උරහිසේ වේදනාව රෝගයක ලක්ෂණයක් විය හැකියි (Frozen Shoulder)

අගෝස්තු 16, 2024

 

උරහිස සන්ධියේ වේදනාව වයස් භේදයකින් තොරව ගෑණු පිරිමි සැමදෙනාටම පීඩා විඳීමට සිදුවන තත්ත්වයක්. උරහිසේ වේදනාව රෝග ලක්ෂණයක් වන අතර එම රෝග ලක්ෂණ ඇතිවීමට උරහිසට වැලඳෙන විවිධ රෝගාබාධ හේතු වෙනවා. මේ රෝගාබාධවල ව්‍යාධි ස්වභාවය එකිනෙකට වෙනස් වන නිසා ඔබට ඇතිවන සෑම උරහිස් වේදනාවක්ම එක සමාන ලෙස නොසලකා නියමිත ප්‍රතිකාරවලට යොමු වීම ඉතාම වැදගත්.

 

Frozen Shoulder හෙවත් උරහිස් සන්ධියේ තදවීම සමග ඇතිවන වේදනාව සාමාන්‍යයෙන් තරුණ විය ඉක්මවූ මැදි වයසේ පුද්ගලයන්ට සෑදීමට වැඩි ප්‍රවණතාවක් පවතිනවා.

එයිනුත් කාන්තාවන්ට වැඩි වශයෙන් වැලඳීය හැකි මේ රෝගය පළමුවෙන්ම එක් උරහිසකට වැලඳෙන අතර එම උරහිසට නිවැරදිව ප්‍රතිකාර නොකළ විට අනෙක් උරහිසටද පැතිර යාමට පුළුවන්.

 

රෝගය ඇතිවීමට හේතු

කිසිදු ප්‍රධාන හේතුවක් නොමැතිව වුවද මේ රෝග තත්ත්වය ඇතිවිය හැකි අතර ශරීරයේ පවතින වෙනත් රෝග සහ උරහිසට ඇතිවන අතුරු ආබාධ නිසාද ද්විතීකව මේ රෝගය ඇතිවන්නට පුළුවන්. එයට හේතුවන කාරණා පහත පරිදි වෙනවා.

දියවැඩියා රෝගය සහ මේ රෝගය අතර සෘජු සම්බන්ධතාවයක් පවතින නිසා කාලයක් තිස්සේ දියවැඩියාවෙන් පීඩා විඳීන රෝගීන්ට Frozen Shoulder තත්වය ඇති වන්නට පුළුවන්.

එදිනෙදා ජීවිතයේදී හෝ රැකියා ස්ථානයේදී ඇදීමක් හෝ තැලීමක් ආකාරයට උරහිසට එල්ලවන සුළු පීඩන තත්ත්වයක් නිසා පසුකාලීනව මේ රෝගී තත්ත්වය ඇති වන්නට පුළුවන්.

උරහිස් සන්ධියට එක එල්ලේ එලවන පීඩනයක් නිසා ඇතිවන අස්ථි බිදීමකදී හෝ බන්ධනී ඉරියාමකදී ප්‍රතිකාර ලෙස උරහිස් සන්ධිය ආධාරකයක් මඟින් හෝ පැරිස් බදාම සහිත වෙළුමක් මඟින් එක් ඉරියව්වක නිශ්චලව තැබීම සිදුකරනවා.

අදාළ අස්ථි බිඳීම හෝ බන්ධනී ඉරියෑම සුව වූ පසුත් අත එකම ඉරියව්වක තබා ගත් නිසා පසුකාලීන මේ තත්ත්වය ඇතිවන්නට පුළුවන්.

උරහිස සන්ධිය ආශ්‍රිතව පවතින හෝ බෙල්ල ආශ්‍රිතව පවතින මාංශ පේශි ඉරී යාමකදී හෝ අනතුරකදී ද උරහිස එක ඉරියව්වක තබා විවේක ගැනීම සිදු සිදුකරනවා. මේ අවස්ථාවලදී ද පසුකාලීනව මේ රෝගය ඇතිවන්නට පුළුවන්.

උරහිස හෝ හෘදය වස්තුව ආශ්‍රිතව කරන ලද ශල්‍යකර්මයකින් පසුවද මේ තත්ත්වය ඇතිවන්නට පුළුවන්.

තයිරොක්සින් හෝමෝනයේ විෂමතාවයන් පැවතීමද Frozen Shoulder තත්ත්වය ඇතිවීමට හේතුවක් වනවා.

ඔබ ආර්ථවහරණයට ලක් වූ හෝ අර්ථවහරණයට මුහුණ දීමට අදාළ වයසේ පසුවන ස්ත්‍රියක් නම් මේ රෝගී තත්ත්වය වැලඳීමේ වැඩි ප්‍රවණතාවයක් තිබේ.

 

රෝග ලක්ෂණ

 

Frozen Shoulder රෝගී තත්ත්වය සහ ඇතිවන රෝග ලක්ෂණ ප්‍රධාන අවදි තුනකට වෙන්කර දක්වන්නට පුළුවන්.

 

1.Frozen Shoulder : උරහිස ගල් වීමේ අදියර

උරහිස සන්ධියට අදාළ සියලුම චලන වේදනාකාරී වේ. උරහිස ආශ්‍රිත සියලුම චලන අවහිරවීම සිදුවේ. මේ ස්වභාවය සාමාන්‍ය වශයෙන් මාස හයක් පමණ පැවතිය හැකිය.

 

2. Frozen Stage  : උරහිස ගල් වීම

මෙම අවධියේදී උරහිසේ චලනවල ඇතිවන වේදනාකාරී ස්වභාවය ක්‍රමයෙන් අඩුවීම සිදුවේ. එහෙත් උරහිස් සන්ධිය ආශ්‍රිත සියලුම චලන අවහිර වී සන්ධියේ තද ස්වභාවයක් ඇතිවේ. රෝගයට ලක් වූ උරහිස භාවිතයෙන් එදිනෙදා ජීවිතයේ කාර්යයන් සිදුකිරීම වඩාත් දුෂ්කර වේ. සාමාන්‍ය වශයෙන් මාස දහයක් පමණ මේ අවධිය පැවතිය හැකිය.

 

3. Thawing Stage: දියවන අදියර

මේ අවධියේදී උරහිසේ චලන හැකියාව නැවත වර්ධනය වන අතර වේදනාව පැතිරීමද ක්‍රමයෙන් වෙනස් වේ. මේ අවධිය සාමාන්‍යයෙන් වසරක් පමණ පැවතිය හැකිය.

 

ප්‍රතිකාර

පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මඟින් සම්පූර්ණ වශයෙන් සුව කළ හැකි රෝගයක් ලෙස Frozen Shoulder  සලකන්නට පුළුවන්. මෙහිදී රෝගය මුලින්ම නිවැරදිව විනිශ්චය කොට ප්‍රතිකාර කිරීම ඉතා වැදගත් වෙනවා.උරහිසේ වේදනාව සහ උරහිස ආශ්‍රිත චලන අවහිරතාවය උරහිසට වැලඳෙන විවිධ සන්ධි ආශ්‍රිත, මෘදු පටක ආශ්‍රිත සහ ස්නායු ආශ්‍රිත වෙනත් රෝගාබාධ නිසාද ඇතිවන්නට පුළුවන්. ඒ නිසා නිවැරැදි රෝග විනිශ්චයක් සහ හඳුනා ගැනීමක් අත්‍යවශ්‍යයි.

උරහිසට ඇතිවන අනෙක් ආබාධ මෙන් රෝගය හඳුනා ගැනීම සඳහා X-ray  සහ MRI  පරීක්ෂණ වාර්තාවලින් මෙහිදී එතරම් යෝග්‍යතාවයක් ලැබෙන්නේ නැහැ.

නිසි පරිදි සිදු කරන රෝග හඳුනා ගැනීමකින් පසුව අදාළ රෝගයේ අවධියට අනුකූලව විවිධ ප්‍රතිකාර ක්‍රම භාවිත කරන්නට පුළුවන්. පොට්ටනි මඟින් සහ හුමාලය ආශ්‍රිතව කරන තැවුම් ප්‍රතිකාර මෙහිදී මූලික වනවා.

මේ වර්ගයේ ප්‍රතිකාර මඟින් සන්ධිය තුළ ඇති වී තිබෙන තද ස්වභාවය බුරුල් වන අතර ආශ්‍රිතව පවතින මාංශ පේශිවල පවතින අනවශ්‍ය තද ස්වභාවය හෙවත් Spasms අඩු වීමද සිදුවනවා.

උරහිසේ චලන පරාසය වැඩි කිරීමට මෙය බෙහෙවින් දායක වනවා. තැවුම් ප්‍රතිකාර සමඟ සිදුකරන තෛල අභ්‍යංගය මඟින් උරහිස ආශ්‍රිතව වේදනාව අඩු කිරීම, උරහිස සන්ධිය පෝෂණය කිරීම සහ උරහිස ආශ්‍රිත මාංශ පේශි සහ ස්නායුවල ක්‍රියාකාරීත්වය වැඩි කිරීම සිදු කරනවා. සුවය ලබා ගැනීමට මෙයත් හේතුවක් වනවා. මේ ප්‍රතිකාර සමඟ උරහිසේ චලන පරාසයන් පවත්වා ගැනීමට සහ වැඩිදියුණු කිරීමට පාලනයකින් යුතුව ව්‍යායාම කිරීමද වැදගත්.

 

නිවෙසේදී රෝගය පාලනය කර ගැනීම

 

රෝගය වැලඳුණු උරහිසට හැකිතාක් විවේකය ලබාදෙමින් නිවසේ හෝ රාජකාරි වැඩ කටයුතු හැකිතාක් සීමා කරන්න.

උරහිසේ එල්ලාගෙන යන බෑග් සහ ගමන්මලු රෝගී වූ උරහිසේ මෙන්ම අනෙක් උරහිසේද රඳවාගෙන යෑම හැකිතාක් සීමා කරන්න.

ස්මාට් ජංගම දුරකථන භාවිත කිරීම හැකිතාක් අවම කරන්න.

ඔබ කාන්තාවක් නම් ශරීරය උඩ කොටසට අඳීන යට ඇඳුම්වල පටි අනවශ්‍ය පරිදි තද නොකිරීමට වග බලාගන්න.

බෙල්ල නමාගෙන සිදුකරන ලිවීම කියවීම සහ මැහුම් ගෙතුම් වැඩ හැකතාක් අඩු කරන්න.

රෝගී වූ උරහිස හෝ අනිත් පැත්තෙන් බර එසවීම නවතා දමන්න .

රෝගී වූ උරහිසට මිනිත්තු 15-20ක් දිනකට කිහිපවරක් අයිස් තබන්න .

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.