නමට හිමි අංකය අනුව ඔබේ ගතිගුණ

ජූලි 26, 2024

ඔබගේ නමට අදාළ පලාපල දැන ගැනීම සඳහා පළමු කොටම ඔබගේ නමට අයත් ප්‍රකාශන අංකය සොයා ගැනීමට අවශ්‍යවේ. එය සකස් කර ගන්නා ආකාරය පසුගිය කලාපයේ සඳහන් කරන ලදී. එහෙත් ඔබගේ දැනගැනීම සඳහා නැවත කෙටියෙන් එය දක්වමු. ඒ සඳහා මුලින්ම ඔබ භාවිත කරන නම ඉංග්‍රීසියෙන් ලියාගන්න. ඉන්පසු පහත සටහනේ ඇති ආකාරයට ඔබගේ නමට අදාළ ඉංග්‍රීසි අකුරුවලට අයත් ඉලක්කම් ලියාගෙන ඒවා තනි අංකයක් වන ලෙස එකතු කරගන්න.

මෙම උදාහරණයෙන් ඔබට එය හොදින් පැහැදිලි කරගත හැකිය.

ම්භථචපඪ = 2+3+4+1+9+9 =28

28= 2+8=10

10=1+0=1

මේ ආකාරයට ඔබට අවශ්‍ය ඕනෑම නමක ප්‍රකාශන අංකය පහසුවෙන් සොයා ගැනීමට පුළුවන. මෙතැන් සිට අංක එකේ සිට නවය දක්වා ඔබගේ නමට අදාළව එන අංකයට අනුව පලාපල විස්තර කෙසේ දැයි බලමු.

ඔබේ නමට අනුව ප්‍රකාශන අංක 1 නම්

ඔබ භාවිත කරන නමට අදාළව ඔබට ලැබී ඇත්තේ ප්‍රකාශන අංක එක නම් ඔබ ඉතාමත් අධිෂ්ඨානශීලී උත්සාහවන්ත පුද්ගලයකු වෙයි. ස්වාධීනත්වය අගය කරන පුද්ගලයෙකි. නිදහසේ ජීවත් වීමට ප්‍රිය කරයි. උත්පත්තියෙන්ම ඔබට නායකත්ව ලක්ෂණ පිහිටා ඇත. ඕනෑම තැනක පෙරමුණ ගෙන ක්‍රියා කිරීමට ඉදිරිපත් වෙයි. එමෙන්ම ඕනෑම පිරිසක් අතර කැපී පෙනෙන ස්වභාවයක් පවතී.

රැකියා ව්‍යාපාරවල ඉතා දක්ෂ ලෙස කටයුතු කර සාර්ථකත්වය ලැබිමේ වාසනාව පවති. පරිපාලනයටද විශේෂ දක්ෂතා පවතී. ඕනෑම වගකීමක් නොපැකිළව බාරගනී. සියලු අභියෝග ජයගෙන ඉදිරියට ගමන් කිරීම මූලික අපේක්ෂාව වෙයි. ප්‍රකාශන අංක එක හිමි පුද්ගලයින්ට කලා ක්ෂේත්‍රය තුළ මෙන්ම දේශපාලනික වශයෙන්ද සාර්ථකත්වය ලැබීමේ හැකියාවක් පවතී. ප්‍රබල ව්‍යාපාරිකයන් මෙන්ම ආගමික නායකයින් ද ප්‍රකාශන අංක එකට හිමිකම් කියයි.

ඔබට හොඳ දරා ගැනීමේ හැකියාවක් පවතී. මානසික ශක්තිය මෙන්ම කායික ශක්තිය අතින් ද ඔබ පොහොසත් වෙයි. තම ආත්ම ගරුත්වය ගැන තදින් හිතයි. අන් අයට අවවාද අනුශාසනා දීමෙහි සමත් වෙයි. කළ යුතු දේ හා නොකළ යුතු දේ ඉතා නිවැරදිව තෝරා බේරා ගැනීමේ හැකියාවක් ඔබට ඇත. නිශ්චිත අරමුණක් වෙනුවෙන් කැපවී ක්‍රියා කරයි.

තමා ගේ හිතුමතයට ක්‍රියා කළ ද අන් අයගේ අදහස්වලටද ගරු කරයි. එහෙත් කිසිවෙකුට යටහත් පහත් වීමට කැමැති නැත. සෑම දෙයක් ගැනම ටිකක් ලොකුවට හිතා සැලසුම් කරයි. හොඳ සවන් දෙන්නකු ලෙස ද හැඳීන්විය හැකිය. සමාජයේ කොතැනත් කැපී පෙනෙන ස්වභාවයක් ඔබට ඇත. තරමක් ආත්මාර්ථකාමී ගති ද ඔබ තුළ නැතුවා නොවේ. ප්‍රකාශන අංක එක හිමි ඔබ සැබැවින්ම වාසනාව උරුම කරගනී. එමෙන්ම ඔබට සතුරන් මෙන්ම ඊර්ෂ්‍යාකාරයින්ද ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වීම වැදගත් වෙයි.

ඉවසීම අඩුකම හා කලබලකාරී ගතිය ඔබේ දුර්වලතාවයන් ලෙස පෙන්වා දිය හැකිය.

ඔබේ නමට හිමි ප්‍රකාශන අංකය 2 නම්

නිදහසේ සාමකාමීව කාටත් කරදරයක් නැතිව ජීවත් වීම එකම අරමුණ බවට පත්වෙයි.

ක්‍රමක්‍රමයෙන් තමන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් වර්ධනය කරගන්නා ඔබ ජයග්‍රහණයේ හිණිපෙත්තට ගමන් කිරීමට සමත් වෙයි. එමෙන්ම තමන්ගේ පෞද්ගලිකත්වය සහ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට ද ඔබ උනන්දු වෙයි. සමාජය තුළ ඉතාමත් කැපී පෙනෙන චරිතයක් ඇති ඔබ තමන්ගේ දක්ෂතා මඟින් උපක්‍රමශීලීව කටයුතු කරමින් සාර්ථකත්වය ඇති කරගතයුතු අයෙකි.

සමාජයේ කා සමගත් ඉතා ප්‍රියමනාප ලෙස කටයුතු කරන ඔබ අන්‍යයන් අතර ප්‍රකටව පෙනෙයි. අනිත් අයගේ හැඟීම් සහ අවශ්‍යතා හොඳීන් තේරුම් ගැනීමට විශේෂ හැකියාවක් ඔබට ඇත. එමෙන්ම සංවේදී හදවතක් මෙන්ම හොඳ පෞරුෂයක් ද ඔබට උරුම වෙයි. ඔබ ඕනෑම අයෙකුට ඕනෑම වෙලාවක අවශ්‍ය විදිහට උදව් උපකාර කරයි. හොඳ දරා ගැනීමේ ශක්තියක් ඇති ඔබ විවෘත මනසකින් කටයුතු කරයි.

තම සහකරුවාගේ ඕනෑ එපාකම් සහ අවශ්‍යතාවයන් හොඳීන් තේරුම්ගෙන අවබෝධයෙන් කටයුතු කරයි. ආදරයේදී ඔබ ඉතා හොඳ ප්‍රේම වන්තයෙක් වෙයි. තම දරුවන් වෙනුවෙන් සහ තමාගේ සහකරුවා වෙනුවෙන් අවශ්‍ය යුතුකම් නොපිරිහෙළා ඉෂ්ට කරයි. ඉතා සංවේදී හදවතක් ඇති ඔබ ඉක්මනින් කම්පාවීමේ ස්වභාවයෙන් ද යුක්ත වෙයි.

නිර්මාණාත්මක මෙන්ම කලාත්මක හැකියාවන් ද ඔබට සහජයෙන් උරුම වී ඇත. හොඳ රසවින්දන හැකියාවක් ඇති අයෙක් වෙයි. අන් අයට හොඳීන් සවන් දෙන ස්වභාවයක් ඔබ තුළ ඇත. ඉක්මනින් කේන්ති ගන්නවා සේම ඉක්මනින් එය නිවා ගනියි. අන් අයට අවවාද උපදෙස් මෙන්ම දැනමුතුකම් දීමට ද ඔබ ඉතා දක්ෂ වෙයි. හිතාමතා කාගේ හෝ සිත් රිදවීමක් නොකරයි. දහසකුත් ප්‍රශ්න තිබුණත් ඒ සියල්ල විඳ දරාගෙන කාටත් කරදරයක් නොවී සතුටින් ජීවත්වීම ඔබගේ ස්වභාවය වෙයි.

ඔබේ නමට හිමි ප්‍රකාශන අංකය 3 නම්

ඔබ ඉතාමත් නිර්මාණශීලී අදහස් ඇති විවිධ දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ පුද්ගලයකු වෙයි. සතුට සහ විනෝදය පිළිබඳ වැඩි කැමැත්තක් දක්වන අතර ඒ වෙනුවෙන් මුදල් හදල් ද වියදම් කරයි. තමන්ගේ සිතේ තිබෙන අදහස අනිත් අයට දැනෙන ආකාරයට ප්‍රකාශ කිරීමේ හොඳ හැකියාවක් තිබේ. සන්නිවේදනයෙහි දක්ෂ වෙයි. පැහැදිලිව අදහස් හා වචන ප්‍රකාශ කරයි. ජීවිතය පිළිබඳ සුබවාදී ධනාත්මක ආකල්පවලින් යුක්ත පුද්ගලයෙක් වෙයි.

ඔබ ඉතාමත් පුංචි තැනින් පටන්ගෙන අවසානයේ ක්‍රමයෙන් සාර්ථකත්වය කරා පියමන් කරයි. ඊර්ෂ්‍යා සහගත සිතුවිලි ද නැතුවාම නොවේ. එහෙත් සිත තුළ ආදරය කරුණාව දයාව වැනි මානව ගුණාංග ද ඔබ තුළ නිරන්තරයෙන් පවතී. ඒ වගේම සුළු දෙයකින් පවා දුකට සහ කම්පාවට පත්වෙයි. දැඩි සංවේදී හිතක් ඔබට පවතී. සතුටු සාමීචියේ යෙදී කතාබහ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. ඔබ කුමක් කළත් තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන කටයුතු කරයි. සමාජශීලී චරිතයක් වන ඔබ ආදරය ප්‍රේමය සම්බන්ධ කටයුතු වලදීද වියදම් කිරීමට පසුබට නොවෙයි.

ගැටලුකාරී අවස්ථාවන්වලදී අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන ඔබ ඉතාම සාමකාමීව ප්‍රවේශමට ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට සමත් වෙයි. පෙර පුරුදු අයෙකු ලෙසින් යම් කාර්යයක නිරත වීමට ඔබ සමත් වෙයි. යමක් කිරීමට පෙර එය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඔබට පැහැදිලි අදහසක් තිබේ. සංගීතය නර්තනය ගායනය වැනි කලා හැකියාවන් සම්බන්ධව ළැදියාවක් මෙන්ම හැකියාවන්ගෙන් ද යුක්ත අයෙකු වනු ඇත. කුඩා කාලයේ සිටම කලා අංශයට විශේෂ දක්ෂතා දක්වයි. විවිධ සාහිත්‍ය නිර්මාණ පොත්පත් රචනය වැනි නිර්මාණාත්මක ලේඛන කලාවට මෙන්ම වචනය භාවිතයෙන් කරන්නාවූ දේශන ආදී කටයුතුවලට ද ඔබ විශේෂ දක්ෂතා ඇති අයෙක් වෙයි. සුහදශීලී මෙන්ම විනෝදශීලී ගතිද ඔබේ චරිතය තුළ පිහිටයි. නාම අංක තුන හිමි පුද්ගලයින් බොහොවිට සාර්ථක ජීවිතයක් ගත කරනු පෙනේ.

ඉතිරි අංක ලබන කලාපයෙන්.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.