සිකුරු මණ්ඩලය

අත්ලෙන් හෙළි වන ජීවිත රහස්
ජුනි 9, 2023

මෙලොව රඳා පවතින්නේ ආදරය මතයි. එම ආදරය පිළිබඳවත් මිනිස් දිවියට ආදරයේ ඇති වැදගත්කම ගැනත් හැඟීම් පුද්ගලයාට ලබා දෙන්නේ සිකුරු මණ්ඩලයයි. සිකුරු මණ්ඩලය පිහිටා ඇත්තේ අත්ලේ මැණික්කටු සීමාවේ සිට ඉහළට ඇති ජීවන රේඛාවෙන් වට වූ කොටසේය.

පුද්ගලයකු පංච කාම සම්පත් කෙරේ ඇති ආශාවන් ජීවිතයට කෙසේ බලපෑම් කරයි ද, ඔහු සරාගී පුද්ගලයෙක්ද නැති ද, ගිහි ජීවිතය සැපවත් ද නැති ද ආදී කෙනකුගේ ලෞකික ජීවිතය ගැන අවබෝධයක් සිකුරු මණ්ඩලය පිරික්සීමෙන් ලබා ගත හැකිය. ප්‍රධාන වශයෙන්ම පුද්ගලයකුගේ ආදරය, අනුකම්පාව, සෙනෙහස, ආකර්ෂණීයත්වය සුඛෝපභෝගිත්වය ආදී කරුණු සිකුරු මණ්ඩලයෙන් නිවේදනය වේ.

අනිකුත් මණ්ඩල සේම සිකුරු මණ්ඩලය ප්‍රබල පුද්ගලයකු ලස්සන ආකර්ෂණීය ආදරබර කරුණාව සහ කැපකිරීම්වලින් යුක්ත ජීවිතයක් ගත කරයි. ඔවුහු භාග්‍යවන්තයෝය. ශරීර සෞඛ්‍ය යහපත්ය. මනා පෞරුෂයෙකින් හෙබි ආකර්ෂණීය පෙනුමක් සහිත පුද්ගලයන්ය. නිතරම සතුටින් ජීවත් වීමට කැමතිය. අලංකාර ඇඳුම් පැලඳුම් ආභරණ ආදියෙන් නිතරම හැඩ වැඩ වීමට කැමැතිය. සංගීතය, නැටුම්, කවි, ගීත ආදි කලා කටයුතු සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින පුද්ගලයන්ය. ගීත, චිත්‍ර, මූර්ති ආදි නිර්මාණයන් ඔහු අතින් බිහිවේ. සිකුරු මණ්ඩලය ප්‍රබල පුද්ගලයා සුඛෝපභෝගී ජීවිතයට නැඹුරු වන අතර, මොවුන්ගේ ගති පැවතුම් ශනිගේ ගතිවලට විරුද්ධ වේ. එම නිසා දේව විශ්වාසයෙන් බැහැර වේ. මොවුන් සෑම විටම ප්‍රීතියෙන් ජීවත් වේ. ලිංගික ජීවිතය ප්‍රිය කරයි. එහෙත් සල්ලාලයන් ලෙස හැඳින්විය නොහැකිය. හැඩිදැඩි පුරුෂ ගති නොපෙන්වන අතර ළලනාවන්ගේ සුකොමල ගතිය උපතින්ම උරුම කරගෙන ඇත. විවාහ දිවියට කැමැතිය. මොවුන් ඉක්මනින් විවාහ වන අතර, සහකාරිය හැඩ වැඩ ඇතිව ලස්සනට ඉන්නවාට කැමතිය. දරුවන් බොහෝ අපේක්ෂා කරයි. ගෙදර සහ දරුවන් තමාගේ එකම සම්පත ලෙස සලකන පුද්ගලයින් සිකුරු මණ්ඩලය ප්‍රබල පුද්ගලයෝය.

සිකුරු යහපත්ව පිහිටා ඇති කාන්තාවන් උපතින්ම පුරුෂයන් ආකර්ෂණය කර ගැනීමට දක්ෂය. ගෙදර දොර අලංකාරවත් ලෙස තබා ගන්නවා ඇත. ඇය රූමත්ය. අයෙක් වරක් දුටුවොත් නැවතත් ඇය දෙස බැලීමට පසුබට නොවේ. ආදරය සහ මනුෂ්‍යත්වය දැඩි සේ අගය කරන බැවින් විශාල මිතුරු මිතුරියෝ ප්‍රමාණයක් සිටිති. කුමන බාධක ආවත් විවාහ දිවිය දිගටම පවත්වාගෙන යාමට හැකි සෑම උත්සාහයක්ම ගනී. කැපවීමෙන් කටයුතු කරන ආදරබර බිරිඳකි. එසේම ඇය දරුවන්ට හොඳ මවක් සේම ගෙදර දොර කටයුතු ආශාවෙන් කරන හොඳ ගෘහිණියකි.

සිකුරු යහපත් පුද්ගලයන් මිල මුදල් රැස් කරන්නේ නැත. එම නිසා ආර්ථිකය එතරම් යහපත් නොමැත. එහෙත් මොවුන්ට මුදල් ලැබීමේ වාසනා ගුණය ඇත. රැකියාව වශයෙන් කලාවට සම්බන්ධ රැකියාවක් මොවුන්ට සුදුසුය.

අති ප්‍රබල ලෙස සිකුරු මණ්ඩලය පිහිටා ඇත්නම් ඔවුන්ගේ කාමය රාගය වැඩිය. ලිංගික ක්‍රියා, ලස්සන, සුඛෝපබෝගී බව ජීවිතය කරගනී. සමාජ සම්මතය ඉක්මවා ගමන් කරයි. ආත්මාර්ථකාමී මෙන්ම නපුරු පුද්ගලයන් බිහිකරයි. මාපට ඇඟිල්ලේ පළමු පුරුක දෙවන පුරුකට වඩා දිග නම් මණ්ඩලය කුජ මණ්ඩලයට නැඹුරු නම් ස්ත්‍රී දුෂකයෙක් බිහිවේ. එම පිහිටීම කාන්තාවක්ගේ අත්ලෙහි නම් දුරාචාරයේ යෙදින්නියක් බිහිවේ.

එසේම දුර්වල එබුණු ස්වභාවයෙන් යුක්ත සිකුරු මණ්ඩලයක් නම් මුළු ජීවිත කාලයම කරදරවලින් පිරුණු එකක් වේ. පුරුෂයෙක් නම් ස්ත්‍රීන් ප්‍රිය නොකරයි. ස්ත්‍රියක් නම් තමාට තමාම බරක් සේ සිතන්නීය. ආකර්ෂණීය පෙනුම නැත. සෞඛ්‍ය ජීව බලය ආදර සම්බන්ධතා යන යහපත් සියලු දේ විරුද්ධ ප්‍රතිඵල දැකිය හැක. ලිංගික රෝගවලට ගොදුරු වේ. මණ්ඩලය කුජ දෙසට නැඹුරු නම් අශිෂ්ටත්වයට හේතු වේ. මණ්ඩලය බර මාපට ඇඟිල්ල දෙසට නම් කාමුකත්වයට පෙලඹීම පාලනය වේ. සිකුරු මණ්ඩලය චන්ද්‍ර මණ්ඩලය දෙසට නැඹුරු නම් කාමුක හැඟීම් වැඩි වේ.

සිකුරු මණ්ඩලය මත මධ්‍යයේ තරු සලකුණක් ඇත්නම් ආදර සම්බන්ධතා සපල කරන පිහිටීමකි. තරුව පිහිටා ඇත්තේ මාපට ඇඟිල්ලට ආසන්නයේ නම් උසස් පුද්ගලයකු සමඟ ආදර සම්බන්ධතාවයක් ඇති වේ. තරුව පිහිටා ඇත්තේ ජීවන රේඛාව ආසන්නයේ නම් එම ආදර සම්බන්ධතාවලට විරෝධ එල්ල නොවේ.

කතිරය ලකුණක් මෙම මණ්ඩලය මත විශාලව පිහිටියේ නම් තරමක් යහපත්ය. එසේ නොමැතිව කතිරය කුඩාවට හුදකලාව පිහිටියේ නම් නඩු මඟට හෝ මරණය ගෙන දෙන කාරණයකි. සිකුරු මණ්ඩලය මත කතිර සලකුණ ජීවන රේඛාවේ ස්පර්ශ වේ නම් ඥාතීන් නිසා කරදරකාරී තත්ත්වයන් ඇති වේ. කතිර රාශියක් සිකුරු මණ්ඩලය මත නම් විරුද්ධ ලිංගිකයා තෘප්තිමත් කිරීමට හැකියාවක් නොමැත. ත්‍රිකෝණයක් මෙම මණ්ඩලයේ පිහිටීම ආදරය කරුණාව අනුකම්පාව ආදි මෙම මණ්ඩලයේ ගුණාංග මඟින් තමාගේ දියුණුව සකසා ගත හැකි බව පෙන්වන සලකුණකි. නමුත් ත්‍රිකෝණයේ පාද ඇද නම් හෝ විකෘති නම් සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වන ලක්ෂණයකි. නැතහොත් එකවර සම්බන්ධතා දෙකක් පවත්වා යන ලක්ෂණයකි.

අන් ස්ත්‍රී සේවනය නිසා සමාජ තත්ත්වය විවාහය නැති කර ගැනීම මෙම මණ්ඩලයේ දූපත් සලකුණක් පිහිටීමෙන් පෙන්වයි. එසේම මෙහි පිහිටි දුපතකින් රේඛාවක් විවාහ රේඛාව දක්වා ගියොත් දික්කසාදය සිදුවන බව පෙන්වයි. ඒ වගේම එලෙසම රේඛාවක් හෘද රේඛාවට ගියොත් ප්‍රේම සම්බන්ධ නිසා තමාට හානි හෝ විවාහ වීමට අවස්ථාව නොලැබීම පෙන්වයි. තනි රේඛාවක් මහපට ඇඟිල්ලේ දෙවන පුරුකේ සිට ජීවන රේඛාවට ගියොත් කරදර සහිත විවාහ දිවියක් පෙන්වයි.

සිකුරු මණ්ඩලය සහ ගුරු මණ්ඩලය ප්‍රබල නම් සිකුරුගෙන් නිපැයෙන ගීත චිත්‍ර මූර්ති ආදී කලා නිර්මාණයන් සඳහා ගුරුගෙන් ලැබෙන ආධ්‍යාත්මික බලයත් එකතු වීමෙන් එය උසස් නිර්මාණයක් බවට පත්වේ. සිනමා ශාලා, කාන්තා විලාසිතා ආයතනවල තනතුරු දරන්නන් මෙම මණ්ඩල බලවත් වූවෝය.

සිකුරු සහ ශනි මණ්ඩල යහපත්ව පිහිටා ඇත්නම් ලස්සන පිළිබඳ හැඟීම අඩු වේ. මුදල්වල වටිනාකම අවබෝධ වන හෙයින් රැකියාවලට උනන්දු වේ. ආදර සම්බන්ධතාවලදී බුද්ධිමත් වේ. මණ්ඩල දෙකේම අයහපත් ගතිගුණ එකතු වීමෙන් කපටි අනුවණ අපරාධකාරයෙක් වීමට ඉඩ තිබේ.

සිකුරු සහ රවි මණ්ඩල ප්‍රබල නම් පුද්ගලයා කලාත්මක කටයුතුවලදී වඩාත් දක්ෂතා පෙන්වයි. අනුන් වශීකරන නව නිර්මාණ ඔවුන් අතින් බිහි වේ. මොවුන්ගේ දිවිමඟ යහපත් වේ. එමෙන්ම සිකුරු මණ්ඩලය සහ බුධ මණ්ඩලය යහපත් නම් එකිනෙකට වෙනස් ගතිගුණ ඇති මණ්ඩල දෙකක් බැවින් සිකුරුගේ කලාව දක්ෂතාවයට එකතු කරමින් කලාව මුදල් ඉපයීමට යොදා ගැනීම සිදු වේ. තවද සිකුරු මණ්ඩලය සහ චන්ද්‍ර මණ්ඩලය බලවත් වීමෙන් සිකුරුගේ කලා නිර්මාණ බොහෝ දුරට යථාර්ථයෙන් ඈත් වේ. තම නිර්මාණ අන් අය අතර ජනප්‍රිය වීම ගැන එතරම් තැකීමක් නොකරන පිහිටීමකි. තවද කුජ මණ්ඩලය සහ සිකුරු මණ්ඩලය යහපත්ව පිහිටා ඇත්නම් ආදර සම්බන්ධතාවලට කරදර ඇති වේ.

මේ ආකාරයට අත්ලේ ඇති මණ්ඩල, රේඛා සහ අනෙකුත් ලක්ෂණ මඟින් පුද්ගල චරිත ස්වභාවය ගැඹුරින් විමසීමට ලක්කළ හැකිය. සොබා දිනිතිය අරමුණක් සහිතව අත්ල මත රේඛා පිහිටුවා තිබේ. මේ රේඛා කියවීමෙන් අනාගතයේ මතුවන දුෂ්කරතාවයන් සෑහෙන දුරට විසඳා යහපත් අතට යොමුකළ හැකිය. එම නිසා අපගේ සිතුවිලිවල සුබවාදී අසුබවාදී භාවය වටහාගෙන කටයුතු කිරිමෙන් අනාගතයේදී සාර්ථක ජීවිතයක් ගත කිරිමට අවකාශ සැලසෙනු ඇත.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.