සුබසෙත සුවසෙත

අගෝස්තු 23, 2024

නන්දාවතී - තිහගොඩ

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, ආහාර විෂවීමෙන් හා ගුණාත්මක ආහාර නොගැනීමෙන් රෝගීවන බවත් තන්තුමය ආහාර ගැනීමෙන් නිරෝගීවන බවත් බොහෝවිට වෛද්‍යවරුන් වගේම උගත් වැඩිහිටියන් ද පවසයි. තන්තුමය ආහාර පිළිබඳව නිසි දැනුමක් අප බොහෝ දෙනෙකුට නැත. එබැවින් තන්තුමය ආහාර පිළිබඳව යම් තොරතුරක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

 

පිළිතුර -

තන්තු බහුල ආහාර අතර ධාන්‍ය නිවුඩ්ඩ සහිත සහල් තම්බපු සහල්, බඩ ඉරිඟු, කුරක්කන් ඇතුළු නොපාහින ලද සහල් ඇතුළු ධාන්‍ය වර්ග, බණ්ඩක්කා, කැරට්, පොලොස්, කරවිල, පතෝල, කොහිළ, නිවිති, වැටකොලු සහ අලුත් පලාවර්ග, කවුපි, පරිප්පු, මුං ඇට, මෑ, කඩල සහ පොල්, වට්ටක්කා, ඇට සහිත රටකජු, දිවුල්, පැෂන්, පේර, ගස්ලබු, කෙසෙල්, ඇපල්, රටඉඳි, දොඩම් වියළි මිදි ද වේ. මෙහි සඳහන් ආහාර ද්‍රව්‍ය ආහාරයට ගතහැකිවන අයුරින් සකස් කොට පිස ආහාරයට ගැනීමෙන් මළපහ කිරීම පහසුවේ. මළබද්ධය ඇතිවීම වළක්වාලයි. අර්ශස් අමාරුව අවම කරයි. දියවැඩියාව ඇති රෝගීන්ට ඉතාම ගුණදායක වේ. මේ මඟින් සීනි මට්ටමද අඩුකරයි. තන්තු බහුල ආහාර ගැනීමෙන් ශරීරයේ බර පාලනය කර ගැනීමට හැකිවේ. දියවැඩියාව, හෘදරෝග වැලඳීමේ තත්ත්වය අඩුකර ගත හැකිය.

 

හීන් හාමිනේ - හිරණ

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මගේ වයස අවුරුදු පනස් හතරයි. වසර ගණනාවක ඉඳලම මම කරන්නෙ කීරකොටුවෙ කංකුං, මුකුණුවැන්න කපා මිටි බඳින එක. ඒ සඳහා පලාකොටුවට යන කොට එදා ඉඳලම රබර් සෙරෙප්පු දෙකක් පලඳිනවා. ටික දිනක ඉඳල මගේ කකුල් දෙකේ යටිපතුල් දෙක කූඹි කනවා වගේ දැනෙනවා. සමහරදාට හරිම වේදනාවක් දැනෙනවා. කීර කොටුවෙ මඩ පෝර පෑගෙනවා. සුවකර ගැනීමට බෙහෙතක් පළකරන්න.

 

පිළිතුර -

යටිපතුල්වල වේදනාව නැතහොත් කැක්කුම ඇතිවෙන්නේ යටිපතුල දැඩි ලෙස වෙහෙසට පත්වීම නිසයි. සමහර වේලාවට විලුඹ පැත්ත ගෙවුණ සෙරෙප්පු දැමීම නිසාත් ඇඟිලි හිරවෙන්න සෙරෙප්පු දැමීම නිසාත් මේ තත්ත්වය ඇතිවිය හැකියි. මඩ සහිත පෝර යෙදූ වගාබිම්වල ගත කිරිම නිසාත් පාදයේ යටිපතුල වේදනාවට පත් විය හැකියි. කීර කොටුවේ සිට නිවෙසට පැමිණි විට මඳ රස්නය ඇති උණු වතුරෙන් පාද දෙකේම යටිපතුල හොඳට සෝදා පිරිසුදු කරන්න. යටිපතුලේ බිබිලි හෝ සම ගැලවීමේ තත්ත්වයක් පවතින්නේ නම් වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගත යුතුයි.

 

ඉන්දීවරී - බුලත්සිංහල

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 28කි. ඇය ගෙදර සිටම පෙර පාසලක් පවත්වාගෙන යනවා. දැනට සතියක කාලයක සිට කේන්ති යනවා. හැමවිටම නොරිස්සුම් ගතියක් පෙන්නුම් කරනවා. ගෙදර අපිට සිනහවෙන්න බැහැ. විනෝදයෙන් කතා කරන්න බැහැ. දරුවෙකුට ආදරය කරන්න බැහැ. ඒවා දකින විට ඒ දරුවාට කේන්තියනවා. නවත්වන්න කියල කෑගහනවා. නිදාගත් විට පපුවෙන් ශබ්දයක් ඇහෙනවා. සෙම ගතිය නිසා බෙහෙතෙªත් ගත්තා සුවයක් නැහැ. ප්‍රතිකාරයක් ලබාදෙන්න.

 

පිළිතුර -

කායික හා මානසික වශයෙන් පීඩාවට පත් කෙරෙන රෝගයන් වන ඇදුම රෝගයයි වැලඳී ඇත්තේ. මේ රෝගයේ දී නොරිස්සුම්ගතිය, සිහිමදගතිය, තද කේන්තිය, තොලකට වියළීයාම, මුඛයෙන් හුස්ම ගැනම මෙන්ම ආශ්වාස ප්‍රශ්වාස කරන විට විසිල් කරන්නාක් වැනි ශබ්දයක් ද නිකුත් වේ. මේ රෝගය වැලඳීමට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බල පැවැත්වේ. එකක් පාරම්පරිකව හේතුවන අතර අනෙක රටහුණු කුඩු මෙන්ම දුම් දූවිලි ආග්‍රහණය වීමෙන්ද රෝගය වැලඳේ. මේ රෝගය ආයුර්වේද ප්‍රතිකාර තුළින් සුවපත් කරගත හැකිය. රෝගියා වෛද්‍යවරයකු වෙත ගිය විට පූර්ණ රෝග විස්තරයක් ලබාගැනීමෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙයි. ඒ අතර අච්චාරු, මුරුංගා, අබ, තක්කාලි, දෙල්, ඇඹරැල්ලා, අන්නාසි, රඹුටන්, දුරියන් වැනි උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතු ය. මස්, මාළු, බිත්තර, කරවල, තෙල් බැදුම් ප්‍රතිකාර ගන්නා කාලය තුළ නොගත යුතු ය.

 

සසිකා ගෝනමඬම

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, හතළිස්පස් හැවිරිදි මැහුම් ආයතනයක සේවය කරන විවාහක කාන්තාවකි. නිවසින් උදේ හතට පමණ පිට වුණාම වැඩ අවසන් වී එන විට රාත්‍රී හත පමණ වෙනවා. බස් එකට යන්න වෙන්නෙ ටික දුරක් පයින්. වැඩපළේදී වගේම ගෙදරදි වුණත් වාඩිවෙලා හිඳගෙන ඉඳල නැගිටිනකොට දණිස් දෙකම රිදෙනවා. ඇවිදින කොට රිදෙන්නේ නැහැ. සුවකර ගැනීමට ප්‍රතිකාරයක් සඳහන් කරන්න.

 

 

පිළිතුර -

දණහිස් සන්ධිය නැමෙන දිග හැරෙන විට ඇතිවන දණහිස් සන්ධියේ වේදනාව ඇති වූ විගසම ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් කර ගත හැකිය. දණහිස් වේදනාව වයස්ගත වන විට ඇතිවීම බෙහෙවින් සිදුවෙනවා. මෙවැනි රෝගී තත්ත්වයකදී විශේෂයෙන් කෑමෙන් බීමෙන් ප්‍රවේසම් විය යුතුයි. අඹ, අන්නාසි, අච්චාරු, විනාකිරි යෙදූ ආහාර ලුණු දෙහි, දෙල්, දැල්ලෝ, ඉස්සෝ, කකුළුවෝ, බලමාළු, හරක්මස්, ඌරු මස්, බටර්, චීස් ආදී කෑමවලින් වැළැකී සිටිය යුතු ය.

උණුවතුර කෝප්පයකට ලුණු සුවල්පයක් දමා දිය කර මඳ රස්නයෙන් කකුලේ දණහිස් වළලුකර සන්ධි හොඳින් තෙමා ජලය පිසදා හන්දි තෙල් ටිකක් අතට ගෙන කකුලේ පහළ සිට දණහිසින් ඉහළට හොඳට ගාන්න. එලෙසින්ම පහළ සිට ඉහළට අතගාන්න. විනාඩි තිහක් පමණ එසේ තෙල් ගාමින් අතගෑමෙන් පවතින වේදනා තත්ත්වය අඩුවෙයි. බීමට ඇල්දිය වෙනුවට උණුවතුර ගන්න. බටු, මෑකරල්, බණ්ඩක්කා, නිවිති, පිපිඤ්ඤා වගේම එළකිරි බීමෙන්ද වැළකී සිටින්න.

කොස්ගොඩ, බ්‍රියටිස්

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි,

මා වයස අවුරුදු හැට දෙකක විවාහක කාන්තාවකි. දැනට සතියක පමණ කාලයක සිට විලුඹ ඉදිමී ඒ ආශි‍්‍රතව වේදනාවක් ඇතිවේ. මෙවැනි තත්ත්වයකට පත් වූ නිසා මා ගමන් බිමන් යෑමෙන්ද වැළකී සිටිමි. මා කලින් තරමක උස අඩි සපත්තු දැමීමට පුරුදුව සිටියත් නවතාලයි ඉන්නේ. විලුඹේ වේදනාව අධික ලෙස දැනෙන වෙලාවල් ද තියෙනවා. සමහර දිනවලට උදේට ඇඳෙන් බැස ඇවිදීමට බැරි තත්ත්වයක් එනවා.රාත්‍රී කාලයේ දී විලුඹට ඉදිකටුවලින් අනිනවා වගේත් දැනෙනවා. මගේ විලුඹ වටේට පුපුරලාවගේ. සුදුසු ප්‍රතිකාරයක් ලබාදෙන්න.

 

පිළිතුර -

විලුඹේ වේදනාව ඇති වීමට හේතු රාශියක්ම පවතිනවා. අඩි උස සපත්තු පැලඳීමත් දැඩිලෙස විලුඹ පොළොවට ස්පර්ශවන ලෙස සපත්තු හෝ සෙරෙප්පු නොදා ඇවිදීමත් හේතුවිය හැකිය.

අඩි උස සපත්තු පැලඳ බොහෝ වේලාවක් ඇවිදීම නිසා විලුඹට බරගෙන අයුරින් යම් යම් ක්‍රියාවල යෙදීම නිසාත් විලුඹ ආශි‍්‍රත පටක පවා ඉරියා හැකිය.

ස්නායු තන්තු මාංශ පේශී අතර හිරවීමටද හැකිය. එවිට විලුඹ වේදනාවීමට පුළුවන.

ශරීරගතව ඇතිවන යම් යම් රෝගවල යම් යම් පූර්ව නිමිත්තක් ලෙසද විලුඹ ඉදිමීම හා විලුඹේ වේදනාව ඇතිවිය හැකිය. හෘද රෝග, දියවැඩියාව ආදී රෝග ගැනද සැලකිලිමත් විය යුතු ය. විලුඹේ වේදනාව ඇතිවන සමහර රෝගීන්ට උදේ ඇඳෙන් බැසීමට හෝ ඇවිදීමට නොහැකි තත්ත්වයක් ඇතිවේ.

එසේ විලුඹට නිසි රුධිර සැපයුමක් නැති වූ විටයි. ශරීරයේ බර අඩුකර ගැනීමෙන් තෙල් බැදුම් සහිත ආහාර නොගෙන සිටීමෙන් විලුඹේ රෝගී තත්ත්වය අවමකරගත හැකිය. විලුඹ පින්ඩතෙල් ගෙන ආලේප කිරීමත් සුවදායකය.

 

පන්නිපිටිය - කාංචනා පීරිස්

ප්‍රශ්නය -

 

වයස 24 කි. මගේ ශරීරය පුරාම හම යාම සිදුවේ. කෙස් යයි. ඔසප් දිනවල අධික වේදනාවද පවතී. මට නිරෝගී බව ලබා දෙන මෙන් ඉල්ලමි.

 

පිළිතුර -

01. අරළු, බුළු, සෙනෙහෙකොළ, කටුකරෝසන කලං 3 බැගින් ගෙන පත 16 - 2 ට සිඳ පෙර උදේට සහිඳලුණු කලං 1 ක් දමා උදේට හිස්බඩ පත එකක් බොන්න. රාත්‍රී 8ට අනිත් පත නිකම්ම බොන්න. (දින 06ක්)

02. හාතාවාරිය අල, මානෙල් අල, ඉරමුසු, වැල්මදට, ඉකිරිය දඬු, ඉරිවේරිය, කෝමාරික මද කලං 1 මදටිය 14 බැගින් ගෙන වතුර පත 16 - 2 ට සිඳ උදේ 6 ට සවස 6 ට පත 1 බැගින් මී පැණි තේ හැඳි එකක් දමා බොන්න. (දින 06ක්)

03. ඉන්පසුව දවල් රෑ කෑමට පෙර චන්දනාසවය මේස හැඳි 02 බැගින් බොන්න.

04. දවල්ට රෑට කෑමට පසුව අශෝකා රිෂ්ඨය මේස හැඳි 02 බැගින් ගාන්න.

05. ගිනියම් කෑම බීම හොඳ නැත. නිතර වතුර බොන්න. පලා වර්ග පලතුරු ආහාරයට එකතු කර ගන්න. සුවය ලැබේවි.

 

 

සටහන

බී.ඇල්. ප්‍රේමරත්න

 

බත්තරමුල්ල රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.