සුබසෙත සුවසෙත

අගෝස්තු 9, 2024

 

වාද්දුවේ හිමාලි

ප්‍රශ්නය -

 

වෛද්‍යතුමනි, මගේ බාල දියණිය සිව්වැනි වසරේ ඉගෙනුම ලබයි. පන්තිභාර ගුරුතුමිය සෞඛ්‍යය පාඩමක් කියාදෙමින් රෝගාබාධවලින් වැළකීමට නම් සමබල ආහාර වේලක් ගත යුතු බව කියා ඇත. එහෙත් සමබල ආහාර වේල ගන්නා දවස පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් කර නැත. එබැවින් සමබල ආහාර වේල පිළිබඳ දැනුමක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

 

පිළිතුර -

සමබල ආහාර වේලට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද, ඛනිජ, ප්‍රෝටීන්, විටමින්, නිසි පරිදි අඩංගු එළවළු, පලාවර්ග ධාන්‍ය වර්ග හා පලතුරු තෝරා ගත යුතු ය. මේ තේරා ගැනීමේ දී මස් මාළු ගැනම සිතා සිටිය යුතු නැත. මුං ඇට, පරිප්පු, කඩල, උඳු වැනි ධාන්‍ය වර්ග මෙන්ම බඩඉරිඟු, කුරක්කන්, තිරිඟු වැනි ධාන්‍යය ද උපයෝගී කරගත හැකිය. එමෙන්ම බෝංචි, මැකරල්, දඹල වැනි එළවළු වැඩිපුර ආහාරයට එක්කරගත හැකිය. ආහාර වේලට ධාන්‍යවර්ග එක්කර ගැනීමෙන් ප්‍රෝටීන ඛනිජ හා බී විටමින් බෙහෙවින් ලැබේ. සහල්වල හා කුරක්කන්වල තන්තු පවතී. එමඟින් ලේවල කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කෙරේ. මළ බද්ධය ද අවම කෙරේ. කොළ පැහැති පලාවර්ග එක්කරගත යුතුය. එහි විටමින් ඩී අඩංගුවේ. කහ පැහැති එළවළු ආහාරයට ගැනීමෙන් පිළිකා වලක්වන තත්ත්වයක් පවතී. ආහාරවල ඇති යකඩ ශරීරයට උරා ගැනීම සඳහා විටමින් සී අඩංගු දෙහි එක්කරගත යුතුය.

 

පුෂ්පා, බෙන්ගමුව

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම තිස් වියති දරුවන් තිදෙනෙකුගේ මවක්මි. දරුවන් බොහොමයක් ඔටිසම් රෝගී තත්ත්වයෙන් පසුවන බවත් සමහර දෙමාපියන් එම රෝගී තත්ත්වය නොදැන සිටින බවත් කියයි. එබැවින් එම රෝගී තත්ත්වයේ දරුවන් හඳුනා ගන්නේ කෙසේද යන්න කරුණු පහදා දෙන මෙන් ඉල්ලමි.

 

පිළිතුර -

ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවකුගේ කතාවේ අඩුපාඩු මුල් අවස්ථාවේ සිටම පෙනේ. මෙවැනි දරුවන්ගේ වර්ධනයේ පසුබෑමක් ද පවතී. රෝගයෙන් පෙළෙන ඇතැම් දරුවන් ඇසෙන වචන තේරුම් නොගැනීම සමහර වචන වැරදියට කීම බඩගින්නක් ඇති වූ විට ඔයාට බත් දෙන්න ඔයාට බඩගිනියි යන වචන භාවිත කරයි. නිරෝගී දරුවකු ඉපදී මාස කීපයක් ගතවත්ම මවගේ මුහුණ දිහා බලාගෙන සිනාවෙයි. රෝගී දරුවා මව දෙස බැලීමට හා ඇස්දෙස බැලීමට කැමැත්තක් නොදක්වයි. සුළු වශයෙන් හෝ දරුවාට මෙවැනි රෝගී ලක්ෂණ ඇත්නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකුට දරුවා පෙන්වා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

 

නන්දාවතී, වෙන්නප්පුව

ප්‍රශ්නය -

මගේ දියණියගේ වයස අවුරුදු විසි එකයි. ඇයට තිබෙන්නේ දිග කෙස් කළඹක්. ඔළුවේ තැනින් තැනින් තැන කතුරකින් කැපුවා වගේ කෙස් රොදවල් නැහැ. ඔළුව පීරනකොටත් කෙස් කෑලි පණාවට එනවා. දියණිය කියනවා රෑට ඔලුව කසන්න ගන්නවා, එසේ කසන විට කොරපොතු කෑලි වගේ නිය පොතුවලට එන බවත් කියනවා.එබැවින් වෛද්‍යතුමනි මේ රෝගයට ප්‍රතිකාරයක් කියන්න.

 

පිළිතුර -

පවතින්නේ උඳුගොව්වන් කෑමක්. පිත් දෝස හා වාතය දූෂණය වීමෙන් හටගන්නා වූ ඉන්ද්‍රලුප්ත රෝගයයි පවතින්නේ. දැනටමත් ප්‍රතිකාර නොගෙන සිටීමෙන් ඔළුව පුරාම කෙස් කැඩී යාමේ තත්ත්වයක් ඇතිවිය හැකියි. විශේෂයෙන් තත්ත්වය කෙස් කැඩීයාම හිසට දමනු ලබන සමහර ෂැම්පු වර්ග නිසාත් කෙස් වර්ණකිරීම සඳහා කරනු ලබන රත්කිරීම් නිසාත් සිදුවිය හැකිය. විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපනයන් හේතුවිය හැකිය. රෑ දවල් නොබලා ස්නානය කිරීමත් හේතුවේ.

මේ ප්‍රතිකාරයන් කරන්න. වතු කහඹිලියා අත්තන එකට කොටා ඉස්ම මිරිකා උඳුගොව්වා කෑ තැන කෙස් අඩු තැන ඇඟිලි දෙකෙන් හොඳට ගාන්න. දිනපතාම ස්නානය කරන්න. සබන් ගා හිසසේදීම අවම ලෙසින් කරන්න. ගොඩපර දෙහි ගැට, උළුහාල් තම්බා එම ඖධීය ජලය හිසට දමා පැයක් පමණ සිට හිස සෝදන්න. හීන් නිදිකුම්බා, අනෝදා කොළ තම්බා හිස සෝදන්න. කෙම් ක්‍රමයක් ලෙස මේ ප්‍රතිකාරයන් කරන්න. කළු හබරල පිත්තක් ගෙන කපාගෙන එන ලද හබරල පිත්තේ කොනක හුණුටිකක් හා එම හුණුටික පිත්තෙන්ම උඳුගොව්වා කෑ තැන අතුල්ලන්න. එය කළයුතු වන්නේ කතා නොකරය. එය දින හතක් කිරීමෙන් සුවයක් ලැබේ. හබරල පිත්තේ අග කපා හුණු ගා එසේ කළ හැකිය. හිසට ප්‍රතිකාර කළයුතු වන්නේ ඇස් ආරක්ෂාවන විදියට ආවර්ණ කර ගනිමිනි.

 

කොටිකාවත්තේ ඩයස්

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම වයස අවුරුදු 58 රියදුරෙකි. ටික දිනක සිට යටිබඩේ වේදනාවක් තුනටියේ ඇම්මත් වගේම ඇඟ පත වේදනාවකුත් දැනෙනවා. සමහර වේලාවට වමනයත්, ඔක්කාරයත්, පවතින අතර මූත්‍රාකරන විට වේදනාවකුත් තියෙනවා. දවසක් දෙකක් මූත්‍රා සමඟ ලේත් ගියා. එක ඉබේටම නැවතුණා. මෙය ඌෂ්ණයට වන බව කියන නිසා තැඹිලි බිව්වා. සවු කැඳ හදාගෙන බිව්වා. අඩුවක් නැහැ. මෙයට සුදුසු ප්‍රතිකාරයක් ලබාදෙන්න.

 

පිළිතුරු -

ඔබට තිබෙන්නේ ආශ්මරී හෙවත් මූත්‍රාගල් රෝගයයි. මේ රෝග නිසි ප්‍රතිකාර කළ යුතු වන්නේ රෝගියා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවයි. මේ රෝගය හටගන්නේ. ජලය පානය කිරීම අඩුවම හා වැරදි ආහාරපාන ගැනීම නිසයි. වෛද්‍යවරයකු වෙත යන තෙක් මේ ප්‍රතිකාර කරන්න. අක්කපාන කොළ සලාදයක්, කුප්පමේනියා ව්‍යංජනයක්, නීරමුල්ලිය, පොල්පලා, රණවරා, හාතාවාරිය, බෙලිමල් වැනි ඖෂධ වෙන වෙනම තම්බා එම ජලය පානය කරන්න.

වැටකොළු, පතෝල වැනි දියර එළවළුත් ඉදුණු ගස්ලබුත්, කෝලිකුට්ටු හා නෙල්ලිත් වේදනා සමනයට ඉතාම ගුණදායකය. නිතර නිතර උණුකර නිවාගත් ජලය පානය කරන්න. තෙල් බැඳුම් තෙම්පරාදු කළ ව්‍යාංජන, පිටි මිශ්‍ර කෑම හා අලවර්ග ක්ෂණික බීම හා ක්ෂණික කෑම වර්ග කෑමෙන් වැළකිය යුතුයි.

 

කැළණියේ - නදීෂා

ප්‍රශ්නය -

අවුරුදු 20ක සරසවි ශිෂ්‍යාවක්මි. ඉතාම තරබාරුය. මුළු ශරීරයම මහතය. අත්, දෙපා, කලවා, තට්ටම්, පියයුරු ඉතා විශාලය. අවලස්සනය. බඩ අධික තර බව අඩුකර දෙන මෙන් ඉල්ලමි.

පිළිතුරු -

ආහාර ප්‍රමාණය අඩු කරන්න. රෑට රතු සහල් බත් කන්න. මේදය අධික මස්, බිත්තර, බටර් යනාදියත්, තෙල් බැඳුම් ද නවතන්න. හැකි තරම් පයින් ඇවිදින්න. නිතර වතුර බොන්න. පළමු කෂාය සති දෙකක් ද, දෙවැනි කෂාය මාසයක් ද බොන්න. පැණි රසද නිතර කෑමද අහිතකරය.

01. අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, දුම්මෑල්ල, කටුකරෝෂණ, හාතාවාරිය අල කලං එක මදටිය 14 බැගින් ගෙන වතුර පත 16 - 2 සිඳ පත එක බැගින් උදේ 7 ට සවස 5 ට බොන්න. එම කසාය මුට්ටියට නිම්බාදි චූර්ණය මේස හැඳි එකක් ද, තාලිසාදි චූර්ණය මේස හැඳි එකක් ද දමා තම්බන්න. කෂාය සීනි, මී පැණි නොමැතිව බොන්න.

02. සුදුළූනු, අරත්ත අල, රසකිඳ, සිවිය මුල්, දේවදාර සහ පෙර කෂායට ගත් සියලුම දේවල් ද එකතු කර දෙවැනි කෂාය තම්බා ගන්න. මෙහි සඳහන් ඖෂධ ද සමඟ කලං 1 බැගින් බොන්න. කෂාය 24 - 3 ට සිඳ ගන්න. පෙර පරිදිම නිම්බාදි චූර්ණය සහ තාලිසාදි චූර්ණය එකතු කර තම්බන්න.

03.දවල් රෑ කෑමට පෙර ත්‍රිඵලාදි ක්වාථය ත්‍රිකටුකාදි ක්වාථය මිශ්‍රකර මේස හැඳි 2 බැගින් බොන්න.

04. දවල්ට රෑට කෑමට පසුව ශීඝ්‍ර අරිෂ්ඨය අවුන්ස 28 කාල මේස ක්වාථය අවුන්ස 8 මේධහර ක්වාථය අවුන්ස 8 බැගින් ගෙන මිශ්‍රකර මේස හැඳි 2 බැගින් බොන්න. අධික තර බව අඩුවේවි. ඔබගේ අවලස්සන බව නැතිව යාවි.

 

මිනුවන්ගොඩ උපාලි -

ප්‍රශ්නය -

වයස 57 කි. නිතරම අධෝවාතය පිටවීම මට කරදරයකි. මළපහ කරන විට ශබ්දය මටම ලැජ්ජාවක් ගෙන දේ. සුවකර දෙන මෙන් ඉල්ලමි.

 

පිළිතුරු -

මෙම බෙහෙත් සති 02ක් කර සති දෙකකට පසුව නැවත සති දෙකක් ගන්න. ඔබට සහනය ලැබේවි.

01. වළඟසාල්, කටුවැල්බටු, බටුමුළු, සුදුළූනු, අරළු, කුඹුරු ඇට මද, අසමෝදගම්, කÁදුරු කලං 1 1/2 බැගින් ගෙන වතුර පත 16 - 2 ට සිඳ උදේ 6 ට සවස 6ට පත 1 බැගින් බොන්න. මානිභද්‍ර මෝදකයෙන් තේ හැඳි එකක් ද දියකර කෂාය කෝප්පය බොන්න.

02. අභයාරිෂ්ඨය අවුන්ස 8, මුස්තකාරිෂ්ඨය අවුන්ස 8, අසමෝදගම් පැණිය අවුන්ස 8 මිශ්‍රකර දවල් රාත්‍රී කෑමට පෙරත්, පසුවත් මේස හැඳි 2 බැගින් බොන්න. ඔබට සහනය ලැබේවි.

නිතර වාඩි වී සිටීමෙන් වළකින්න. ටී.වී බැලීම, පුවත්පත් බැලීම සඳහා එක දිගට වාඩිවී සිටීමද නරකය.

සටහන - බී. ඇල්. ප්‍රේමරත්න

 

බත්තරමුල්ල රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.