ඔබ ආතරයිටිස්වලට බයද? එහෙනම් ඇවිදින්න

අගෝස්තු 9, 2024

වියපත් වූ ඔබ දෑත් දෙපාවල වේදනාව, ඇවිදීමට අපහසුව, කොන්දේ වේදනාව, හිරිය ඇතිවීමට හේතු ගැන මොහොතකට හිතුවාද? බොහෝ විට වයස අවුරුදු 30 - 40 වයස් වන විටම ඔබ මේ පීඩාකාරි රෝගයට ගොදුරක් වුණාද? ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී වාතජ රෝග ගණයට වැටෙන මෙහි ප්‍රභේද ගණනාවකි.

බටහිර වෛද්‍ය ක්‍රමයේ පොදුවේ ආතරයිටීස් (Arthritis)) යන නමින් බොහෝ පිරිසක් කතාකරන ඔබ අසා ඇත. අස්ථි, සන්ධි, කණ්ඩරා ((tendon)) පේශිවල කොඳු ඇටපෙළ ගී‍්‍රවා ප්‍රදේශයේ ප්‍රදාහයක් ගෙවීමක් වැඩිපුර අස්ථි වර්ධනයක් හෝ ශිරා ග්‍රන්ථි (varicose veins) නිසා මේ වේදනාව ඉදිමුම ක්‍රියා අපහසුව ඇති විය හැකියි. පළමුව මේ රෝග තත්ත්ව ඇති වීමට පෙර වළක්වා ගන්නේ කෙලෙසද යන්න විමසා බලමු. සන්ධි ප්‍රදාහයන් (Arthritis)) ඇති වීමට හේතු මොනවාද සොයා බලමු.

අධික ස්ථූලතාවය

අධික තරබාරු බව නිසා ශරීරයේ බර දරන සන්ධි පීඩාවට පත්වීමෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකියි. තමාගේ උසට සරිලන බරක් (ඕ.ර්.ධ්. අගය) පවත්වා නොගැනීම නිසා අධික කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර, අධික මේදය අඩංගු ආහාර, කෘත්‍රිම ආහාර, ව්‍යායාම නොමැතිකම, අධික ස්ථූලතාවයට හේතු වේ.

ව්‍යායාම නොමැති වීම

ජලය, ආහාර, නින්ද වගේම මිනිසාට ව්‍යායාම විශේෂයෙන් වර්තමානයේදී අත්‍යාවශ්‍යමයි. එයට හේතු රාශියකි.

මිනිසා නවීකරණයට ලක්වීමත් වැඩ පහසු කර ගැනීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනයත්, ශරීරය වෙහෙසවා වැඩ නොකිරීමත්, කෙටි දුරක් පවා ඇවිදීම නොකර ඒ සඳහා කුමන හෝ වාහන යොදා ගැනීමත් නිසා රෝග රැසකට ගොදුරු වෙමින් පවතී. මීට වසර 20 - 30 කට පමණ පෙර සමාජයේ ඉහළ පැලැන්තියේ රෝග ලෙස සැලකුණ දියවැඩියාව, අධික රුධිර පීඩනය කොලෙස්ටරෝල් දැන් සමාජයේ බහුලව දක්නට ලැබේ. සන්ධි රෝගද ඒ සියල්ලම අභිබවා යන බවක් පෙනේ.

“සිසි වන වුවන් ඉඟ සුඟ ගත හැක මිටින

නිසි පුළුකුල රිය සක වැනි...”

අතීතයේ කාන්තා රුව කවියා දුටවේ එසේය. එහෙත් අද කාලයේ දකින දකින අප ඉතාම තරබාරු කඳත්, බඩත්, ඉනක් සොයා ගැනීමට අපහසු කාන්තාවන් ඉතා බහුලයි. අස්ථි, සන්ධි, සායන ඔවුන්ගෙන් පිරී පවතී. මීට වසර 30 - 40කට පෙර ඔබේ ආච්චි, අත්තම්මා ගැන ඔබට මතකද? ඔවුන් ගෙදරට අවශ්‍ය මිරිස්, තුනපහ, කහ, ගම්මිරිස්, අබ සම්බෝල ඇඹරුවේ ගෙදර මිරිස් ගලේය. ඒ කෑමවල රසය කොතරම්ද? යන්න එය අත්විඳි අය දන්නෝ වෙති. ඉතින් එයටත් වඩා අත්තම්මා ජිම් ගියේ නැත.

මිරිස් ගල මෙහෙය වන ඒ දැනට තවත් ව්‍යායාම කුමකටද? රිද්මයානුකූලව අත් ගල මිරිස් ගල උඩ දුවවන විට ලැබෙන ව්‍යායාමය කොතරම්ද? උරහිස් සන්ධියට දෑත්වලට ඊට වඩා හොඳ ව්‍යායාමයක් තියේද? “ළිඳෙන් වතුර ඇදගෙන නෑම, වතුර කළය, උකුළේ තබා ගෙන යාම පිටි කෙටීම තරම් ව්‍යායාම තවත් ඇද්ද?

ඉතින් නූතනයේ කාලය සමඟ සටනක යෙදෙන ඔබට ලැබෙන සුළු විරාමයේදී හෝ ව්‍යායාමයේ යෙදෙන්න. දෑත් දෙපසට විහිදවන්න. ඉහළට ඔසවන්න. උරස් සන්ධිවලින් අත් දෙපසට, රවුමට කරකවන්න. මැණික් කටු සන්ධිය, වැලිමිට සන්ධිය රිද්මයානුකූලව නවන්න දිග හරින්න. මේ කරන ව්‍යායාමයේ වාර ගණන ක්‍රමයෙන් වැඩි කරන්න. වෙහෙසත්, පපුවේ වේදනාවත් දැනේනම් නතර කරන්න.

ඔබ පැය 8ක රාජකාරි කරන නිලධාරියකු හෝ නිලධාරිනියක නම් ලියන කියන කටයුතු හෝ පරිගණකයෙන් කටයුතු කරන්නේ නම් විනාඩි 30කට වරක් වත් ගෙල දෙපසට හරවන්න. ඉහළ, පහළ බලන්න ගෙල කරකවන්න. එවිට ඔබේ වේදනාව අපහසුව අඩු වන අයුරු අත් විඳින්න.

අද කාලයේ බොහෝ අය ඉතාම කෙටිදුරක් හෝ පයින් ඇවිදීමට අකමැතියි. එක්කෝ වෙලාව නැහැ. ඒ සඳහා යතුරුපැදි, ත්‍රි විලර්, වෙනත් වාහන යොදා ගන්නවා. පා පැදිය දූවිලි, මකුළුදැල් පිරිලා කොහේ හෝ මුල්ලක පාපැදිය භාවිත කිරීමට පුරුදුවන්න. එයින් ඔබේ සෞඛ්‍යයට මෙන්ම මුදල් පසුම්බියටත් හොඳයි. එකල යොදුන් ගණන් පයින් ගිය අයට දියවැඩියාව අධිරුධිර පීඩනය, අංශභාග රෝග, පිළිකා තත්ත්ව තිබුණා කියලා ඔබ අහලා තිබුනද? එකළ ඇවිද්ද පය දහස් වටී කියන කියමන අදටත් ගැළපෙන බව ඔබ නොදන්නවාද? ඇවිදින විට දණහිස් සන්ධියට, ඇඟිලිවලට, කොඳුඇටපෙළට, වළලුකර සන්ධියට කොතරම් ව්‍යායාමයක් ලැබෙනවද? හොඳින් දහදිය පිටවුණා, රුධිර ධාවනය නිසියාකාරව සිදු වුණා.

ඔවුන් ප්‍රබෝධමත්ව තෘප්තියකින් ජීවත් වුණා. අද කෙටි දුරක් ඇවිද ගියත් මහන්සියට හෝ පුංචි ඉඩකඩක ඔබේ අත් දෙක දෙපසට විහිදවමින් හැල්මේ ඇවිදින්න හෘද් රෝග වැනි අසනීප තත්ත්වයන් ඇත්නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඇවිදීම තරම් හොඳ ව්‍යායාමයක් නැති තරම්. ඇවිදීමේදී සන්ධි නැවීම දිගහැරීම, හොඳින් සිදු වේ. අද කාලයේ කැල්සියම් අනවශ්‍ය ලෙස අස්ථිරවල තැන්පත් වීම හෝ අස්ථි ගෙවීම සිදුවන්නේ හොඳින් ව්‍යායාම නොමැතිකම සහ වැරැදි ආහාර රටාවන්වලින් ඇති වන ස්ථුල බව නිසායි.

එදා අවුරුදු 80 පැන්නත් ආච්චි අම්මා හොඳට බිම ඇණ ගසා වාඩි වී රාත්‍රියට ලාම්පු එළියෙන් රටා මවමින් පැදුරු, වට්ටි පෙට්ටි විව්වාය. ඒ දණහිස සන්ධියට අවශ්‍ය ව්‍යායාම දිග හැරීම නැවීම සිදු කළ නිසාය. අද පූජ්‍යපක්ෂයට නමස්කාර කිරීමට දණ නවාගන්නත් බැරිය. දෙකට නැවී වන්දනා මාන කරයි. පුටුවක වාඩි වී බණ අසයි. වැසිකිළි කැසිකිළි යාමද දැන් නවීකරණය වී ඇත. බිම ඇණ නිසා වාඩි වී ශරීර කෘත්‍යයන් ඉටුකළ අය පත්තර කියවමින් කොමඩ් එකේ වාඩි වී පැය ගණනක් ගත කරයි.

බිම ඇණ තියා ගෙන වාඩි වීමට හැකි අය අතළොස්සකි. සන්ධියක් යනු නිතර නැවීමට දිග හැරීමට අනුවර්තනයකි. එහි නිසියාකාර ක්‍රියාකාරිත්වය නැති තැන කැල්සියම් තැන්පත් වී ක්‍රියා කිරීමට බැරිවේ. ඇවිදින්නේ තාරාවුන් ඇවිදින ක්‍රමයට යි. මොකද දණහිස් සන්ධිය නවා ගැනීමට අපහසුයි. ඊට වඩා පැන්ට්‍රිය නූතනයේ සෑම නිවසකටම පැමිණි සන්ධි කා දමන රෝගකාරකයකි. මොකද දවසේ වැඩි කාලවේලාවක් කෑම පිළියෙළ කිරීමට කාන්තාවට හිටගෙන සිටීමට සිදුවේ. එකල ළිප බිමය. පොල් ගෑවේ, මැල්ලුම් ටික ලිව්වේ, කොස් කැපුවේ බිමය. අද ඒ සියල්ල හිටගෙනයි. වැඩිපුර කාලයක් සිටගෙන සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මචපඪජධඵඥ මඥඪදඵ) තත්ත්වය (ශිරා ග්‍රන්ථි නහර ගැට ගැසීම ඇති වේ.

සන්ධිවලට පීඩා ගෙන දෙන රැකියාවල දීර්ඝ කාලීනව නිරතවීම

උදාහරණ ලෙස ආරක්ෂක නිලධාරීන්, ගුරුවරුන්, පොලිස් නිලධාරීන්, බස් කොන්දොස්තර මහතුන්, කරණවෑමියන්, ගොවියන් වැනි පිරිස් දීර්ඝ කාලයක් හිටගෙන සිටීම නිසා සන්ධිවල ගෙවීම් කණ්ඩරාවලට පේශිවලට බර දැරීමෙන් ප්‍රදාහයන් ඇති වීම දීර්ඝ කාලයක් සිටගෙන සිටින විට විනාඩි 20 - 30 කට වරක්වත් වාඩි වීම, කකුල් නැවීම, දිග හැරීම ගැසීම සිදු කළ යුතුයි. සුදුසු ව්‍යායාමවල යෙදීම වෛද්‍ය උපදෙස් මත සිදු කරන්න.

රැකියා ස්ථානයේ දී නිවෙසේ දී වැරැදි ඉරියව් භාවිතය

උදාහරණ රූපවාහිනිය නැරඹීමේදී සෝපාවල හාන්සි වී සිටීම නිවැරැදි පිළිවෙළට බර ඉසිලීම නොකිරීම ජංගම දුරකතන, පරිගණක භාවිතයේදී වැරදි ඉරියව් දීර්ඝ වේලාවක් හිස බිමට හරවා සිටීම, විනාඩි 30 -40 කට වරක්වත් ගෙලට ගැළපෙන සුළු ව්‍යායාමයක් කරන්න.

පලඳින පාවහන්

පාදයේ පතුලේ ස්වභාවික වක්‍රයන් වෙනස්වීම අස්ථි කණ්ඩරා ඉරීම, පීඩනයට පත්වීම ප්‍රදාහයන් ඇති වීම නිසා වේදනාව ඉදිමුම ඇවිදීමට අපහසු වීම

1.ස්වාභාවික වක්‍රවලට හානි වන පාවහන් පැලඳීම - ඉතා උස අඩි සහිත පාවහන්.

2.ඇඟිලි තදවෙන ලෙස පාවහන් පැලඳීම- විශේෂයෙන් මහපට ඇඟිල්ල

3.තද අඩි සහිත පාවහන් පැළඳීම-

දියුණු රටවල පාවහන් අලෙවි කරන්නන් පාදය පරික්ෂා කර එයට ගැළපෙන පාවහන් අලෙවි කරනු දැකිය හැකය.

පාවහන් පලදින්නා සහ විශේෂයෙන් අලෙවිකරුවන් පාදයේ පිහිටීම හා ව්‍යුහය මෙන්ම ඇති විය හැකි උපද්‍රව ගැන දැනුවත්ව සිටීම, මොස්තරවලට නොරැවටී සුව පහසු පාදයට, ගැළපෙන පාවහන් තෝරා දීම සිදු වේ. මෙවැනි දේ අපගේ රට තුළ නොමැති බැවින් පතුලේ විළුඹ ආශි‍්‍රත රෝග සහිත රෝගින් වැඩිපුර සායනවලට යොමු වීම සිදුවේ.

වෛද්‍ය අනෝමා ගොඩගම්පල

කොළඹ විශ්වවිද්‍යාලයේ

දේශීය වෛද්‍ය පීඨය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.