යුගදිවිය අවුල් කරන ග්‍රහයෝ

මාර්තු 17, 2023

කෙනකුගේ කේන්ද්‍රයේ ලග්නයේ සෙනසුරු, රාහු, කේතු, අඟහරු යන ග්‍රහයන්ගෙන් කීප දෙනකු හෝ එක් ග්‍රහයකු සිටියත් ඔහුගේ හෝ ඇයගේ යුගදිවියේ මිහිර වැඩිකලක් නොපවතියි. එසේම කේන්ද්‍රයේ හත්වැන්නේ රාහු, කේතු, අඟහරු යන පාපියකු සිටීමද විවාහය අවුල්කර දමන ග්‍රහ පිහිටීමක් වෙයි.

සැපවත් පවුලක පරමාර්ථය වන්නේ පී‍්‍රතිය හා සොම්නස බවයි කාගේත් පිළිගැනීම. එය එසේ වන්නේ අප ඉපදුන මොහොතේ අහසේ උදාවී තිබුණ ග්‍රහ තාරකාවන්ගේ සුබ අසුබතාවයන් අනුවය. මෙම ග්‍රහයන් පිහිටා තිබුණ පිළිවෙළටයි අපි කේන්ද්‍රය කියල කියන්නේ. කේන්ද්‍රයක් තිබුණත් නැතත් ඡ්‍යෝතිෂයට පිටුපාන්න කිසිවෙකුටවත් බැහැ. උපන් මොහොතේ හැටියට කේන්දරය ඉබේම සැදී ඇත. ඒ අනුව උපතේ සිට මිය යන තුරාම සියල්ල අකුරට සිදුවනු ඇත.

 

විවාහය, කෙනෙකුගේ ජීවිතයේ වැදගත්ම සිදුවීමකි. එය අපේ දෙවැනි ඉපදීම ලෙසයි අපි සලකන්නේ. මේ අයුරින් වන විවාහය සාර්ථක හෝ අසාර්ථකවන්නේද කේන්ද්‍රයේ පිහිටි ග්‍රහයන්ගේ ශුභ අශුභතාවය අනුවමය. මේ අයුරින් විවාහයක් අසාර්ථකවීමට බලපාන ග්‍රහ සංයෝග ඡ්‍යෝතිෂයේ මේ අයුරින් දැක්වෙයි.

කේන්ද්‍රස්ථාන

කේන්ද්‍රයක් විවාහයක් පිළිබඳව පරික්ෂා කිරීමේදී හත්වැන්නත්, හත්වැන්නේ ත්‍රිකෝණ ස්ථානවූ තුන්වැන්නත්, එකොළොස්වැන්නත්, විශේෂයෙන් සැලකිල්ලට යොමුවිය යුතුය. එමෙන්ම දෙවැන්න හා අටවැන්නද මේ සඳහා විශේෂ බලපෑමක් කරයි. හත්වැන්නාධිපති එකොළොස්වැන්නේ සිටීම බහු විවාහ යෝගයක් ලෙස සැලකෙයි. මෙවැනි යෝගයක් ඇති පුද්ගලයෝ තම විවාහක බිරිඳගෙන් පමණක් සෑහීමකට පත් නොවන අතර, වෙනත් ස්ත්‍රීන්ගේ ඇසුරට පත්වෙයි. එමෙන්ම හත්වැන්න අධිපතියා බලවත් අශුභයකුවී එකොළොස්වැන්නේ සිටියදී අශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටිය වැටීමද විවාහය බිඳ වැටීමට හේතුවනු ඇත.

කෙනෙකුගේ කේන්ද්‍රයේ ලග්නයේ සෙනසුරු, රාහු, කේතු, අඟහරු යන ග්‍රහයින්ගෙන් කීප දෙනෙකු හෝ එක් ග්‍රහයකු සිටියත් ඔහුගේ හෝ ඇයගේ යුගදිවියේ මිහිර වැඩිකලක් නොපවතියි.

හත්වැන්න

එසේම කේන්ද්‍රයේ හත්වැන්නේ රාහු, කේතු, අඟහරු යන පාපියෙකු සිටීමද විවාහය අවුල්කර දමන ග්‍රහ පිහිටීමක් වෙයි. එසේම තවත් විවාහ දිවියට අශුභපල දෙන ග්‍රහ යෝගයක් නම් අඟහරු, ගුරු එකට හත්වැන්නේ සිටීමයි. කුජ, ගුරු හතේ සිටි අයගේ විවාහ ජීවිතය වර්ෂ ගණනකින් නොව මාස දින ගණනකින් හෝ බිඳ වැටීමට පුළුවන. චන්ද්‍රයා ධනුවේ සිටියදී හෝ ධනු ලග්නයෙන් ඉපදී හෝ සිටින අයගේ මිථුනයේ කුජ, සිකුරු සිටීමෙන්ද විවාහ කීපයක් වී යුගදිවියේ අවුල් තත්ත්වයක් ඇතිවේ. එසේම චන්ද්‍ර, රවි, කුජ යන ග්‍රහයන්ගෙන් කීපදෙනෙකු හෝ එක ග්‍රහයෙකු ධනුවේ සිටියොත් එයද විවාහ දිවියේ ප්‍රශ්න ඇති කරන්නකි.

කුජ, සිකුරු වෘෂභයේ වීමත්, එමෙන්ම ශනි, කුජ සප්තමයක් යෙදී තිබීමත් අධික කාමාධිකකම නිසා වරදේ බැදීමෙන් යුගදිවියේ අවුල් සහගත බවක් ඇති කරවයි. ලග්නයේ පාපියෙකු සිටියදී චන්ද්‍රයාත්, සිකුරාත් පාපීන් සමඟ සිටින තැනැත්තෙකු හෝ තැනැත්තියක සමඟ විවාහයට පත්වීමද පිරිහීමට හේතුවෙයි. ලෙඩ දුක් ඇතිවී මරණයට පත්වීමට ද හේතුවිය හැකිය.

කුජ බලපෑම

කුජ හත්වැන්නේ සිටීමද විවාහයට යහපත් පිහිටීමක් නොවේ. බොහෝවිට නියම වයසට කලින් විවාහ ජීවිතයට ඇතුළත් වේ. ඔවුන්ගේ ජීවිත පසුබිමද හොඳ නැත. තමන් උපයාගත් වස්තුව හා ධනයද නාස්ති කර ගනී. එවැන්නන් සමඟ යුගදිවි ගත කිරීම පහසු නොවේ. ගුරු, ශුක්‍ර ආදි සුබ දෘෂ්ටියක් නොලැබ කුජ හතේ නීචව දුර්වල අවස්ථාවක සිටියොත් දික්කසාදවීමට හෝ වෙන්වීමට හෝ අනෙකාගේ මරණයට පවා හේතුවෙයි. ස්ත්‍රීන්ගේ කේන්ද්‍රයේ හතේ කුජට වඩා පුරුෂයින්ගේ කේන්ද්‍රයේ හතේ කුජ අශුභ පැත්තට බලවත් වෙයි. මහජන විරෝධතාවලට පවා මුහුණපෑමට සිදුවෙයි. රෝගී ද වෙයි. පුරුෂයාගේ හතේ කුජ ස්ත්‍රිය මැරීමට පවා සිත් යොමු කරයි.

කුජ කටකයේ වීමද විවාහයට එතරම් සුබ නොවේ. නිතර දෙදෙනා අතර, වාද විවාද ඇතිවෙයි. ගෘහ ජීවිතය පවත්වාගෙනයාමට බොහෝ කරදර විඳීමට සිදුවේ. ජීවිතයේ පසු කාලය ඉතා දුක් කරදර සහිත වෙයි. දෙවෙනි දෙර්කාණයේ නම් පේ‍්‍රම සම්බන්ධතා අධික වේ. තුන්වෙනි දෙර්කාණයේ නම් සමාදානයට පි‍්‍රයවේ. කුජ වෘෂභයේ සිටින අය අධික කාමාශාවෙන් යුතු අය වෙති. තරුණ වයසේදීම විවාහ දිවියට ඇතුළත් වෙති. පේ‍්‍රම සම්බන්ධතා තුළින් නොයෙකුත් කරදර ඇතිකර ගනිති. නෑදෑයින් පවා විරුද්ධ කර ගනී. නඩුමගට බසින්නට වුවමනා කරුණ තමන් විසින්ම ඇතිකර ගනියි. සමාජය සල්ලාලයකුසේ සලකයි. මොවුන්ගේ විවාහ ජීවිතයද අසාර්ථක වෙයි. අවසානයේ දරුණු විපත්වලට පවා ගොදුරුවීමට හේතුවේ.

ශනි බලපෑම

ශනි කටකයේ සිටීමද විවාහ ජීවිතයෙන් තෘප්තියට පත්නොවී මානසික පීඩාවට ලක්වීමට හේතුවක් වෙයි. මේ නිසා ගෘහ ජීවිතයේ නිතර කරදර හා වියවුල් ඇතිවෙයි. අනියම් සම්බන්ධවලින් දුක් කරදර හා පාඩුද ඇතිකර ගනී. ලැබෙන දරුවන් පවා නිතර රෝගී වෙති. විවාහය සම්බන්ධ ස්ථානය වූ හත දුර්වලනම් විවාහයෙන් අවනම්බු විඳීමටද සිදුවේ. ජීවිතයේ අවසාන භාගය යහතින් ගත නොවේ. මෙවැන්නන්ට ගිහි ජීවිතයට වඩා තපස් ජීවිතය යහපත් වෙයි.

ශනි මංගල යෝගය

කේන්ද්‍රයක ශනි මංගල යෝගයද විවාහයට අසුබ ඵලදෙන පිහිටීමක් වෙයි. ශනි මංගල යෝගය යනු කේනන්ද්‍රයේ කොතනක හෝ ශනි හෙවත් සෙනසුරු කුජ හෙවත් අඟහරු සමඟ සංයෝගව සිටීම හෝ සප්තවම සිටීමයි. මෙම සංයෝගය විවාහ අපේක්ෂිත දෙදෙනාගෙන් එක් අයෙකුගේ හෝ පිහිටීම අසුබ තත්ත්වයකි. දෘෂ්ටියකින් සම්බන්ධවීමද මෙම යෝගයට අයත් වෙයි. ශනි, කුජ දෙදෙනා විරුද්ධ ගති ගුණ ඇති නිසා මෙම ග්‍රහයින් දෙදෙනාගේ සංයෝගය ඔවුන්ගේ විවාහයට බොහෝ බාධාවක් වෙයි. මේ නිසා අසමගිය, හැරයාම, වැන්දඹුවීම, දික්කසාදවීම ආදියට හේතුවේ. එක් කේන්ද්‍රයක ශනි, මංගල යෝගය පිහිටා අනෙක් කේන්ද්‍රයේ එම යෝගය භංගවීමට අවශ්‍ය ග්‍රහ පිහිටීම නොතිබුණොත් රජ පවුලක වුවත් එම විවාහය බොහෝවිට අසාර්ථකවීමට හේතුවනු ඇත.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.