සුබසෙත සුවසෙත

අගෝස්තු 16, 2024

කේ. පි‍්‍රයංගිකා - සීදුව

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මා 32 හැවිරිදි මැහුම් ආයතනයක වැඩ කරන කාන්තාවක්මි. දිවා ආහාරය ගැනීම සමහර දිනවල එක එක වෙලාවටයි ගන්න වෙන්නේ. ඒ නිසාද දන්නේ නැහැ. සමහර දාට ඇඹුල් රසය උගුරට එනවා. වමනයත් යනවා. නිතර තොලකටත් වේළෙනවා. මළ බුරුලට ටික ටික යනවා. හිසරදය එනව වගේම මට තෙහෙට්ටුවකුත් දැනෙනවා. කීප දෙනෙකු කියූ නිසා බෙහෙත් කඩෙන් බෙහෙත් ගුලියක් අරගෙන බීවා සුවයක් නැහැ. මෙය සුවකර ගැනීමට ප්‍රතිකාරයක් කියන්න.

 

පිළිතුර -

මෙහි සඳහන් රෝග ලක්ෂණ අනුව පවතින්නේ අජීර්ණයක්. අජීර්ණයක් හට ගන්නා කරුණු කීපයක්ම බලපානවා. පිළුණු වූ ආහාර කෑම. දින කීපයක් පරණව ආහාර කෑම ආහාරයක් ගත් පමණින් ටික ටික නැවත නැවතත් ආහාර කෑම. තෙල් බැදුම් හා ආහාර ටික ටික කමින් වතුර පානය කිරීමත් අජීර්ණයට හේතුවකි. සියලු තතු පවසා වෙදමහත්මයකුගෙන් ප්‍රතිකාරයක් ලබා ගන්න. එතෙක් මේ බෙහෙත් කරන්න. සාදික්කා ගෙඩියක්, දෙහි ඇඹුලෙන් ගලගා නටවා නිවාගත් ජලයෙන් ටික ටික බොන්න. සූදුරු කබලේ බැද කුඩුකර ජලය දමා උණුකර නිවන්නට හැර ටික ටික බොන්න. තිප්පිලි, වදකහ, පෙරුංකායම්, සවිඳ ලුණු, කලාඳුරු එක පමණට ගෙන මුරුංගා පොතු යුෂයෙන් අඹරා එම යුෂබීමත් සුවදායකය.

 

සමරජීව - ඇහැලියගොඩ

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි,

මම පණස්දෙහැවිරිදි බස් කොන්දොස්තරවරයෙකි. බස් එකේ සේවය කරන විට බුලත් විට දහයක් දොළහක් පමණ කැවෙනවා. බුලත් විට සමඟ මම දුන්කොළ කන්නේ නැහැ. නමුත් මගේ දත් මුල දියවෙමින් පවතිනවා. සමහර වෙලාවට මිරිස් මිශ්‍ර දෙයක් කන විට දත්වල අධික වේදනාවක් දැනෙනවා. දුර්ගන්ධයකුත් එනවා. ඉස්සරහ යටි දත් ඇන්ද හරිම විරූපී විදියට පෙනෙනවා. දත් මුල් දියවීම නතරකර ගැනීමට ප්‍රතිකාරයක් ලබාදෙන්න.

 

පිළිතුර -

බුලත් කෑම නම් බොහොම වැඩියි. ඔය විදියටම බුලත් කෑවොත් වෙනත් රෝගාබාධ හට ගන්න පුළුවන්. බුලත් හපේ ගිලීම වහාම නවතා දැමිය යුතුයි දුම්කොළ නොකෑවට හුණු කෑමත් ඒ හා සමානයි. දත් මුල් දියවීම වළක්වාගැනීමට තම්බන ලද කතුරු පිල ඖෂධයේ මුල තම්බා කටසෝදා හරින්න. තම්බන ලද කතුරු පිල ජලය උණුසුම්ව කෝප්පයකට ගෙන ලුණු තේ හැඳි කාලක් පමණ දමා දියකර කට සෝදන්න. දත්මුල් දියවීම වළක්වාගැනීමට ඉරිමේදාදී තෛලය ඇඟිල්ලක ගා විදුරු මස්වල හොඳට ගාන්න.

 

ජයනෙත්ති - වැල්ලවත්ත

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම රැකියාවක නියුතු 26 හැවිරිදි තරුණයෙකි. මම කතා කරන විට කටින් දුගඳක් එනවා කියා අසල සිටින අය කියනවා. මට නම් කිසිවක් දැනෙන්නේ නැහැ. ඒ නිසාම මම ෆාමසියකින් මවුත් වොෂ් එකක් ගෙනත් කට සේදුවා. ඒකෙන් වැඩක් වුනේ නැහැ. කටින් වවහනය වන ගඳ නවතා ගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

පිළිතුර - ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන අය බොහෝ ය. තමන්ට තමන්ගේ කටින් පිටවන දුර්ගන්ධය දැනෙන්නේ නැහැ. මෙයට බෙහෙවින් හේතු වී ඇත්තේ මුඛය තුළ ආහාර කැබලි රැඳී තිබිමයි. සමහර අයගේ දත්කුහර පවතිනවා. දත් කැඩී කෑලි පවතිනවා. ඒ තුළ ආහාර කැබලි තිබීමෙන් මේ තත්තත්වය ඇතිවෙනවා. විදුරුමස් දියවීම නිසාත් පණුගෙඩි තිබීම නිසාත් මුඛයෙන් දුගඳ හමනවා. කෑම කෑමෙන් පසු බුරුසුවකින් හොඳට දත් මදින්න. උගුරත් දිවත් හොඳට සෝදා හරින්න. කටේ ළා එන්සල් ඇට කීපයක් කුරුඳු පොතු කෑල්ලක් සැපීමත් කරාබුනැටි කීපයක් සැපීමත් ගුණදායකයි. උදේ සවස හොඳට කට සෝදා හරින්න. මළපහ කිරීමේ අඩුවක් පවතින්නේ නම් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් තත්ත්වය පහදා ප්‍රතිකාරයක් ගන්න.

 

ඩික්ෂි - කහතුඩුව

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම තිස්දෙහැවිරිදි පෞද්ගලික ආයතනයක රැකියාව කරන විවාහක කාන්තාවක්මි. මගේ හිසකෙස් තුනටිය දක්වා දිගට වැවී ඇත. සති දෙකක පමණ සිට හිස පීරන විට කෙස් ගස් කැඩී පනාවේ රැඳී පවතී. ස්නානය කර කෙස් පීරන විට පනාව පුරාම කෙස් කැඩී රඳා පවතී. මෙසේ කෙස් කැඩීම නවතාලීම සඳහා ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර -

පීනස් රෝගය නිසාත් කෙස් ගැලවීයයි. එමෙන්ම ආහාර මඟින් ලැබෙන පෝෂණය නොලැබීම නිසාත් කෙස් ගැලවී යයි. හිසෙහි පවතින අපිරිසුදුකම වගේම හිස්හොරි නිසාත් කෙස් ගැලවේ.

එපමණක් නොව නා නා විධ ෂැම්පු වර්ග, ක්‍රීම් වර්ග, සුවඳ මිශ්‍ර තෙල් වර්ග හා ආවේලාවේ නෑමෙන්ද කෙස් ගැලවේ.

බොහෝ විට හිසකෙස් කැඩී යන්නේ පෝෂණයේ මදිකම නිසාය. රුධිරය පිරිසුදු කර ගැනීමට උනන්දුවිය යුතු ය. පලා වර්ග, එළකිරි, කොළකැඳ, මුගුණුවැන්න, මුරුංගා කොළ වැනි පලා වර්ග හා විටමින් ඊ අඩංගු ආහාරද හිසකෙස් වර්ධනයට බෙහෙවින් උපකාරී වේ. කෙස් ගැලවීමට ශරීරයේ පවතින උෂ්ණාධික බව ද හේතු වේ.

තවද හිස සේදීම සඳහා උළුහාල්, දෙහි ගැට, ගොඩපර ගෙඩි, නෙල්ලි සමඟ තම්බා සතියකට දින තුනක් හිස සේදීම, කිරීමෙන් හිසේ පවතින විෂබීජ ඉවත් වේ. සබන් ගෑම එතරම් ගුණ නැත. හිසේ ගාන ආයුර්වේද තෙලක් ගෙන හිසේ ආලේප කිරීමත් ගුණදායකය. සවස් කාලයේ නෑමත් නිදිවැරීමත් ඉතා අගුණය.

 

සකුන්තලා - කොල්ලුපිටිය

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මගේ තෙවැනි දියණිය වැඩිවිය පැමිණීමට ආසන්න ලකුණු පහළ වී ඇත. පෙර මගේ සෑම කටයුත්තක්ම ඉටුකළේ මගේ මව විසිනි. දැනට මගේ මව ජීවතුන් අතර නොමැති නිසා ඉටුකළයුතුවක් පිළිබඳව මට එතරම් දැනුමක් නොමැත. වැඩිවිය පැමිණුනු දියණිය නෑවීමට සකස් කර ගනු ලබන ඖෂධ කළය පිළිබඳ සුබසෙත මඟින් දැනුවත්වීමක් ලබාදෙන්නේ නම් හොඳයි.

 

පිළිතුර -

සුදුහඳුන්, රත්හඳුන්, අමුකහ, වදකහ, වියළි ඉඟුරු, වෙනිවැල් ගැට, විෂ්ණු ක්‍රාන්ති, සුවඳ කොට්ටන්, කලාඳුරු අල, සමන් පිච්ච මල්, ඊතණ, කොහොඹ කොළ කලං දෙක බැගින් ගෙන පොට්ටනියක් බැඳ නැවුම් කළයකට දමා පිරිසුදු ජලය දමා හොඳින් උණුකර නිවාගන්න. දැරිය නෑවීමට සකස්කරගත් ස්ථානයට රැගෙනවිත් මව හෝ වැඩිහිටි කාන්තාවක් විසින් ඖෂධ ජලය පළමුව හිසට වත්කළ යුතුයි. පසුව එම කළය බිඳ දැමීමෙන් දෝෂ භංග වේ. පසු දැරියට ස්නානය කිරීමට හෝ ස්නානය කරවීමට කටයුතු කළ හැකිය.

 

චමදරී - මාතර

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම තිස්දෙහැවිරිදි ඇඟලුම් ආයතනයක රැකියාව කරන කාන්තාවකි. සතියකට වරක් දෛනික මුරසේවා ක්‍රමය යටතේ සමහර සතිවල මධ්‍යම රාත්‍රිය දක්වා වැඩ කිරීමට සිදුවේ. එවැනි දිනවල වැඩ කර ගෙදර යන විටඋගුර දෙපැත්ත රිදෙනවා. කෑම කන්නත් අමාරුයි. ගිලින්න අපහසුයි. රිදෙනවා කෙළ පවා ගිලින්න බැහැ. දහවල් වන විට නාසයෙන් සොටු දියර ගලන ගතියකුත් තියෙනවා. මා හට කැස්සකුත් පවතිනවා. මේ තත්ත්වය සුවකරගැනීමට ප්‍රතිකාරයක් ලබාදෙන්න.

 

පිළිතුර -

රාත්‍රී නිදිමැරීමත් රෝගයට හේතුවක්. සෙම නිසයි මේ තත්ත්වය ඇතිවන්නේ. නිදි මැරීම වගේම ශීතකල ආහාර කෑම අවේලාවේ ස්නානය කිරීම රාත්‍රී වැඩකර විගස ස්නානය කිරීම, තෙලෙන් බදින ලද කෑම ජාති වගේම ක්ෂණික ආහාරජාති කෑම ශීත කල පාන ජාති පානය කිරීමත් හේතුවක්. මෙලෙස සෙම ඇතිවීම නිසා සෙම් ගෙඩිත් මතුවිය හැකියි. එම නිසා ලොවි ගැට දිවුල් ගැට වැනි ආහාර වගේම අච්චාරු වර්ගත් නොකෑ යුතුයි.

මඳ රස්නය ඇති උණුවතුර කෝප්පයක් ගෙන ලුණු ස්වල්පයක් දමා දියකර මඳ රස්නය ඇතිව උදේ සවස කට සෝදන්න. සුදුලූණු බික් හතරක් ගෙන තලා මද රස්නය ඇති උණුවතුරට දමා කට සෝදන්න. හීං මදුරුතලා කොළ සපා උගුරේ තබාගෙන සිට සෙම අරින්න. දෙහි ගෙඩියක් ගෙන කෑලිවලට කපා ගම්මිරිස් කුඩු දෙහි කෑලිවලට දමා දිව මදින්න. කෝලසෙලෙස්මා තෛලය බෙල්ල දෙපැත්තේ ගා සෙම අරින්න. සහනයක් නොලැබෙන්නේ නම් තවත් බෙහෙත් කළ යුතු බැවින් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගන්න.

 

සුරේනි - පන්නිපිටිය

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, වෙළෙඳ සහායිකාවක ලෙස සේවය කරන මා තිස් හැවිරිදි කාන්තාවකි. මගේ පැවැති තරුණ පෙනුම බෙහෙවින් නැති වී වයසට වඩා වයස්ගත පෙනුමක් පෙනෙන බව මගේ මිතුරියන් පවසති. ඒ නිසා කැඩපත ඉදිරියට ගොස් බැලූවිට එය මැනවින් පෙනේ. පිටතින් කෑම ගන්නා නිසා නිතරම කෑමට ලැබෙන්නේත් තෙල් සහිත බැදුම් එක් වු කෑම ජාතියි. මගේ කකුල් දෙක් දණහිසින් පහළ සහ අත්වල වැලමිටෙන් පහළ සමද ගොරෝසු බවක් ඇති වී ඇති බවක් පෙනේ. එබැවින් එම තත්ත්වය නැති කරගැනීමට ප්‍රතිකාරයක් කියන්න.

 

පිළිතුර -

ඔබගේ මිතුරියන්ගේ කීම නිසාම බෙහෙවින් මානසික පීඩාවට පත්ව ඇති බව පෙනේ. නිසි පෝෂණයක් නොලැබීමෙනුත් සඳහන් කර ඇති රෝග ලක්ෂණ මතුවේ. නිතර නිතර තෙල්බැදුම් සහිත කෑම වගේම ලුණු අධික තෙල් අධික ක්ෂණික කෑම ගැනීමෙන්ද වැළකිය යුතු ය. හැකිතාක් පළාවර්ග අලුත් එළවළු කුඩා මාළු ජාති සමග කෑමට උනන්දුවන්න. නිතර නිතර පලතුරු කැම වඩාත් සුදුසුයි. පේර,අන්නාසි, අඹ, ගස්ලබු, කෙසෙල්, අලිගැටපේර, ඇඹරැල්ලා වැනි පලතුරු වඩාත්ම ගුණදායකයි. උදේට කොළ කැඳ බීමටත් උනන්දුවන්න.

 

බත්තරමුල්ල රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.