෝල් නිසා මෙලෙස අනවශ්‍ය සිහින් වීම් ප්‍රධාන වශයෙන් සිදුවන අතර රුධිර කැටිති නිර්මාණය වී ලේ ගමනාගමනය අවහිරවීමද සිදුවන්නට පුළුවන්. සමහර අවස්ථාවලදී මේ රුධිර කැටිති එක් ධමනියක ඇති වී එම ස්ථානයෙන් ගැලවී ගොස් තවත් වඩා සිහින් ධමනියක් අවහිර කිරීමේ හැකියාව ද පවතිනවා.

දෙවැනි ආකාරය වන්නේ මොළයට රුධිරය සපයන ධමනියක් පුපුරා යෑමයි. මෙය වඩාත් භයානක තත්ත්වයක් වන අතර මරණය පවා ඇතිවීමේ හැකියාව පවතිනවා. මෙලෙස රුධිර නාල පුපුරා යාමට ප්‍රධානතම හේතුව වන්නේ කාලයක් තිස්සේ පවතින අධි රුධිර පීඩන තත්ත්වයයි. අධි රුධිර පීඩන තත්ත්වය හේතුවෙන්ම රුධිර නාලවල එක් තැනක සිදුවන අනවශ්‍ය මහත්වීම හෙවත් ඒදඥභපරඵථ නම් රෝගය නියමිත ප්‍රතිකාරවලින් තොරව මොළය තුළ පැවතීම නිසා ඕනෑම මොහොතකදී එම ස්ථානයෙන් රුධිර නාලය පුපුරා යාමට පුළුවන්.

මේ තත්ත්වයන් දෙක නිසාම ඇතිවන ආඝාතය හේතුවෙන් මොළයේ හානිය වූ පැත්තට ප්‍රතිවිරුද්ධ ශරීරයේ වම් හෝ දකුණු පැත්ත පණ නැති වීමකට ලක්වනවා.

 

මොළය තුළ ඇතිවන අනවශ්‍ය වර්ධන හෝ පිළිකා තත්වයන් හෙවත් Space Occupied Lesions
 

මොළය විවිධ කොටස් ආශ්‍රිතව පවතින විවිධ වර්ගයේ ස්නායු සහ ස්නායු නොවන සෛලවල අනවශ්‍ය වර්ධනය නැති වන්නට පුළුවන්. මේවා පිළිකාබවට පත්වීම හෝ නොවීම කෙසේ වුවත් මෙමගින් මොළයේ අනෙක් සෛල කොටස් පීඩනයට පත්වීම සිදු වෙනවා. මෙහිදී ද අනවශ්‍ය වර්ධනය ඇති මොළයේ කොටසට ප්‍රතිවිරුද්ධ ශරීර පැත්ත අංශභාගයට ගොදුරු වන්නට පුළුවන්.

ඉහතින් දක්වා ඇති ප්‍රධාන හේතුවලට අමතරව මොළය ආශ්‍රිත වෙනත් විවිධ රෝගාබාධ තත්ත්වයන් නිසාද තත්වය ඇතිවෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දක්වා ඇති නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව පුද්ගලයන් ආබාධවලින් අකර්මණ්‍ය කිරීමට වැඩිම දායකත්වයක් දක්වන රෝගය ආඝාතයයි. ලොව පුරා සිදුවන මරණවලට වැඩිම දායකත්වයක් දක්වන දෙවැනි රෝගය වන්නේ ද ආඝාතයයි. ගෙවුණු වසර 17ක කාලය සැලකීමේදී ආඝාතය තය ඇතිවීමේ ප්‍රවණතාවය 50%කින් වැඩි වී තිබෙනවා. සෑම පුද්ගලයියන් හතර දෙනකුගෙන් එක් කෙනෙකුටම දිවියේ ඕනෑම මොහොතකදී ආඝාතය ඇතිවීමේ අවදානමක් පවතිනවා.

ශ්‍රී ලංකාව සැලකීමේදී සෑම පුද්ගලයන් 1000කින් 10 දෙනෙකුටම ආඝාතය වැලඳීමේ අවදානමක් පවතිනවා. පිරිමි පුද්ගලයන් සැලකීමේදී කාන්තාවන්ට වඩා දෙගුණයක අවදානමක් මේ රෝගයට ගොදුරු වීම සඳහා පවතිනවා. ආඝාත තත්වය හේතුවන සාධක ලෙස

අධි රුධිර පීඩනය

දුම් පානය

අධික මද්‍යසාර භාවිතය

දියවැඩියාව

හදවත් රෝග

ඉහළ කොලෙස්ට්‍රෝල් මට්ටම

රුධිරයේ ඉහළ රතු රුධිරාණු සාන්ද්‍රණයක්

පැවතීම

ව්‍යායාම මදිකම

අධිබර සහ ස්ථූලතාවය දක්වන්නට පුළුවන්.

මීට අමතරව වයස්ගත වීමද මේ රෝගී තත්ත්වය වැලඳීමට ප්‍රධානම හේතුවක් වනවා.

ආඝාතය පිරිමි පුද්ගලයන් අතර වැලඳීම වඩාත් සුලබ නිසා පිරිමි පුද්ගලයන් නිවැරදි පිළිවෙත් අනුගමනය කරමින් ආරක්ෂාකාරී වීම ඉතා වැදගත්.ආඝාතය වළක්වා ගැනීමට කටයුතු කිරීම ඔබ මැදි වයසට හෝ මහලු වයසට එළඹෙන තෙක් බලා නොසිට තරුණ වයසේ සිටම කළ යුතු කටයුත්තක්. තරුණ වයසේ දී ඔබ අනුගමනය කරන ආරක්ෂාකාරී පියවර නිසා මැදි වයසේ හෝ මහලු වයසේදී ආඝාතය ඇතිවීම සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ගැනීමේ හැකියාව පවතී.

 

තරුණ වයසේදී සැලකිලිමත් යුතු ආකාරය

ඔබගේ ශරීරයේ බර පිළිබඳව තරුණ වයසේ සිටම සැලකිලිමත් වෙන්න. සිරුරේ බර වැඩිවී ස්ථූලතාවය ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ ශරීරයේ මේදය තැන්පත් වීමයි. ඔබ පිරිමි පුද්ගලයකු නම් ඔබගේ ශරීරයේ මේද ප්‍රතිශතය 26%ට සමානව හෝ අඩුවෙන්ද කාන්තාවක් නම් 32%ට සමානව හෝ අඩුවෙන්ද පවත්වාගත යුතු වෙනවා.

සිරුරේ මේද ප්‍රතිශතයට සාපේක්ෂව තරබාරුව පිළිබඳව අනෙක් මිණුමවන Body Mass Index  හෙවත් දේහ ස්කන්ධ දර්ශකය පිළිබඳවද අවධානය යොමු කිරීම ඉතා වැදගත්. දේහ ස්කන්ධ දර්ශකය යනු ඔබගේ ශරීරයේ බර කිලෝග්‍රෑම්වලින් මැන ගෙන එය මීටර්වලින් මැන ගත් ඔබගේ උසේ වර්ගයෙන් බෙදීමයි .ඊට පැමිණෙන අගය 18.5ත් 24.94ත් වන ලෙස ඔබගේ බර පවත්වා ගැනීම වැදගත් වනවා.

ඔබගේ රුධිර පීඩනය 140/90 මට්ටමට වඩා අඩුවෙන් පවත්වා ගැනීම ආඝාතය ඇතිවීම වළක්වා ගැනීමට හේතුවක් වනවා. මේ සඳහා අධික ලුණු භාවිතය අඩු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. සාමාන්‍ය පුද්ගලයකුට දිනකට අවශ්‍ය වන උපරිම ලුණු ප්‍රමාණය තේ හැදි එකකි. ඒ අනුව සාමාජිකයන් හතර දෙනෙක් සිටින පවුලකට 400ඨ පැකට් එකක් දින විස්සකට ඇතිවන පරිදි භාවිත කිරීමට කටයුතු කරන්න. අධික ලුණු සහිත කෙටි කෑම වර්ගවලින් හැකිතාක් ඈත් වන්න. වසරකට එක් වරක්වත් අනිවාර්යයෙන්ම රුධිර පීඩනය පරීක්ෂා කරගන්න.

ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වීමද ඉතා වැදගත්. මෙහිදී දිනකට අවම වශයෙන් මිනිත්තු 30ක් වන පරිදි අවම වශයෙන් සතියකට දින 5ක් වත් ව්‍යායාම කිරීම යෝග්‍ය වනවා. ආහාර ගැනීමේදී අධික සීනි භාවිතය සහ ට්‍රාන්ස් මේදය සහිත ආහාර පරිභෝජනය අවම කිරීමද කළ යුතුයි. අධික සීනි සහ අනෙකුත් පැණිරස කාරක හෝ ඒවා අඩංගු ආහාර භාවිත කිරීම හැකිතාක් අවම කරන්න. ට්‍රාන්ස් මේදය සහිත බටර්, චීස් සහ නැවත නැවත ගැඹුරු තෙලේ බදින ලද ආහාර පරිභෝජනය අඩු කරන්න. මේ ආහාර වෙනුවට එළවළු සහ පලතුරු හැකිතාක් ආහාර වේලට එකතු කරගන්න.

දුම්වැටි සහ අනෙකුත් දුම් කොළ ආශ්‍රිත නිෂ්පාදන සහ මද්‍යසාර භාවිතය නැවත්වීම මඟින් අඝාතය මෙන්ම අනෙකුත් බෝ නොවන රෝග වලක්වා ගැනීමේ හැකියාව ඔබට පවතිනවා.

 

ප්‍රතිකාර

අංශභාග රෝගය ඇතිවූ අවස්ථාවේදී මුලින්ම ඇතිවන රෝග ලක්ෂණවන කතා කිරීමේ අපහසුව, ඇවිදීමේ අපහසුව, මුහුණ පැත්තකට යාම සහ සිහිකල්පනාව වෙනස්වීම් යන අවස්ථාවලදී හැකිතාක් ඉක්මනින් රෝහල්ගත කිරීම වැදගත්.රුධිර නාලයක් පුපුරා යාමෙන් ඇතිවන අංශභාග තත්ත්වවලදී සිහි නැති වීමද සිදුවන්නට පුළුවන්. රෝහල්ගත කළ විගස මූලික ප්‍රතිකාරවලින් රෝගය තවදුරටත් උත්සන්න වීම සහ සංකූලතාවයන් මගහැරවා ගැනීම සිදුවෙනවා. මෙහිදී දක්ෂ චීන කටු චිත්සකවරුන්ට අංශභාග රෝගීන්ව පළමු පැය 24 තුළදීම සුව කිරීමේ හැකියාව පවතිනවා. එම මූලික ප්‍රතිකාරවලට පසුව සිදුකරන පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මඟින් රෝගියාව පූර්ණ කාලීන සුවපත් භාවයකට ගෙන ඒමේ හැකියාව පවතිනවා. මෙහිදී නැති වී ගිය චලන රටාවන් සහ පරාසයන් නැවත ලබා ගැනීම, නැතිවී හෝ අඩු වී ගිය සංවේදනයක් නැවත ලබා ගැනීම, ඇවිදීම නැවත හුරු කිරීම සහ කථනය හෙවත් කතා කිරීමේ අපහසුතාවයන් මගහැරීම මේ ප්‍රතිකාරවල මූලික අරමුණ වනවා. ප්‍රතිකාර උපක්‍රම වශයෙන් තෛල, තැවුම් ප්‍රතිකාර, පත්තු ප්‍රතිකාර , ව්‍යායාම සහ චීන කටු වෛද්‍ය ප්‍රතිකාර දක්වන්නට පුළුවන්. කුමන අන්දමේ අංශභාග රෝගී තත්ත්වයක් වුවත් බොහෝ විට ප්‍රතිකාරවලින් සුවය ලබා ගැනීමට යම්කිසි කාලයක් ගතවන්නට පුළුවන්. එම නිසා ප්‍රතිකාරවලට වඩා රෝගය ඇතිවීම වළක්වා ගැනීම වඩා යෝග්‍ය වන බව සෑම විටම මතක තබා ගන්න.

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.