සුබසෙත සුවසෙත

අගෝස්තු 2, 2024

 

නිමාලි, කඩවත

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මා අවුරුදු 24 තරුණියෙක්මි. මගේ ඇස් වටේ මුහුණේ දෙකෙළවර, බෙල්ලේ ඇස් දෙකේ සහ කකුල්වලත් සම රැළි වැටීමක් පවතී. මේ නිසා මට හිතෙන විදියට වයසට වඩා වයස්ගත පෙනුමක් ඇති වී ඇත. යෙහෙළියන්ද මේ ගැන නිතරම මගෙන් අහනවා. එය සිතට මහත් වේදනාවක් ගෙන දෙන්නක් වේ. එබැවින් එසේ පවතින සමරැළි වැටීම සුවකර ගැනීමට ප්‍රතිකාරයක් දන්වන්න.

 

ප්‍රතිකාර -

සමේ රැළි වැටීම සිදුවන්නේ වයස අවුරුදු 35 - 40 පමණ වන විටයි. නමුත් අඩු වයසින් සමේ රැළි වැටීම සිදුවන්නේ නොයෙකුත් හේතු කාරණා අනුවයි. බොහෝ කාන්තාවන් ෆේෂල් කිරීමට දැඩි උනන්දුවක් දක්වනවා. සම රැළි වැටීමට ෆේෂල් කිරීමත් එක් හේතුවක්. නිතර නිතර ෆේෂල් කිරීමෙන් රැළි වැටුණු සම තාවකාලිව යහපත් තත්ත්වයකට පත්වන මුත් පසුකාලීනව සම නැවතත් රැළි වැටීමට ලක්විය හැකියි. එමෙන්ම සමේ රැළි වැටීමට පෝෂ්‍යදායී ආහාර නොලැබීමත් හේතුවෙනවා. එසේ වීමෙන් සිරුර වැහැරීමට යාම නිසාත් ඉක්මනින්ම සමේ රැළි වැටීම ඇතිවෙනවා. සීනි භාවිතයත් අඩුකර ගත යුතුයි. පැණිරස බහුලව යෙදූ ක්ෂණික ආහාර පානත් අඩු කළ යුතුයි. මළබද්ධය පැවැතීමත් හේතුවක්. හැකිතාක් පමණින් අලුත් එළවළු, පලාවර්ග හා අලුත් පලතුරු වර්ග ආහාරයට එක්කර ගත යුතු ය.

විටමින්, ඛනිජ ලවණ සමේ පෝෂණයට වැදගත් වේ. දිනකට අවම වශයෙන් ජලය ලීටර් තුනක්වත් පානය කළ යුතුය. පිපිඤ්ඤා, කොමඩු, සීනි කැකිරි වැනි දෑ ආහාරයට එක්කර ගැනීම සුදුසුය. මෙය සම ආශි‍්‍රතව ඇතිවන රෝගයක් බැවින් සුදුසුකම්ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීම වඩාත්ම සුදුසු ය.

*******************

ගනේවත්තේ කුසුම්පාල.

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම වයස අවුරුදු 45ක් පමණ පිරිමි අයෙක්මි. නිතරම මාගේ ඉකිළි කැසීමක් පවතී. යටට අඳින ඇඳුම්වලට කැපී ඇතැයි සිතා ඉකිළිය ඕඩිකොලොන්වලින් පිස දමා එවේලට සුවයක් ලැබුවත් නැවත නැවතත් ඉකිළිය කසන්න ගන්නවා. මම කිසිදු වැරැදි ක්‍රියවක් ද නොකරයි. මස් මාංස කෑමෙන් ද තොරයි. මෙයට සුදුසු ප්‍රතිකාරයක් ලබාදෙන්න.

 

ප්‍රතිකාර -

ඉකිළි කැසීම ඇතිවන්නේ දිලීර ආසාදනයකින් විය හැකියි. රක්තශෝධන ප්‍රතිකාර කළයුතුයි. මේ රෝගය පිළිබඳව කරුණු දැනගෙනයි ප්‍රතිකාර කළ යුත්තේ. එබැවින් ඔබ ප්‍රදේශයේ සිටින හෝ දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගන්න. එතෙක් ඔබ පාවිච්චි කරන භාජන, සබන්, තුවාය හා ඇඳුම් නිවෙසේ සිටින අයගෙන් වෙන්කර තබා ගැනීමට කටයුතු කරන්න. ඒ ඔබට ඇති රෝගී තත්ත්වය අන් අයට ද බෝවිය හැකි බැවිනි.

******************

මාලනී, කඩවත

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මගේ දුවගේ වයස අවුරුදු 17 යි. නිතරම හිස කැක්කුම බව කියනවා. නළල දෙපසත් කකියනවාලු. සෙම ගතියක් තියෙනවා. උදේට මේ රෝගී තත්ත්වය වැඩියි. රෝගය සුවකර ගැනීමට ප්‍රතිකාරයක් කියන්න.

 

ප්‍රතිකාර -

රෝග ලක්ෂණ අනුව නම් මේ තත්ත්වය ඇතිවන්නේ සෙම් ගතිය නිසයි. හිසට නීල්‍යාදී තෛලය, නිර්ගුණ්ඩාදී තෛලය රැගෙන දිනපතා ගාන්න. උදේ අටට පෙරත් දහවල් එකට පෙරත් හොඳට ජලය පානය කරන්න. රතුලූනු, සියඹලා කොළ, එකට තලා පොට්ටනියක් බැඳ වාෂ්පයෙන් තම්බා හිස, නළල දෙපස තවන්න. ඔබේ දරුවාට තවත් රෝගී ලක්ෂණ පැවතිය හැකි බැවින් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර කරන්න.

*************

ජසින්තා, මාවනැල්ල

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මගේ පුතාගේ වයස අවුරුදු 17යි. පාසල් සිසුවෙක්. ඔහුට උදෑසන කාලයේ දිගටම කිවිසුම් යනවා. නාසයෙන් සොටු දියර වගේ ගලනවා. ගඳ, සුවඳ දැනෙන්නේත් නැතිලු. ආහාර රස නැතැයි කියමින් කලහ කරනවා. හිසේ බරගතියක් පවසනවා. උදේට හා රාත්‍රී කාලයේදී උගුර කසනවා කියමින් උණුවතුර බොනවා ඉඳහිට ඇස් දැවිල්ලක් කියලත් කියනවා. සෙම්ප්‍රතිශ්‍යාව යැයි සිතමින් ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල්ගැට තම්බලත් දුන්නා. කිසිදු සුවයක් නැහැ. ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

ප්‍රතිකාර -

ඔබේ කරුණු අනුව ළමයාට වැලඳී ඇත්තේ පීනසයි. පීනස වැලඳීමට මූලික හේතුවක් වන්නේ නාස්පුඩුවලට දුම් දූවිලි ඇතුළුවීම, සෘතු විපර්යාසයන් නිතරම සීත ජලය ස්නානය කිරීමත් නිදි වැරීම සහ දහවල් කාලයේ නිදා ගැනීම, නිතරම සිසිල් ජලය පානය කිරීමත් අධික තෙතමනයට හා පින්නට අසුවීමත් වායුසමීකරණ ස්ථානවල සිටීමෙනුන් ය. තවද කෘත්‍රිම ආලේපන ආලේප කිරීමත් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණුවිට නිසි ප්‍රතිකාර නොගැනීමක් යන කරුණු ඇතුළු තවත් කරුණු රාශියක්ම නිසාය. පීනස් රෝගයට නිසි ප්‍රතිකාර නොගතහොත් නාසයේ මස්දලු පවා හටගත හැකියි. හුස්ම ගැනීමේ අපහසුතාවටද පත්විය හැකියි. කට හඬේ වෙනසක්, උගුරේ බැරැන්ඩි ගතියක් සෙම පැටලැවෙන තත්ත්වයන් ඇතිවේ. නිසි ප්‍රතිකාර නොකළදහොත් නාසයෙන් ලේ වහනය වීමක් ද ඇතිවේ.

මේ නිසා දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකු වෙත දරුවා රැගෙන ගොස් ප්‍රතිකාර ලබාගන්න. රතුලූනු, ගොටුකොළ සමව ගෙන කොටා මිරිකා යුෂ කෝප්පයකට ගෙන (කෝප්ප එකකට) මී පැණි තේ හැන්දක් දමා උදේ හිස්බඩ පානය කිරීම එළපිටවක්කා පාවට්ටා මුල් , රට ඉඳි, මුද්දරප්පලම්, එළබටු මුල්, කටුවැල් බටු එක වර්ගයකින් කලං දෙක බැඟින් ගෙන වටකුරු කෝප්ප අට එකට සිඳ කෝප්ප භාගය බැගින් උදේ, සවස තිප්පිලි කුඩු, ඉඟුරු කුඩු කලවම් කර පානය කිරීම ගුණදායකය. කෙසේ වෙතත් ආයුර්වේද වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ගැනීම සුදුසු වන්නේ පීනස් රෝග තිස් එකක් පවතින බැවිනි.

******************

පි‍්‍රයංගිකා එස්. දෙහිවල

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම විසිහත් වියැති රැකියාවක නියුතු කාන්තාවක්. මගේ බඩ පුරවා දමලා වගේ දැනෙනවා. බඩේ දැවිල්ලකුත් පවතිනවා. සමහර වෙලාවට පපුවේ දැවිල්ලකුත් තියෙනවා. ඔක්කාරයත් වගේම ඇඹුල් රසයක් උගුරට එනවා. උදේට කහපාටට වමනයත් යනවා. නිතර නිතර බඩගිනි ගතියකුත් දැනෙනවා. මේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාරයක් ලබාදෙන්න.

 

ප්‍රතිකාර -

ගැස්ට්‍රයිටීස් රෝගයයි ඔබට වැලඳී ඇත්තේ. බලා නොසිට නිසි ප්‍රතිකාර ගත යුතුයි. රෝගය වැලඳීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම. නරක් වූ පිළුණු වූ ආහාර ගැනීම, නිතර නිතර ඇඹුල් රසැති ආහාර ගැනීම, මිරිස් අධිකව යෙදූ ආහාර ගැනීම, ජලය අඩුවෙන් පානය කිරීම, පාන් පිටිවලින් නිෂ්පාදිත කෑම, කෘත්‍රිම බීම වර්ග නිතර නිතර බීම, තෙල්, ලුණු අධික ආහාරවලට ලොල්වීම, මස් මාළු වර්ග වැඩිපුර ගැනීම, කල්ගිය පරණ ආහාර කෑම, බඩගිනි දැනුණු විට කහට තේ එකක් බීම ගැස්ටයිට්‍රීස් රෝගය වැලඳීමට හේතුවන කරුණු කිහිපයක්. කොන්දේ වේදනාව, හන්දිපත් වේදනාව ඇතිවේ. මේ රෝගයට ප්‍රතිකාර නොගෙන සිටීමෙන් ආමාශගතව තුවාල ඇතිවිය හැකිය. මේ නිසා හිස් බඩට ඇල්වතුර පානය කළ යුතුය. අම්ලපිත්ත රෝගය නැතහොත් ග්‍රැස්ට්‍රයිටීස් රෝගයෙන් සැනසිල්ල ලබා ගැනීමට නම් වේලාවට ආහාර ගැනීම ව්‍යායාම් කිරීම් යහපත් සිතුවිලිවල නිරතව සිටීමද,

හිස්බඩට ඇල්වතුර පානය කිරීම, කිරිමෝරු ගැනීම, බෙලි ගැට තම්බා බීම, බෙලිමද මී පැණි සමඟ ආහාරයට ගැනීම බෙලි දියකර මී පැණි සමඟ බීම. බෙලි මද පවනේ වියළා කුඩුකර සීනි සමඟ බීම, පැණි දොඩම් යුෂ මී පැණි සමඟ බීම, කුරුම්බා, තැඹිලි වතුර ලොඳ සමඟ දවසට දෙවරක් බීම වගේම වැටකෙයියා බඩ ඉස්මදමා කැඳ පිස උදේ හිස් බඩට බීමද ගුණදායකය. සැවැන්න මුල්, බෙලි මුල්, පත්පාඩගම් සමව ගෙන වියළා කුඩුකර උණුවතුරෙන් දියකර උක් හකුරු සමඟ බීමත් සුවදායකය. ගැස්ට්‍රයිටීස් රෝගය පිළිබඳවත් පැවතුම් ඇවතුම් හා ප්‍රතිකාර පිළිබඳව රෝගියා හමුවී කරුණු සඳහන් කළයුතු බැවින් නිසි ආයුර්වේද වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ලබාගන්න.

බත්තරමුල්ල රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.