විවාහයට වැට කොටු බඳින කේන්දරයේ කොටු දොළහ

ජූලි 26, 2024

ජන්ම කේන්ද්‍රයක් චතුරස්‍ර කොටස් හතරකට බෙදූ විට 12, 11, 10 යන භාවස්ථාන පුරුෂ වශයෙන්ද 9, 8, 7 ස්ත්‍රී වශයෙන් ද 6, 5, 4 පුරුෂ වශයෙන් ද 3, 2, 1 ස්ත්‍රී වශයෙන්ද ඡ්‍යොතිෂ විද්‍යාව පෙන්නුම් කරයි. මෙය විවාහයට බලපාන අයුරින් විස්තර කළ හැකිවාක් මෙන්ම සෑම කේන්ද්‍රස්ථානයකින්ම හෝ භාවයකින්ම එම පරමාර්ථයෙන් අධ්‍යයනය කළ හැකිය.

ප්‍රධාන වශයෙන් පස්වැන්න, හතරවැන්න සහ එකොළොස්වැන්න විවාහය සම්බන්ධ ඉතාම වැදගත් ස්ථාන වෙයි. මෙහි පස්වැන්නෙන් ප්‍රේම සම්බන්ධතා හා දූ දරුවන් ගැන කියැවෙයි. හත්වැන්නෙන් විවාහය ගැනද එකොළොස් වැන්නෙන් ප්‍රේම සම්බන්ධතා හා සුහදතාව ගැන ද පැවසේ. විවාහයේ සාර්ථකත්වය ගැන විමසීමේ දී මේ සියල්ල විනිශ්චය කළ යුතු වේ. සෑම කේන්ද්‍රස්ථානයකම වැදගත්කම වැටහේ. ලග්න ස්ථානයෙන් ජන්මියාගේ පෞරුෂත්වය, චරිතය, පෞද්ගලික සිරිත් විරිත් සහ හැසිරෙන ආකාරය දැක්වෙයි. මේ පළවෙනි ස්ථානය අසාර්ථක විවාහයකින් පසු ඇතිවන දෙවෙනි විවාහයට බලපායි. එසේම දික්කසාද වී ඇති අඹු සැමි යුවළක් නැවත ඔවුන් විවාහ වීම ගැන සැලකීමේ දී මෙය වැදගත් වේ.

දෙවැන්නෙන් විවාහ සහකරු හෝ සහකාරියගෙන් ලැබෙන්නා වූ උරුමයන් හා වස්තුව ගැනද විවාහයෙන් පසු වන්නා වූ ණයගැති භාවය පිළිබඳව ද පෙන්නුම් කරයි. සහකරුගේ මරණය ගැන ද විවාහය හෝ දික්කසාද අවසන් වන පවුල පිළිබඳ කරුණු කෙරෙහිද මේ ස්ථාන බලපායි.

තුන්වැන්නෙන් සහකරුගේ හෝ සහකාරියගේ දීර්ඝ ගමන් දේශාටන චාරිකා ගැනද ඔහුගේ හෝ ඇයගේ දර්ශනවාදී හෝ ආගමික විශ්වාසයන් හා මතිමතාන්තර ඔහු හෝ ඇය විසින් ප්‍රකාශයට පත්කරන ග්‍රන්ථාදියද කියැවේ. විවාහයට පදනම්වන සදාචාර අධ්‍යාත්මික හා බුද්ධිමය කරුණු ද තුන්වැන්නෙන් පාලනය වෙයි. පවුල් අවුල්වන ආගමික ප්‍රභේද, දික්කසාද නඩුවකට ගතවෙන කාලය පිළිබඳවද මේ ස්ථානය වැදගත් වෙයි. එසේම ජන්මියාගේ විවාහයට බාධා කරන හෝ සහයෝගය දෙන සහෝදර, ඥාති මිත්‍රාදීන් ගැනද මෙයින් දැනගත හැකිය.

හතර වැන්නෙන් ජන්මියාගේ මාපියන්ගෙන් කෙනෙකු ගැනද සහකරු ගැනද, සහකරුගේ අනාගත අභිලාෂයන් ඔහුට හෝ ඇයට ලැබෙන්නා වූ කීර්තිය සහ මහජන ප්‍රසාදයන් ගැන ද කියැවේ. එසේම විවාහය සම්බන්ධ මංගල උත්සවය ගැන ද මේ කේන්ද්‍රස්ථානයෙන් දැක්වෙයි.

පස්වැන්නෙන් විවාහ සහකරු හෝ සහකාරියගේ ඇති බැඳීම හා පතිවත භාවය හා විවාහයට ඔබ්බෙන් ඇති ප්‍රේම සම්බන්ධ හා පස්වැන්න පාලනය කරන ජන්මියාගේ ලිංගික ආශ්වාදය පිළිබඳවද, ඇතිවන දූ දරුවන් ගැන ද ජන්මියාගේ දෙවෙනි මනාලිය හෝ මනාලයා ගැනද කිව හැකිය. විවාහය ඇතිවීමට උපකාරීවන පුද්ගලයන් මෙන්ම දික්කසාද ඇතිවීමට උපයෝගිවුන පුද්ගලයන් ගැනද මේ ස්ථානයෙන් කරුණු සෙවිය හැකිය. හින්දු නක්ෂත්‍ර විද්‍යාව අනුව මේ කේන්ද්‍රස්ථානය ස්ත්‍රීන්ගෙන් ලැබෙන්නාවූ ධනයේ භුක්තිය හා වෙන අඟනන් හා සම්බන්ධව පාලනය කරන බලවත් ස්ථානයද වන්නේ ය.

හයවැන්න, දොළොස් වැන්නෙන් හත්වැන්න වන හෙයින් සහකරුගේ රහස් සතුරන් පිළිබඳ හා ඔවුන්ගේ දුක්කම්කටොලු අසාධ්‍ය රෝගයන් ආදිය පාලනය කරයි. එසේම විවාහයෙන් ඇතිවන්නා වූ කරදර, දික්කසාදයකට තර්ජනය කරන කලානුරූප බලපැම්ද මෙයින් කියවිය හැකිය. පුරුෂයෙකුගේ ජන්ම කේන්ද්‍රයේ නම් මේ ස්ථානයෙන් භාර්යාවගේ දරු ප්‍රසුත හා මාතෘත්වය පිළිබඳවද කරුණු හෙළි වේ.

සත්වැන්න විවාහයට කෙළින්ම සම්බන්ධවන ස්ථානය වෙයි. අටවැන්නෙන් සහකරුගේ මුදල් හා චංචල දේපළ තත්ත්වයද ආදායම් ලැබෙන මාර්ගද දික්කසාදයකින් පසුව ලැබෙන ධනය හා නඩත්තු මුදල් ගැනද පාලනය වේ. හින්දු නක්ෂත්‍ර විද්‍යාව අනුව මේ ස්ථානය විවාහ සහකරු නිසා ඇතිවන්නාවූ අප්‍රසන්නතාවන් පෙන්වන්නාවූ මිනුම් දණ්ඩක් වේ.

නම වැන්නෙන් සහකරුගේ විදේශ ගමන්, රථවාහන අයිතිය සහ වෙනත් තුන්වැන්නට අයිති කරුණු පාලනය කෙරේ. විවාහය, මධුසමය, සහකරුගේ කතා විලාසය ආදී ස්වභාවය ගැනද, දික්කසාද නඩුවක් නම් තීරණය ගැන නවවැන්නෙන් අනාවැකි පළකළ හැකිය.

දහවැන්නෙන් ජන්මියාගේ දෙමාපියන්ගෙන් කෙනෙකු ගැනද, සහකරුගේ දෙමාපියන්ගෙන් කෙනෙකු ගැනද සහකරුගේ උරුමයන් වස්තුව වාසස්ථානය උපන් ස්ථානය හෝ උපන් පරිසරය ගැනද කරුණු කිව හැකිය. හතරවැන්නෙන් දැන ගත හැකි කරුණුවලට අමතරව දස වැන්නෙන් විවාහයට හෝ දික්කසායට හේතුවන කරුණු හා මූලිකත්වයක් ගැනද එහි ප්‍රතිඵල හා විවාහය හා සම්බන්ධ ශාස්ත්‍රවිධි ගැනද දැක්වේ.

එකොළොස් වැන්නෙන් සහකරුගේ දරුවන් සහකරුගේ විනෝදාංශ පාසල් අධ්‍යාපනය, ප්‍රේම සම්බන්ධ බලාපොරොත්තු සහ පුරුෂයාට හෝ භාර්යාවට බලපාන පස්වැන්නෙන් දැනගත හැකි කරුණුද පාලනය වේ.

එකොළොස් වැන්නෙන් විවාහය සම්බන්ධ ජන්මියාගේ මිතුරන්ගේ අදහස් පවතින්නාවූ මිත්‍රත්වය විවාහයට බලපාන අයුරුද, විවාහය නිසා ඇතිවන්නාවූ වාසනාවන්ත අවසනාවන්ත ස්වභාවය ගැනද දැනගත හැකිය.

දොළොස්වැන්නෙන් සහකරුගේ අසනීප, ආහාරපාන, සුරතලුන්, මෙහෙකරුවන්, යටත් සේවකයන්, ඇඳුම් පැළඳුම් , මානසික හා අධ්‍යාත්මික ස්වරූපයන් සහ හයවැන්නට නියම කරුණුද පාලනය වේ. පවුල් දිවියේ සාමය බිඳීනු තත්ත්වයන් හා තම සබැඳීයාවේ ඛේදනයට තුඩුදෙන කරුණු පාලනය කරන ස්ථානයද දොළොස් වැන්න වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.