මුල නැකැත

ජූලි 19, 2024

 

“ස්ථිර භොගීච මානීච ධන වාංශච සුඛි භවෙත්

තෘතීය පාදේ තුෙQ්‍යච මුලාද්‍යතෙත්ථි පරිත්‍යජෙත”

මුල නැකතින් උපත ලබා ඇත්නම් හෙතෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇති උගතෙක් වේ.

විචක්ෂණ බුද්ධියෙන් අනූනය. ජනපි‍්‍රයත්වය ප්‍රසිද්ධිය, කීර්තිය පැතිරේ. ප්‍රචාරක කටයුතුවලට ඉතාම දක්ෂ වේ. එහෙත් සමහර විට වංචනික අයටද හසුවේ. එසේ අසුවීමෙන් ඔහුද වංක වැඩවලට යොමුවන්නේ මුදල් ලැබෙන ආකාරයටය. ඉතාම තද මසුරුකමෙන් යුක්තයි. අන්‍යයන්ට දීමට හරිම අකමැතියි. ගනු මිස දෙනු නැත. නිතරම තමා සතුව කිසිම මුදලක් නැති බව මවා පෙන්වයි. කලා අංශයටද දක්ෂ වේ. චිත්‍ර, නාට්‍ය, සංගීතයට දක්ෂයි. රඟපෑමේ දස්කම් තිබේ.

අධික ලෙස කෝපයටද පත්වන බවක් පෙනේ. සමහර විට තමාට තමාව පාලනයකර ගැනීමටද අපොහොසත් වේ. මොහු හිතාමතා වැරදි නොකරයි. අත්වැරදීම් පමණයි. අන් අයට වහා තේරුම් ගැනීමට නොහැකි ගුප්ත චරිතයක් ද වේ. එහෙත් සමාජය තුළ ඉතාම යහපත් කෙනෙකු සේ පෙනේ. දක්ෂතාවයෙන් යුතුව එදිනෙදා වැඩකටයුතු කරනු ඇත.

වැඩි පිරිසක් සමඟ කටයුතු කිරීමේ දී තරමක ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කිරීම නිසා යම් යම් පටලැවිලි සාදා ගනී. තමාව ඒ හරහා කොන්වීමක්ද සිදුවේ. කොතරම් උත්සාහ කළත් විශාල ලෙස මිල මුදල් සෙවීමට ගන්නා තදබලම වෑයමද සමහර විට ඉලක්කය වරදින අවස්ථා එමටයි. සූදු ක්‍රීඩාවලින් විශාල ලෙස ජයග්‍රහණය කරයි. තමා මුදල් අතින් වැටෙන තැනකට පත්වන බව පෙනේ නම් එය වළකා ගැනීමට විශාල උත්සාහයක් ද දරයි. කෙසේ වෙතත් පාඩු විඳීමට සිදුවේ. එදා ඍෂි භාෂිතය හරහා ලොවට ප්‍රකාශිත යම් යම් අදහස් උඩුයටිකුරු පෙරලීම්වලට හසුවේ. එය ස්වාභාවිකයි. අද මේ දියුණු තාක්ෂණය සම්බන්ධ කර කෙනෙකුගේ රැකියාව ගැන ප්‍රකාශ කෙරේ. පැරැණි අයෙකුට පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් ගැන කිව හැකිද? කාලීන හැසිරීම හා අවශ්‍යතා පරිදි ප්‍රකාශ කළ යුතුවේ. දියුණු තෙවැනි ඇසක් හිමි මුල නැකත් හිමියාට විදේශ ගතවීම්වලට වාසනාව පෑදේ. මුහුදින් එතෙර රැකියාවන් කිරීමට වාසනාව උපතින්ම ඇත. සමහර අවස්ථාවලදී මුල නැකත් හිමි අය ගුවන් නැවියෙකු ලෙසද ක්‍රියා කරයි. අහස් යානා එලවීමට දක්ෂතා ඇතිවේ. එය වායුව හා මිශ්‍රයි.

මුල නැකතට පාදක වන කේතු පොළොව හා සම්බන්ධිතයි. දශාවද කේතු වේ. රාහු සෘජුවම මුල නැකතට සිය රශ්මි කිරණ කාන්දුවීම නිසා ගුවන් සේවාවන්ට අනුබද්ධිතවීමේ හැකියාව ලැබේ. විශේෂයෙන්ම රසායන විද්‍යාවට මුල නැකත බලපෑම් ඇත. එම ක්ෂේත්‍රයේ විවිධ පැති ඉසව්කරා යෑමෙන් උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකිවේ. මුල නැකත් හිමියා තමා දන්නා බව නොදන්නා කෙනෙකු විය හැකිය.

තමා ලබන නැත්නම් ලබාගත් දැනුමෙන් අවස්ථානුකූලව නිසි ප්‍රයෝජන නොගන්නා බවද පැහැදිලිය. ඉදිරිපත් වන සෑම කටයුත්තකදීම එහි අක් මුල් ඕනෑවට වඩා සෙවීමට යෑමෙන් වන්නේ එකක් වත් හරිහැටි සොයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වීමකි.

යම් කාන්තාවක් මේ මුල නැකතින් උපන්නේ නම් සමහරවිට තරුණ වියේ දී ම විවිධ රෝගකාරකීය තත්ත්වයකට මුහුණදීමට සිදුවේ යැයි ග්‍රන්ථවල සනිටුහන් වී ඇත. ශරීර සෞඛ්‍යය එතරම් ශුභ නැතැයි යන අරුත තිබේ.

පොතේ තිබෙන අන්දමට කිසිවෙකුට මෙලොව ජීවත්විය නොහැකිය. ඒකයි ඇත්ත. තමා තමා දෙස ගැඹුරින් බැලිය යුතුවේ. මෙලොව තමා අපේක්ෂා කරන සියල්ලම එලෙසම නොලැබේ. කුමක් හෝ අඩු පාඩුවක් තිබිය හැයිය. ‘වායමේථපුරිසො යාව අත්තස්ස නිප්පදා’ පුරුෂය වෑයම් කරන්න. තමාගේ අපේක්ෂා ඉටුවනතුරුම. අන්‍යයන් සමඟ තමා සැසඳීමට යෑම අනුවණකමකි.

මුල නැකැත් හිමියන් අතිවිශාල සංඛ්‍යාවකගේ ජීවන වපසරිය ගැන තෝරා බේරා බැලීමේ දී ඔය කියන තරම් පහළ තත්ත්වයට ශරීර සෞඛ්‍යයවත් ආදායමවත් පහළ වැටෙන්නේ නැත. සියල්ලටම මනස මුල් වේ. මනසින් මෙලොව කළ නොහැකි දෙයක් නැත. හොඳ නරක දෙකම නිජබිම කරගන්නේ යටි සිතයි. කෙනෙකු තව කෙනෙකුට එකවරම බනින විට ඔහු හෝ ඇයගේ යටිසිත ඉතාම වේගයෙන් ක්‍රියාත්මක වේ. සමහරු අතට අසුවන යම් යම් දේවලින් දමා ගසති. පහර දෙති. මේ සියල්ල කරනුයේ වහා ක්‍රියාත්මක වූ යටිසිතය. මුල නැකත් හිමියාගේ යටි සිත තුළ තැන්පත්වන උඩු සිතට එකවරම හඳුනා ගැනීමට නොහැකි දෑ ක්‍රියාත්මක කිරීමට යෑම එතරම් යෝග්‍ය නොවේ.

දැරියක මුල නැකතේ 1 වැනි පාදයේ මල්වර වී නම් ඉතාම වාසනාවන්තයි. විවාහය සාර්ථකයි. 2 පාදයේ නම් දාරක සම්පත් ලැබේ. යහපත් දිවි පැවැත්මකි. 3 පාදයේ නම් ආගම දහමට ළැදිය. අවංකයි. ගුණ ගරුකයි. 4 පාදයේ නම් වාසනාවන්ත යුග දිවියක් ගෙවයි. විවාහයෙන් පසු ධනය අතට ලැබේ.

මුල නැකතට, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවන, පුෂ, අනුර, උත්‍රපුටුප, දෙට, අස්ලිස, රේවතී, සම්පත්, ක්ෂේම, මෛත්‍රී, පරම මෛත්‍රී වේ. කැති, උත්‍රපල්, උත්‍රසල, පුනාවස, විසා, පුවපුටුප, විපත් වද තත්ත්වය අයත්ය. විවාහයේ දී මුල නැකතට සුබම නැකතක් යොදා ගැනීම අනිවාර්යය වේ.

නැකැත් සංහිතාවේ සඳහන් වන අයුරින් මුල නැකත නිවාස ආරම්භ කළවිට සම්පත් ලැබීම් ඇතිවේ. මූල්‍යමය තත්ත්වය ඉතාම ධනාත්මකයි. සමහර විට කල්යත්ම අමනුෂ්‍ය දෝෂයන්ට ලක්වන අතර සෞඛ්‍යයටද බලපෑම් ඇතිවේ. වාස්තු විද්‍යාවට එකඟවම නිවාස ගොඩනඟා ගැනීමද අනිවාර්ය වේ. මුල නැකැත් හිමි දෙපක්ෂයම පෙම් සබඳතාවලට නතු වී කලක් ප්‍රේම පාරාදිසයේ ගමන් කරනු ඇත. හිටි අඩියේම ඔවුන් දෙදෙනා අතර යම් යම් ගැටලු කාරීත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. විශේෂයෙන් රැකියා ගැටලුද මේ අතර වේ. එදිනෙදා ජීවන රටාව තුළ වෙනත් මානසිකමය බැඳීම් ආදියට පෙලඹුණහොත් එය ජීවන ප්‍රශ්නයක් බවට පෙරලේ. ගැටලුව ලිහා ගැනීමට හැකි නොවුණහොත් දුරදිග යෑමට ඉඩ තිබේ.

සියලුම අය මනෝවිද්‍යාඥයින්ද නොවේ. එකිනෙකාගේ මනස හරි හැටි තේරුම් ගැනීමට යාම නිසාම අනවශ්‍ය ගැටලු පැන නඟී. විවාහයකදී දෙදෙනාගේම අදහස් ගැළපීම් එක හා සමාන නොවේ. සමාන වන්නේ ද නැත. එය මිථ්‍යාවකි. තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි. මුල නැකත් හිමියාට සමහර විට සිදුවන්නේ මනෝමය අතරමං වීමකි. ඕනෑම දෙයක් ඕනෑවට වඩා සිත තුළට ගන්නේ නම් ඕනෑම අන්දමකට ක්‍රියාත්මක වේ.

මෙය හරියට බළලෙකු නූල් බෝලයක් ඇඟමත පටලවා ගන්නා සේය.

මුල නැකත් තරුවැල්වල පිටට කාන්දු වන ආලෝකය වර්ණවත්ය. දම් පැහැය කුළු ගන්වයි. ජීවන ගමනට විශේෂයෙන්ම බලපාන වර්ණාලෝකයකි. නැකත් හරහා ජීවිතයක ඇතුළු පැත්ත හරිහැටි බැලිය හැක්කේ විනිවිදව දැකීමෙන් ය.

ඡ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.