කසාදය දිගු-කෙටි කරන ග්‍රහ පිහිටීම්

ඔක්තෝබර් 25, 2024

විසි පොරොන්දම් ගැළපීම යනු යෝජිත දෙදෙනාගේ නැකැත් අනුව විවාහයට සුදුසු ද නැද්ද බැලීමයි. මෙහිදී රාශි, රාශ්‍යාධිපති, දින පොරොන්දම් හැර අනෙක් පොරොන්දම් සියල්ල බලන්නේ දෙදෙනාගේ උත්පත්ති නැකැත් දෙක මුල්කරගෙනය.

පොරොන්දම් පරික්ෂාවේදී පොරොන්දම් ගැළපීමට වඩා යෝජිත දෙදෙනාගේ කේන්දරවල ඔවුනට විපත් ගෙන දෙන අයහපත් යෝග ඇත්දැයි පරික්ෂා කර බැලීම වැදගත්ය. විවාහයක් සාර්ථක වීම සඳහා ඔවුනොවුන්ගේ අදහස්වල, ගැළපීම, ලිංගික චර්යාවන්, දියුණුව, දරුඵල, සමගිය, මෙන්ම සෞඛ්‍ය තත්ත්වය මෙන්ම ස්ත්‍රියගෙන් පුරුෂයාට විපත් පැමිණේ ද පුරුෂයාගෙන් ස්ත්‍රියට විපත් පැමිණේ ද වැනි බොහෝ දෑ ගැළපිය යුතු වනු ඇත.

එවැනි දෑ විසි පොරොන්දම් ගැළපීම තුළින් කිව නොහැකි අතර දෙදෙනාගේ කේන්දර සටහන් පාදක කරගෙන කිව යුතුය. විසි පොරොන්දම්වලට වඩා ඔවුනොවුන්ගේ කේන්දර සටහන් දෙක එකිනෙකට ගළපා බැලීම යහපත් වනු ඇත.

විවාහ දෝෂ

උපන් නැකතින් කියවෙන්නේ චන්ද්‍රයාගේ බලය පමණි. එයින් විවාහයේ සාර්ථක අසාර්ථකභාවය තීරණය කළ නොහැකිය. කුජ දෝෂ, ශනි මංගල දෝෂ, ස්ත්‍රි පුරුෂ මර යෝග (අකාලයේ මිය යාම්) කඩහන්දි දෝෂ, කණවැන්දුම් දෝෂ, දික්කසාදවීම්, අනාචාරයේ හැසිරීම, කුරිරුකම්, අනියම් සබඳතා වැනි සියලු දේ බැලිය යුත්තේ කේන්දර සටහන් පරික්ෂා කිරීමෙනි.

ඒ සඳහා ග්‍රහයන් නව දෙනාගේ පැවැත්ම මෙන්ම කේන්දරයේ 02,07,08 යන ස්ථාන හා ඒ අධිපතියන් ගැන ද බැලිය යුතුය. පුද්ගලයකුගේ ක්‍රියාකාරිත්වය, තීරණ ගැනීම, පැවැත්ම පිළිබඳව අඟහරු ග්‍රහයා මූලික වෙයි.

විවාහය සම්බන්ධයෙන් අඟහරු ( කුජ) ග්‍රහයා විශේෂ බලපෑමක් කරයි. ලග්න කේන්දරයේ 1, 2,4,7,8,12 යන ස්ථානවල කුජ සිටීමෙන් කුජ දෝෂය යෙදෙන අතර, එම දෝෂය ඇති අයකු විවාහ විය යුත්තේ එම දෝෂය ඇති කේන්දර හිමියකු සමඟයි.

දෝෂ භංග වීම

මේ කුජ දෝෂය භංග වන අවස්ථාවන් ද බොහොමයක් ඇත. එක් අයකුගේ කේන්දරයේ කුජ සිටින රාශියේ අනෙක් කේන්දර හිමියාගේ රාහු, කේතු, ශනි, රවි වැනි පාප ග්‍රහයකු සිටීනම් දෝෂය භංග වේ. අඟහරුගේ බලය, තත්ත්වය, රාශිය මත ද දෝෂ භංග වන අයුරු නිරීක්ෂණය කළ යුතුය. ලග්නයේ සිටින අඟහරු ඍජුවම හත්වැන්න වූ විවාහ ස්ථානය දැකීම මත විවාහයේ පැවැත්ම කෙරෙහි යම් යම් බලපෑම් ඇති කරයි.

කේන්දරයේ දෙවැන්නෙන් විවාහයෙන් පසු ජීවිතය පිළිබඳව කියවෙන අතර, පවුලේ සමගිය, සාමය කියවෙන්නේ දෙවැන්නේ සිටින ග්‍රහයා අනුවය. දෙවැන්නේ අඟහරු සිටියේ නම් විවාහයේ යම් යම් ගැටලු ඇතිවීමට පුළුවන. හතරවැන්නේ අඟහරු සිටීමෙන් හදිසි තීරණ ගැනීම, හදිසි කෝපය ගැන මෙන්ම සිතේ නොසන්සුන්කමක් ද ඇතිවනු ඇත. විවාහ ජීවිතයේ පැවැත්ම මෙන්ම ලිංගික ජීවිතය ගැන ද හත් වැන්නෙන් කියවෙන අතර හත්වැන්නේ අඟහරු විවාහයේ පාලනය අඟහරු භාර ගැනීම නිසා විවාහයේ ගැටලු මතුවනු ඇත.

අඟහරු අටවැන්නේ සිටීමෙන් අනෙක් පාර්ශ්වයට යහපත් නොවන අතර සෞඛ්‍ය තත්ත්වය ද යහපත් නොවනු ඇත. 12 වැන්නේ අඟහරු සිටීමෙන් වැය පක්ෂය පාලනය කර ගැනීමට තරමක් දුරට අපහසු වනු ඇත.

ඉහත ස්ථානවල අඟහරු සිටින විට ඒ හා සමාන අයුරින් යෝජිත අනෙක් අයගේ කේන්දරයේත් අඟහරු පිහිටා නොතිබීම විවාහයට යහපතක් නොවෙනු ඇත.

ශනි මංගල යෝගය

කුජ ශනි යෝගය ද (ශනි මංගල) විවාහය කෙරෙහි බලපෑම් ඇති කරයි. මේ දෙදෙනා එකට සිටීම හෝ කුජට 04, 07,08 වැන්නෙන් සෙනසුරු සිටීමත් සෙනසුරුට 03, 07, 10 යන ස්ථානවල කුජ සිටීමත් නිසා ඔවුනොවුන් අතර දෘෂ්ටියට ලක්වීම මත ද ශනි මංගල දෝෂය යෙදෙනු ඇත. එම යෝගය යෙදී ඇති කේන්දර හිමියකු විවාහ විය යුත්තේ එවන් කේන්දර හිමි අයකු සමඟයි. එම දෙදෙනා සමඟ රාහු සිටීම ද අයහපත් වන අතර කුජ, ශනි යෝගයට හත්වැන්න අධිපතියා කුමන අයුරින් හෝ සම්බන්ධවීම ද විපත් ඇති කිරීමට හේතු වේ.

කුජ, ශනි දෘෂ්ටිය අයහපත් ස්ථානවල යෙදීමෙන් බලවත් විපත් ඇති වන අතර ලග්නය හා 2,7,8 වැනි ස්ථානවල නම් අකල් මරණවලට පවා ලක්විය හැකිය. එසේ වන්නේ තවත් ග්‍රහයකුගේ පාප දෘෂ්ටියට ලක්වීමෙනි. කුජ, ශනි යෝගව 7 වැන්න සිංහ රාශිය වී එහි සිටීනම් අකල් මරණ සිදු වේ. රවි, කුජ, රාහු යෝගය 1,7,8 වැනි ස්ථානයක යෙදී තිබියදී බලවත් පාපියකුගේ දෘෂ්ටියට ලක්වීමෙන් ද විපත් ඇතිවිය හැකිය. එසේම 7,8 අධිපතියන්ගේ සංයෝගය ද විවාහයේ පැවැත්මට යහපත් නොවේ. එක් කේන්ද්‍රයක රවි උච්ච වීමත් අනෙක් කේන්දරයේ රවි නීච වීමත් නිසා දෙදෙනාගේ අදහස් විසම වේ.

පාප ග්‍රහයන්

පාප ග්‍රහයා 7 හෝ 08 වැන්නේ සංයෝග වී අඟහරු 12 නම් පළමු විවාහය වැඩි කාලයක් නොපවතියි. මේ අඟහරු සමඟ රාහු සංයෝග වූ විට (කුජ, රාහු) අයහපත් තත්ත්වය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇත.

7 වැන්නේ සිකුරු නීච වීම හෝ සතුරු බලයෙන් යුක්තව බලවත් පාපීන්ගේ දෘෂ්ටියට ගොදුරු වීමද පළමු විවාහය බිඳවැටීමට හේතුවකි. 2 හා 7 අධිපතියන්ගේ සංයෝගය ප්‍රථම විවාහයේ පැවැත්මට හිතකර නොවේ. මේ සංයෝගයට සිකුරු එක්ව රාහුගේ දෘෂ්ටියට ලක්වීම වුවත් අහිතකර වේ.

7 වැන්නාධිපති 12 වැන්නේ දුර්වල වීම අනියම් සම්බන්ධතාවලට යොමුවීමකි. 7 අධිපති පාප ග්‍රහයකු සමඟ යෝගවීම නිසා 7 වැන්නේ දුර්වලවීම ද පළමු විවාහයට ශුභදායක නැත.

බුධ 7 අධිපති වී පස් වැන්නේ රවි සමඟ යෝගවීමත් කුජට පෙනීමත් අනියම් සම්බන්ධතාවලට යොමුවීමකි. සඳු, රාහු යෝගය ද යහපත් නොවන අතර අනියම් සම්බන්ධතාවලට පොලඹවනු ඇත.

මේෂ ලග්නය වී කුජ 2 වැන්නේ කේතු සමඟ සිට සිකුරු දැකීම විවාහය බිඳ වැටීමට හේතු ඇති කරයි. ශනි, රාහු ලග්නයේ තැන්පත් වීම අහිතකර වුවත් ගුරුගේ දෘෂ්ටියට ලක්වීනම් දෝෂ භංග වේ.

7 වැන්නේ අධිපති නීච වීම හෝ සතුරුව 6 වැන්නේ සිටීම ද එතරම් යහපත් නැත. නමුත් ගුරුගේ දෘෂ්ටියට ලක්වේ නම් දෝෂ භංග වේ. 7 හා 11 අධිපති යෝගවී පාපයන්ට පෙනීම ද ශුභදායක නොවේ.

විවාහයක් සාර්ථක කර ගැනීම සඳහා ලිංගික තෘප්තිය ද වැදගත් වේ. මෙහිදී 7 වැන්න අධිපති මෙන්ම 7 වැන්නට වැටෙන දෘෂ්ටීන් ගැන ද බැලිය යුතුය.

ශනි, බුධ, කේතු ලිංගික ජීවිතයට පි‍්‍රය නොකරයි. ශනි, බුධ කේතු වැනි ග්‍රහයකු 7 වැන්නේ සිටීම ලිංගික ජීවිතය අඩාලවීමට බොහෝදුරට ඉඩ ඇති අතර මේ තිදෙනාම 7 වැන්නේ සංයෝග වීම වඩාත් අහිතකර වේ.

අනියම් සබඳතා

කේන්දරයේ 7 වැන්නේ ගුරු ග්‍රහයා සිටීම ද ලිංගික ජීවිතය කෙරෙහි යම් කලකිරීමට හෝ සහකාරිය පිළිබඳව කලකිරීමට හේතුවෙයි. එම නිසා ලිංගික ඇසුරට යොමු වීමේ ප්‍රවණතාව අඩුවනු ඇත.

මෙවැනි යෝග යෙදී තිබියදී යෝනි පොරොන්දම ද විරුද්ධ සතුන් දෙදෙනකුගේ නම් නිදියහන සුවදායක එකක් නොවනු ඇත.

08 වැන්නේ රාහු සිටීම ද විවාහ සහකරුට හෝ සහකාරියකට තර්ජනයක් වන අතර සිකුරු සෙනසුරුගේ දෘෂ්ටියට ගොදුරුවූ විට අනියම් සම්බන්ධතාවලට යොමු වීමට ද ඉඩ තිබේ.

කුජ, බුධ, ගුරු යන ග්‍රහයන් සඳු සමඟ 7 වැන්නේ හෝ කටක රාශියේ තැන්පත්ව සිටීනම් යුග දිවියෙන් පසුව අනියම් සම්බන්ධතා ගොඩනඟා ගැනීමට පෙලඹේ.

දෙවැන්න කටක රාශිය වී එහි කුජ, රවි, යෝගවීම හෝ 1,4,7,8 යන ස්ථානයක අඟහරු බලවත්ව පාපියකු සමඟ සංයෝගවීම ද අඟහරු, සිකුරු නීච තත්ත්වයට පත්ව සඳු සමඟ 7 වැන්නේ තැන්පත් වීම ද අනියම් ඇසුරට යොමු වන පිහිටීම් වේ.

අඟහරු සමඟ සඳු යෝගව සිටියදී සිකුරුගේ හා සෙනසුරුගේ දෘෂ්ටියක් පවතී නම් කුමන ක්‍රමයක් හෝ යොදාගෙන අනියම් සම්බන්ධතා රහසිගතව පවත්වා ගනියි.

චන්ද්‍රයා නීච තත්ත්වයට පත්ව සිටියදී කේතු සමඟ සංයෝගවීම ලිංගික ශක්තිය හීනවීමට බලපානු ඇත. මේ යෝගය 7 වැන්නේ තිබියදී සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වේ නම් සමලිංගික සේවනයට යොමුවීමට ද පුළුවන.

කේන්දරයෙන් මානසික ආබාධ පිළිබඳව ද පෙන්නුම් කරන අතර, යුග දිවියට ඇතුළුවීමේදී ඒ ගැන හොඳින් පරීක්ෂා කළ යුතුය.

මේෂ, සිංහ, ධනු යන තේජෝ රාශියක් ලග්නය හෝ 5 වැන්න, 09 වැන්න වී එහි සෙනසුරු සමඟ ගුරු (බ්‍රහස්පති) සංයෝගවී නම් නිරන්තරයෙන්ම මානසික රෝග ඇති නොවූවත් වරින්වර මනස අවුල් සහගත වේ. මේ නිසා නිවරැදි තීරණවලට එළඹීමේ ශක්තිය අඩු කෙරේ.

බුධ නීච තත්ත්වයට පත්ව කේන්ද්‍රස්ථානයේ (1,4,7,10) සිටියදී අඟහරුගේ දෘෂ්ටියෙන් දුර්වලත්වයට පත්වූ විට සිහිමඳ ගතිය ඇතිවේ. නැතහොත් කල්පනා ශක්තිය දුර්වල වනු ඇත. මකර රාශිය කේන්ද්‍රස්ථානයක් වී එහි රවි සිටියදී වෙනත් බලවත් පාපියකු සමඟ සංයෝගවීම ඥාන හෝ පාපයන්ගේ දෘෂ්ටියට ලක්ව තිබූ නිසාද උමතු රෝගය ඇති කරනු ඇත.

බොහෝ දෙනෙකු විසි පොරොන්දම් ගැළපීමෙන් පමණක් විවාහයට යොමුවනු ඇත. එසේ පොරොන්දම් විස්ස ගැළපී විවාහයට පත්වූවන්ගේ යුගදිවිය කටුක භාවයට පත්ව ඇති අවස්ථාවන් බොහෝ වනු ඇත. විසි පොරොන්දම් ගැළපුණ පමණින් විවාහයට සුදුසු කාලය තීරණය නොකළ යුතු අතර කේන්දර සටහන්වල ගැළපීම ද හොඳින් පරික්ෂා කළ යුතුය. ඉහත සඳහන් යෝග රාශියක් බොහෝ කේන්දර සටහන්වල තිබෙන අතර මේ යෝග එකක් හෝ කිහිපයක් කේන්දරවල ඇත්නම් විවාහය සිදුකිරීම එතරම් යහපත් නොවනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.