සුබසෙත සුවසෙත

ජූලි 26, 2024

 

(එල්. පෙරේරා - මඩපාත)

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි මගේ වයස අවුරුදු 78යි.

මගේ කකුල්වල පතුල්වලට කටු අනිනවා වගේ දැනෙනවා. නැඟිටින්න අමාරුයි පණ නෑ වගේ ඒ සඳහා කළ යුතු බෙහෙත් පිළිබඳ උපදෙස් දෙන්න.

 

පිළිතුර -

ඔබට දියවැඩියාව ඇද්ද නැද්ද යන සඳහන් කර ගත නොමැති වීම තරමක ප්‍රශ්නයකි. සමහර රෝගවල රෝග ලක්ෂණ යටි පතුලේ ඇතිවන වෙනස්කම්වලින් පෙන්නුම් කෙරේ. ඒ සඳහා පූර්ණ විස්තරයක් තිබිය යුතුය. නමුත් යටි පතුලේ පවතින වේදනාවට තරමක් රස්නය ඇති උණුවතුර ටිකක් ගෙන භාජනයකට දමා එයට ලුණු මේස හැඳී හතරක් දමා පොල් විනාකිරි මේස හැඳී තුනක් පමණ එම වතුරට එක්කර මිශ්‍ර කර ඒ වතුරට යටිපතුල් දෙක දමාගෙන සිටින්න . එසේ දින කීපයක් සිදුකිරීමෙන් සුවයක් ලැබිය හැකිය. ඔබ රෝග ලක්ෂණ අනුව නිසි ප්‍රතිකාරයක් ලබා දිය හැකි වන්නේ පරීක්ෂා කිරීමෙන් පසුවය.

 

 

(කුමාරි - බත්තරමුල්ල)

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි මගේ වයස අවුරුදු 50යි.

මේ වන විටට ආර්ථවහරණය සිදුව තිබෙනවා. මට වරින්වර තද හිස කැක්කුමක් එනවා. එය අධික වූ විට වමනය කීප සැරයක් යනවා. ඇඟ පණ නැතිව පැය කීපයක් නිදාගත් විට තමයි සුව වන්නේ.

 

පිළිතුර -

වයස අවුරුදු හතළිස් පහෙන් පසුව ආර්ථවය කුමන හෝ අවස්ථාවක නතර විය හැකිය. ඔබගේ විස්තරය අනුව ඔබ ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පෙළෙන බව පැවසිය හැකිය. ඔබ ප්‍රතිකාරයක් ගැනීමට පෙර උදේ අටට පෙරත් දහවල් එකට පෙරත් ආහාරගත යුතුය. දිනකට වතුර ලීටර් දෙක හමාරක් තුනක් පමණ නොවරදවාම පානය කළ යුතුය. තක්කාලි, මුරුංගා, සැමන් , බලමාළු, කෙලවල්ලා මාළු, ඉස්සො, දැල්ලො ආදී උෂ්ණාධික ආහාරත් පාන් පිටිකෑම, තෙල් අධික කෑම ටික දිනකට හෝ කෑමෙන් වැළකී සිටිය යුතුය. සව් කැඳ, බාර්ලි, ඉරමුසු, රණවරා, බෙලිමල්, තම්බා බීමත් ඉදුණු බෙලි තරලයක් මෙන් සකසා මීපැණි දමා කෑමට ගැනීමත් සුවදායකයි.

 

(ටී. උඩවත්ත - කෑගල්ල)

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි මම අවුරුදු 42ක විවාහක පුරුෂයෙක්.

යම් බර වැඩක් හෝ නිදි මැරීම වැනි කරුණකදී වගේ උරහිසේ ඉහළට පිම්බුණු ගුලි දෙකක් වගේ එනවා. හයි වෙලා වගේ තිබිලා දින දෙක තුනකින් බැස යනවා. මෙය කුමන රෝගයක්ද? නැත්නම් රෝග ලක්ෂණයක්ද?

 

පිළිතුර -

ඔබගේ රෝග ලක්ෂණ සඳහන් කිරීමේදී ප්‍රමාණවත් කරුණු අඩංගු කර නොමැති නිසා ප්‍රතිකාරයක් සඳහන් කිරීමට අප හසුවී ඇත.

 

(සන්ධ්‍යා- ගම්පහ)

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම අවුරුදු 54ක දෙදරු මවක්.

මම තරමක් පැහැපත් කාන්තාවක්. මගේ කම්මුල් දෙපස උඩ එනම් ඇසට යටින් කම්මුල ඉස්සෙන ප්‍රදේශයේ අඳුරු පැහැයක් මතුවී තිබෙනවා. එය මගේ හිතට වදයක් මෙයට ප්‍රතිකර්මයක් කියන්න.

 

පිළිතුර -

ඔබගේ රෝගී ලක්ෂණ අනුව පෙනීයන්නේ ඔබට විටමින් ඌණතාවයක් ඇති බවයි. බාහිරව ආයුර්වේද හෝ බටහිර ප්‍රතිකාර ලබා දුන්නත් සම්පූර්ණ සුවවීමට ලේ පිරිසුදු කරන ප්‍රතිකාර ලබා දිය යුතුව ඇත. එහෙත් දෙළුම් කෑමෙන් දිනපතා හෝ දෙළුම් බීම ලෙස බීමෙන් සුවයක් ලබා ගත හැකිය. ආහාර ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ කැරට්, වට්ටක්කා වැනි කහපාට එළවළු හා කහපාට පළතුරු කෑම ගැනය.

 

(රාජපක්ෂ - වැලිවේරිය)

ප්‍රශ්නය -

මගේ වයස අවුරුදු 52යි.

මම පොදු ප්‍රවාහනයේ වැඩට යන කෙනෙක්. අව්වේ ඇවිද ගිය විට මට දාඩිය දැමූ ස්ථානවල දැඩි කැසීමක් ඇති වී කළු වුණා. බිබිලි දැම්මා. වැලමිට නැවෙන හන්දිය වැනි ස්ථානවල හම කළුවී ගොරෝසු වුණා. මෙයට සුදුසු ප්‍රතිකාරයක් කියන්න.

 

පිළිතුර -

රක්තශෝධනය සඳහා ප්‍රතිකාර කළ යුතුය. ලේ පිරිසුදු කරන උෂ්ණාධික ආහාර නොගත යුතුය. තක්කාලි, අන්නාසි, ඉස්සො, දැල්ලො, බලමාළු වැනි උෂ්ණාධික ආහාර නොගත යුතුයි. ඉරමුසු, රණවරා, බෙලිමුල් තම්බාබීමත් සුවදායකයි. බෙලි මුල් කුඩු, ටී බෑග් ලෙස ද ඇත. හැකිතාක් නෙල්ලි ආහාරයට ගන්න. දිනපතා නෙල්ලි ගෙඩියක් හෝ කෑමට ගන්න. දිනක් හෝ තරමක රස්නය ඇති උණුවතුරට ලුණුකැට ස්වල්පයක් දමා කළවම් කර නළල එම වතුරෙන් තැවීමත් නෙල්ලි කීපයක් තලා වතුරට දමා රැයක් තබා උදේට බීමත් ගුණදායකයි. වෛද්‍යවරයකු වෙත ගොස් බඩ විරේකයකට ප්‍රතිකාර ගත යුතු අතර අවශ්‍ය ප්‍රතිකාර ද ලබා ගත යුතුය.

 

(නිමන්ති - කළුතර)

ප්‍රශ්නය -

වෙද්‍යතුමනි, මම වයස 55ක කාන්තාවක්

මගේ දෑතේම “ඇඟිලි තද ගතියක් හා හිරි ගතියක් දැනෙනවා. නමන්න අපහසුයි. සීනි නැහැ. මෙය මට මහත් අපහසුවක් කරුණාකර බෙහෙතක් කියන්න.

 

පිළිතුර -

ආතරයිටිස් රෝගයෙන් පෙළෙන බව පෙනේ. ඔබව පරීක්ෂා කිරීමකින් පසුවයි ප්‍රතිකාර කළ යුත්තේ. ඔබට සීනි නැතැයි කියා සඳහන් කළ තිබුණේ ලේ පරික්ෂාකර බැලීමකින් ද? උණුවතුරට පොල් විනාකිරි ටිකක් මිශ්‍රකර එම භාජනයට අත් දමා ඇඟිලි මසාජ් කරන්න. ඇඟිලි පරික්ෂා කිරීමෙන් පසුවයි නිසි ප්‍රතිකාරයක් ලබාදිය හැකිවන්නේ.

 

(සන්දීපා - අවිස්සාවේල්ල)

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි මට වයස 43ක තිදරු මවක්.

දැන් වසර දෙකක පමණ කාලයක් පුරා පොඩි පොදයකට තෙමුණත් හිසේ වම් පස ඇතුළෙන් රිදීමක් එනවා. කන කකියන්නේ නැහැ. ඒ වෙලාවට සිනාහ වෙන්නටත් බැහැ. දරුණු වේදනාවක් එනවා. මට ඇදුම තත්ත්වයක් ද පවතී. මෙයට ප්‍රතිකර්මයක් කියන්න.

 

පිළිතුර -

ඇදුම රෝගයෙන් පෙළේ. හිසේ පැත්තක පවතින රිදීමත් වේදනා තත්ත්වයටත් ප්‍රතිකාර කළ යුතුය. හිසේ කැක්කුම සඳහා කුප්පමේනිය කොළ තම්බා එම හුමාලය හිසට අල්ලන්න. වැඩිදුරටත් ඔබගේ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයකු හමුවන්න.

 

(උපේක්ෂා - රාජගිරිය)

ප්‍රශ්නය -

මම අවුරුදු 21 විශ්වවිද්‍යාල සිසුවියක්.

පාඩම් කරන සමයේ කොණ්ඩයට නිසි ප්‍රකිකාරයක් කරන්න බැරි වුණා. දැන් හිසකේ ගැලවී යනවා. ඉස්හොරි තත්ත්වයක්ද පවතී. මොන තෙල්වර්ගය භාවිත කළත් නතර වුණේ නෑ. මෙයට උපදෙසක් දෙන්න.

 

පිළිතුර -

සවසට හා රාත්‍රී කාලයේදී නෑමෙන් වැළකී සිටිය යුතුයි. උදෑසන කාලයේදී නෑවාට කමක් නැත. නිසි ප්‍රමිතියට සකස් කර සිඳන ලද නීල්‍යාදී තෛලය, නිශාදී තෛලය, නිර්ගුණ්ඩි තෛලය හෝ පංචකේෂී තෛලය දිනපතා හිසේ ගෑම සුවදායකය. හිසේ තෙල්ගෑමට ප්‍රථම නෑවාට වරදක් නැත. තෙල් ගෑ පසු නෑමෙන් වළකින්න.

 

(ගිම්හානී - කහටගස් දිගිලිය)

ප්‍රශ්නය -

මම වයස 45 පමණ කාන්තාවක්මි.

නිවෙසට සෙරෙප්පු භාවිත කළද පතුල්වල විළුඹ පැලී අවලස්සන වී ඇත. එයට හේතුව කුමක්ද? සුදුසු ප්‍රතිකාරකයක් දෙන්න?

 

පිළිතුර -

ශරීරයේ පවතින උෂ්ණාධිකම නිසා පවතින රෝග තත්ත්වයකි. මේ නිසා උෂ්ණාධික කිසිවක් ආහාරයට ගන්න එපා. ඉරමුසු, බෙලිමල් තම්බා බීම ගුණදායකයි. තක්කාලි, අන්නාසි, බලමාළු, කෙලවල්ලා මාළු, ඉස්සො, දැල්ලො ආහාරයට ගැනීමෙන් වළකින්න. පාද පැලී ඇති තැන්වල එළඟිතෙල් ගාන්න.

 

(ඒ. කුරේ - සීදූව)

ප්‍රශ්නය -

අවුරුදු 40ක පමණ රැකියාව කරන පිරිමියෙක්මි.

උදෑසන මළබද්ධය පවතී. සීනි ආදි ලෙඩ කිසිවක් නැත. එයට හේතුව සහප්‍රතිකර්මයක් ලබා දෙන්න. බඩ පුරවා දමයි. බඩ නෙරා ඇත.

පිළිතුර -

මළබද්ධය පවතින නිසා උෂ්ණාධික ආහාර කෑමෙන් වැළකිය යුතුය. ජලය ලීටර් දෙකහමාරක්වත් දිනපතා පානය කළ යුතුයි. කෙසෙල්, ගස්ලබු, කොමඩු, අලිගැටපේර වගේ පළතුරු ආහාරයට ගන්න. අරළු කුඩු උණුවතුරට දා ටික වේලාවක් දමා බීම සුවදායකයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.