ඇඟිලි හිරිවට්ටන මැණික් කටුවේ වේදනාව

(Carpal Tunnel Syndrome)
අගෝස්තු 30, 2024

 

මැණික් කටුව සන්ධිය දෑත්වල සියුම් චලන පවත්වාගෙන යාමට වැදගත් වනවා. නැමීම (Flexion), දිග හැරීම (Extension), දෙපසට අපගමනය කිරීම (Ulnar deviation, Radial deviation) සහ කරකැවීම (Rotation) වැනි චලන රාශියක් පවතින නිසා වැඩි පීඩනයක් එල්ල වෙනවා. අතේ පහළ දණ්ඩ තැනෙන අරාස්ථිය සහ අන්වරාස්ථිය පූර්වවත් අත්ල ප්‍රදේශය තනන හස්ථ කුර්චාස්ථි අපරවත් එකතුවීමෙන් මැණික් කටු සන්ධිය නිර්මාණය වෙනවා.

මැණික් කටුව සන්ධිය ආශ්‍රිතව පිහිටන Carpal Tunnel නම් ව්‍යුහය තුළින් Median Nerve  හෙවත් මධ්‍ය ස්නායුව ගමන් කරනවා. මේ Carpal Tunnel නම් ව්‍යූහය සෑදීම සඳහා හස්ත කුරුචාස්ථි සහ Transverse Carpal Ligament  නම් බන්ධනීය දායක වනවා. විවිධ වර්ගයේ හේතු නිසා මධ්‍ය ස්නායුව Carpal Tunnel  නම් ව්‍යුහය තුළදී පීඩනයකට හෝ ඇදීමකට ලක්වන්නට පුළුවන්. මේ පීඩනය හෝ ඇදීම නිසා ඇතිවන Neuropathy තත්ත්වයක් ලෙස Carpal Tunnel Syndrome දක්වන්නට පුළුවන්. මෙය පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට බහුලව වැලඳීමේ හැකියාවක් පවතිනවා.

රෝගය ඇතිවීමට හේතු

මැණික් කටු ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම

මැණික් කටුවට ඇතිවන ආතරයිටිස් රෝගී තත්ත්ව(රුමැටොයිඩ් ආතරයිටිස් සහ ගෞට් ආතරයිටිස් )

නිසි පරිදි ප්‍රතිකාර නොකරන දියවැඩියා රෝගී තත්ත්වය.

තරබාරු සහ ස්ථූල බව නිසා සන්ධිවලට එල්ල වන අධික පීඩනය

උපතේදී මැණික් කටුවේ Carpal Tunnel  නම් ව්‍යුහය කුඩාවට පිහිටීම

පියයුරු පිළිකා සඳහා දිගු කාලයක් ඖෂධ ලබා ගැනීම

නිවෙසේදී හෝ රැකියා කරන ස්ථානයේදී දිගින් දිගටම මැණික්කටුව සන්ධියට පීඩනය එල්ල වන චලනවල යෙදීමට සිදුවීම. පරිගණක භාවිතය වැඩි පුද්ගලයින් අතර මේ රෝගය පැතිර යාමේ අවදානම වැඩිය

තයිරොක්සින් හෝමෝනයේ අසම්බරතාවයන්

වකුගඩු ආශ්‍රිත ගැටලු

වසා පද්ධතියේ ගැටලු නිසා ඇතිවන ඉදිමීමේ තත්ත්වයන්

 

රෝග ලක්ෂණ

මැණික් කටුවේ වේදනාව-මැණික්කටුවේ චලන සමඟ වේදනාව වැඩිවේ.

අතේ ඇඟිලිවල වේදනාව- අදාළ අතේ මහපට ඇඟිල්ලේ සිට මැදැඟිල්ල දක්වා විහිදේ.

මහපට ඇඟිල්ලේ සිට මැදැඟිල්ල දක්වා ඇතිවන හිරිවැටීම.

මහපටැඟිල්ල චලනය කිරීමේ අපහසුතාවය.

අතේ ග්‍රහණ හැකියාව අඩුවීම.

මහපට ඇඟිල්ලෙන් පහළ මාංශ පේශි ක්ෂයවීම.

 

රෝගය පැතිරීම සහ වළක්වා ගැනීම

මේ රෝගය බොහෝ අවස්ථාවලදී කුඩා ප්‍රමාණයෙන් ආරම්භ වී ක්‍රමයෙන් උත්සන්න වන තත්ත්වයක්. එනිසා රෝග ලක්ෂණ පිළිබඳව මුල සිටම අවධානයෙන් සිටීම වැදගත් වනවා. මැණික් කටුව ආශ්‍රිතව ඇතිවන සුළු වේදනාවක් ලෙස මෙය ආරම්භ වන්නට පුළුවන්. ඉන් පසුව ක්‍රමයෙන් ඉහතින් සඳහන් කළ රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් එකවරම හෝ විටින් විට ඇති වීම සිදු වනවා. මෙහිදී වේදනාව සඳහා වේදනා නාශක ඖෂධ හෝ ආලේපන යොදා ගැනීමට බොහෝ දෙනා පෙලඹෙනවා. ඒවා මඟින් වේදනාව දැනීම අඩුවන්නට පුළුවන්. එහෙත් රෝගයට නිසි ප්‍රතිකාරයක් ලැබෙන්නේ නෑ. එම නිසා කාලයෙන් කාලයට වේදනා නාශක භාවිත කරන්නට හුරු වන්නට එපා. රෝගයට නිසි ප්‍රතිකාරයක් සිදු නොවනවා මෙන්ම විවිධ අතුරු ආබාධ ඇතිවන්නට පුළුවන්. මුලින්ම ඇතිවන රෝග ලක්ෂණ කාලයත් සමඟ පහව යෑමේ හැකියාවද පවතිනවා. එලෙස පහව ගොස් පසුකාලීනව නැවත උත්සන්න වන්නටත් පුළුවන්.

ඔබට මැණික් කටුව සන්ධිය හෝ ඇඟිලි ආශ්‍රිතව වෙනත් රෝගාබාධ පවතින අවස්ථාවලදී ද මේ තත්ත්වය ඇතිවිය හැකි නිසා මුල සිට පවතින ඒ රෝගාබාධවල අඩු වැඩී වීම් පිළිබඳව නිවැරදි අවධානයෙන් පසු වන්න.උදාහරණයක් වශයෙන් දැනට වැලඳී තිබෙන රෝගාබාධයක් නිසා ඔබට දැනෙන වේදනාව හෝ මැණික් කටුවේ හෝ ඇඟිලි ආශ්‍රිත ඇතිවන හිරිවැටීමේ ස්වභාවය වඩා උත්සන්න වනවානම් එය නොසලකා හරින්නට එපා. එය වැලඳීමට ඉඩ තිබෙනCarpal Tunnel Syndrome  රෝගය ලක්ෂණයක් වන්නට හැකියාව පවතිනවා.

ඔබ දියවැඩියා රෝගියෙකු නම් දියවැඩියාව නිසි පරිදි පාලනය නොවන අවස්ථාවලදී Diabetic Neuropathy නම් ස්නායු ආබාධ තත්ත්වය අත් සහ පාදාශ්‍රිතව ඇතිවන්නට පුළුවන්. මෙහිදී මූලික රෝග ලක්ෂණ යක් ලෙස ඇඟිලි ආශ්‍රිත හිරිවැටීම සිදුවනවා. එවැනි රෝගයක් පවතින අවස්ථාවලදී වුවද විවිධ හේතු නිසා Carpal Tunnel Syndrome  පස්සේ ඇති වන්නට පුළුවන්. එහෙත් හිරිවැටීම සහ වේදනාව සාමාන්‍ය නිසා නොසලකා හැරීම සිදුවනවා. එසේ නොවීමට සෑම විටම වගබලා ගන්න.

 

 

ප්‍රතිකාර

මේ රෝගය මුල සිටම හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ඉතා වැදගත්. එහිදී නිසි පරිදි රෝග විනිශ්චය සිදුකොට රෝගය හඳුනාගත යුතුයි. මේ සඳහා MRI පරීක්ෂණ වාර්තා සහ Nerve Conduction  පරීක්ෂණ වාර්තා භාවිත කරන්නට පුළුවන්. ප්‍රතිකාවලට අමතරව මැණික් කටුව සන්ධියට සහ ඇඟිලිවලට අනවශ්‍ය පීඩනයක් ගෙන දෙන ක්‍රියාකාරකම් අවම කර නිසි විවේකයක් ලබාදිය යුතු වෙනවා. මෙහිදී පාරම්පරික තෙල් ප්‍රතිකාර සහ තැවුම් ප්‍රතිකාර ප්‍රධාන වශයෙන් භාවිත කෙරෙනවා. මූලික අවස්ථාවේදී මේ ප්‍රතිකාර ප්‍රමාණවත් වුවත් රෝගය කල්ගත වූ අවස්ථාවට පැමිණි විට පත්තු යෙදීම අවශ්‍ය වන්නට පුළුවන්.මැණික් කටුව සහ ඇඟිලි ආශ්‍රිතව ඇතිවන ස්නායු දුර්වලතාවය සඳහා චීන කටු වෛද්‍ය ප්‍රතිකාර මඟින්ද පූර්ණ සුවයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ අතරම වාත කෝපයට හේතුවන ආහාරවලින් වැලකීමද වඩාත් යෝග්‍යයි.

 

ප්‍රථමාධාර

මූලිකව ඇතිවෙන වේදනාවේදී මැණික්කටුව සන්ධියට මිනිත්තු 15-20ක් අතර කාලයක් අයිස් තබන්න.

ඇඟිලිවල වේදනාව සහ හිරි වැටීම ඇතිවන අවස්ථාවලදී උණුවතුරේ ඇඟිලි සහ මැණික් කටුව ගිල්වා තබා උණුසුම ලබාදීම සිදු කරන්න.දරාගැනීමට හැකි උෂ්ණත්වයක් සහිත උණු වතුරෙහි මිනිත්තු 20ක් පමණ අත ගිල්වා තැබීම වඩා යෝග්‍යයි. අතට ඒකාකාරීව තාපය ලබා ගැනීම සඳහා උණුවතුරට ලුණු ස්වල්පයක් මිශ්‍ර කරන්න.

බර එසවීම වැනි මැණික්‌කටුවට අනවශ්‍ය පීඩනයක් එල්ල වන ක්‍රියාකාරකම් අවම කරන්න.

ලිවීම,පරිගණක භාවිතය සහ ජංගම දුරකථන භාවිතය වැනි ඇඟිලිවලට අනවශ්‍ය පීඩනයක් ඇතිවන ක්‍රියාකාරකම්වලින් වළකින්න.

මැණික් කටුව ප්‍රදේශයේ අනවශ්‍ය තද ගතියක් ඇතිවන ඔරලෝසු සහ අත් පලඳනා භාවිත කිරීම අවම කරන්න.

ඇඟිලි තදවන පරිදි මුදු භාවිත කිරීමද නවත්වන්න.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.