වැලඳෙන්නට පෙර වළකා ගත යුතු ඇස් රෝග

අගෝස්තු 23, 2024

ලොව වෙසෙන සෑම සත්ත්වයකුම දෙනෙත ආරක්ෂා කර ගැනීමට උත්සුක වන බව නොරහසකි. එහෙත් මනුසතාගේ තරමට තිරශ්චීන (තිරිසන්) සත්ත්වයන්ගේ ඇස් පෙනීම දුර්වල නොවන බව ප්‍රකාශ කිරීමට මම මැළි නොවෙමි. අපා, දෙපා, සිව්පා යන ප්‍රබේධ ගැන සිතා බැලුවහොත් මිනිසා යනු ඉතා දුර්වල මෙන්ම ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, ද්වේෂ, සහගත සිතිවිලි සහිත සතකු ලෙස ගණන් ගත යුතුය.

සත්ත්වයන්ටත් මනුෂ්‍යයන්ටත් ඇස් දෙකක්ම පිහිටා ඇත්තේ එක් ඇසක ආබාධයකින් පෙනීම නොමැති වුවහොත් අනෙක් ඇසෙන් හෝ ලොවක් දකින්නට පුළුවන් වන නිසාවෙනි.

අප දෑස පණ වාගේ ආරක්ෂා කරන ඉඳුරකි. යම් ව්‍යසනයක් දෑසට එල්ල වී නම් ඊට පෙර ඉන් ආරක්ෂාවීමට අප සූදානම් වන බව කිව හැකිය. සමාජයීය ව්‍යවහාරයේ පවතින ලද කියමනක් වන්නේ “හිඟා කෑමටවත් දෑස් හොඳට තිබීම” වැදගත් බවයි. එබැවින් දෑස පණ මෙන් ආරක්ෂා කිරීමේ වැදගත් බව කිව යුතුය.

දෘශ්‍යාබාධ හැකි තරම් දුරට අවම කිරීමට හැකිනම් ප්‍රතිකාර කිරීමක් අවශ්‍ය නොවේ. එනමුත් සමාජ රෝග වැලඳී ඇති ස්ත්‍රියකට දරු ප්‍රසූතියකින් ලැබෙන දරුවාගේ දෙනෙත අන්ධ විය හැකිය. ගොනෝරියාව, සුදුබිංදුම වැනි සමාජ රෝගවලදී ගැබ්ගත් කාන්තාවගේ යෝනි මුඛයේ මේ සමාජ රෝග විෂබීජ තැන්පත් වීමට පුළුවන. එම රෝගකාරී විෂ දෙනෙත තුළ ගෑවුණහොත් එමඟින් බිහිවන දරුවා හට කුමන අන්දමේ ප්‍රතිකාර කළත් සුවපත් භාවයක් පැතිය නොහැකිය.

එමෙන්ම අද සමාජයේ බහුල වශයෙන් පැතිරී යන ඇසේ සුද විවිධාකාරව හටගනු ලැබේ. විශේෂයෙන් තේවතුවල, කෙත්වතුවල අව්වේ වැඩ කරන ජනතාවගේ දැස්වල මතුවන සුද පරම්පාරිකව ද හටගනු ලැබේ. එමෙන්ම ව්‍රණ සහිත සුද ව්‍රණ රහිත සුද යනුවෙන්ද දෙයාකාර වේ. මීට පිළියම් යොදන විට ව්‍රණ සහිත සුදට කරන ප්‍රතිකාරවලදි එම රෝගී තත්ත්වය අඩු නොවේ නම්, ඊට ව්‍රණ සහිත රෝගයන්හි යොදන ප්‍රතිකාරවලින් සුවයක් ලබා ගැනීමට හැකියාවක් පවතී. ඒවාගේම තදබල ගිනියම් අව්වේ වැඩකරන ජනතාව තම සේවය නිමාකර නිවෙසට හෝ ජලාශයක හෝ ළිඳකට හෝ ගංගාවක හෝ පැමිණ ස්නානයකදී ශීතල ජලස්නානයෙන් ප්‍රමුදිත වුවද එය පසු කාලීනව ‘සුද’ රෝගය වැලඳීමට හේතු වේ. මේ සුද රෝගය ඇස ආක්‍රමණය කරන්නේ ටිකෙන් ටිකය. පටල නවයක් ඇසෙහි පවතින නිසා එහි යොදන පිළියම්වලට ‘නවපටල’ නමින් හැඳින්වෙන ඔසු කරලක් ඇත. එම පටල නවයකින් සුසැදි මේ ඖෂධ පාරම්පරිකව පැවතෙන ඖෂධයක් වුවද මේ ඔසුව එක් එක් පරම්පරාවලට අනුකූලව සංයෝගයන්හි වෙනස් ආකාරයක් ගනු ලබන බව ප්‍රකාශ කළ හැකිය.

මෙවැනි තත්ත්වයන් ඇතිවීමට පෙර, අව්වේ සිටීම නුසුදුසු බව කිව හැකි වුවත් ආබාධයට මූලිකවන ආහාර විහරණවලින් වැලකීමට ද සිත තබා ගත යුතු වේ. අක්ෂි රෝගීන් හට විශේෂයෙන්ම අගුණ (අපත්‍ය) ආහාර ඛාණ්ඩයන් තිබේ. මෙසේ ලිඛිතව දක්වන ආහාර නම් මත්පැන් සියලු මාංශමය ආහාර, අන්නාසි, තක්කාලි, වැටකොළු ආදි දේවල් ගැනීමෙන් එහි පවතින රෝගී විෂකාරක හේතුවෙන් තවත් රෝගවලට ගොදුරුවන බව නොකියා සිටීමට නොහැකිය. මෙවැනි උෂ්ණාධික ආහාරපාන ගැනීම නිසා සෞඛ්‍යයට බාධාවක් වීම හෝ අසාත්මිකතාවයක් ඇතිවීම වළකා ලීම හොඳම ප්‍රතිකර්මය වේ.

සමහර අවස්ථාවලදී උද්ඝෝෂණ ආදී ක්‍රියාවන් පවත්වන විට කඳුළුගෑස් විදීම නිසා එහි සිටින උදවියගේ ඇස්වලට ඒ දුම වැදීමෙන් ඇස්වලට දාහය හා විඩාව ඇතිවන්නට පුළුවන. එවැනි සාධක තුළින් දෑසට ප්‍රබල ප්‍රතිප්‍රහාර ලැබීම පසු කාලීනව ඇස් රෝග ඇති වන බව මතක්කර දිය යුතු වේ. ඒ වාගේම දෑසට පතිතවන්නට යෙදෙන විෂ කිරිවර්ග මෙන්ම පැට්‍රල්, ඩීසල්, භූමිතෙල් වැනි දේද ඇසිඩ් හෝ උණුජලය ආදී දේවල්වලින් ඇසට හානියක් වීමට ඉඩ තිබේ නම් ඒවායින් හැකි තරම් ඈත් වී සිටීමට හැකිනම් දෑස ආරක්ෂා කර ගැනීමට පුළුවන් බව කිව හැකිය.

එසේම හරියාකාර නින්දක් නොලැබීම නිසාද ශීර්ෂාබාධ සහ නේත්‍ර රෝග සෑදෙන බව පසක්කර දිය යුතුය. දෑසට අධික ලෙස වද දෙමින් එක දිගටම රූපවාහිනී තිරය දෙස බලාගෙන සිටීමට දෑසේ පෙනීමට බාධාවක් වන බව සැළකුව මනාය. එමෙන්ම ඉතා සියුම් අක්ෂර හෝ ඉතා කුඩා ලෙස සදන නිර්මාණ (මැහුම්) ගෙතුම් දෙස නෙත් යොමාගෙන සිටීමෙන් දෑස විඩාබර බවට පත්වන බව නොකියාම බැරිය. යම්කිසි දිනයක ඇතිවන චන්ද්‍රග්‍රහණ සූර්ය ග්‍රහණ නරඹන උදවිය හට නේත්‍ර රෝග සෑදෙන බව කිව හැකිය. එවැනි අවස්ථාවකදී කළු පැහැ ගැන්වූ වීදුරු කැබැල්ලකින් සූර්යා දෙසට හරවා නැරඹීම හෝ වතුර බේසමක් බිම තබා සඳට හෝ ඉරට යොමුවන සේ ඡායාව පෙනෙන්නට තබා බැලීමෙන් දෑස ආරක්ෂා කර ගැනීමට හැකි වේ.

ආයුර්වේද අක්ෂි රෝග

විශේෂඥ වෛද්‍ය

සුසිලා නාලිනී ගොඩලියද්ද

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.