වර්ෂ 2025 ක්වූ February 14 වැනිදා Friday
අමරණීය ආදරයකට හේතු දුසිමක්
ආදරය යන්න හැගීමකට පමණක් සීමා වූවක් නොවේ. එය බුද්ධිමත්ව ගත යුතු තීරණයකි. වර්තමානයේ බොහෝ දෙනා ආදරය නිර්වචනය කරනුයේ රූපය, මිල මුදල්, රාගය වැනි කාරණා මත සිටගෙනය. එහෙත් පිවිතුරු ආදරය ඉන් ඔබ්බට ගිය එකකි. ආදරය පිළිබඳ විවිධ මත තිබුණද ලෞකික ජීවිතයට අවශ්‍ය ආදරය ගැන සිතුවහොත් " සප්තහරියා සූත්‍රය හා නකුල මාතා පිතූ සූත්‍රයේ" ඇති අන්තර්ගතය සලකා බැලීමේදී දැහැමි ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාර වනු ඇති බව ගම්‍ය වේ. සත්‍ය ආදරය ගැන කතා කරන විට සිදුහත් කුමරා හා යශෝදරා දේවිය බෞද්ධ සාහිත්‍යයේ මූලිකම තැන ගනී. ආදරණීයයන්ට වැදගත් පෙබරවාරියේ ආදරය හා සබඳතා පවත්වා ගැනීම පිළිබඳ අපූරු සෙන් කතාවක් සිහියට නැඟේ.
එක්තරා දිනෙක මහා කලබලයකින් යුතුව යුවළක් ඔවුන්ගේ නිවෙස අසල ඇති සෙන් ආරාමයට ගියහ. නිරතුරුවම රණ්ඩු දබර නිසා අවුල් වූ පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට සෙන් භික්ෂුවක් හමුවීම මොවුන්ගේ අරමුණයි. මේ දෙදෙනා දුටු වයසක ප්‍රඥාවන්ත සෙන් භික්ෂුන්වහන්සේ දෙදෙනාටම මඳක් නිවී සැනසෙන්නට ඉඩ ලබා දුන්සේක. "දෙදෙනාම බොහෝ ගැටලු, ප්‍රශ්න මතින් මේ සම්බන්ධය ගෙන යන බව මට වැටහෙනවා. මම මේ පවසනා ගුණාංග කිහිපය ඔබ දෙපළ විසින් අනිවාර්යනේම පිළිපදින්නේ නම් ඔබ දෙදෙනාටම ආදරය, සතුට, සාර්ථකත්වය ඔබ කරා නිරතුරුවම පැමිණෙනවා නිසැකයි." සෙන් භික්ෂුව පැවසූහ. " පළමුව ඔබ දෙපළ හොඳීන් සන්නිවේදනය කරගත යුතුයි. දෙවැන්න ඔබ දෙදෙනාගෙ හොඳ නරක පිළිබඳව කතා කරමින් අදහස් හුවමාරු කරගත යුතුයි. එහිදී තම තමාගේ අඩුපාඩු සකසා ගන්නට වග බලාගන්න ඕනේ. තුන්වැන්න තමයි දෙන්නා අතර හොඳ විශ්වාසයක් තබා ගැනීම.
හතරවැන්න නම් අවංක භාවයයි. හොර බොරු තමාගේ ආදරය වෙනුවෙන් නොකළ යුතුය. පස්වැන්න නම් එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීමයි. එනම් ස්වාමියාට කරදරයක් නම් බිරිඳ ශක්තිමත්ව සිටිය යුතු අතර බිරිඳට කරදරයක් නම් ස්වාමියා ශක්තිමත්ව සිටිය යුතුයි. හයවැන්න නම් දෙදෙනාට දෙදෙනා වෙනුවෙන් ගත කිරීමට කාලය සකසා ගත යුතුයි. එවිට දෙන්නා අතර ඇති සමීප බව වැඩි වෙනවා. හත්වැන්න නම් අතීතය අත්හැරීමයි. අතීතය වෙනුවෙන් වාද නොකර දෙදෙනාම වර්තමානයේ සතුටින් ජීවත් වෙමින් හොඳ අනාගතයක් ගොඩනැගීමට වගබලා ගන්න. එවිට ඔබට නොදැනීම පවුල් ජීවිතය දියුණුව කරා රැගෙන යාමට හැකියි. අටවැන්න නම් දෙන්නාට දෙන්නා තර්ක කළත් එයින් අවසානයේ එකඟතාවයකට පැමිණීමයි. තර්ක කරමින් පමණක් සිටීමෙන් තව තවත් ගැටලු වැඩිවීම පමණක් සිදුවන නිසා ඕනෑම දෙයක අවසානයේ එකගතාවක් ඇති කරගන්න. නමවැන්න නම් අද දවසට අදාළ දේ අදම ඉවර කර ගැනීමයි. එය හෙටට කල් නොදමන්න ඔබ වගබලාගන්න. දසවැන්න නම් දෙදෙනාට දෙදෙනාගේ අඩුපාඩු පෙනේ නම් ඒවා ආදරයෙන් කියා දෙන්න. ඒවාට රණ්ඩු නොකරන්න. නැවත නොවන පරිදි සිටීමට වගබලා ගත යුතුයි. එකොළොස්වැන්න නම් දෙන්නාට දෙන්නා නැතුවම බැරි හොඳ යහළුවන් වන්න. දුකට සැපට ඕනෑම දෙයක් පවසමින් සැනසීම ලබා ගන්නට, මනසට සැනසීමක් ළඟා කරගන්නට ඔබ බිරිඳටත් බිරිඳ ස්වාමියාටත් හොඳම මිත්‍රයා ලෙස සිටින්න. එවිට ඉතා විවෘතව ඔබදෙදෙනාට ඕනෑම දෙයක් කතා කිරීමට, අදහස් හුවමාරු කර ගැනීමට හැකිවනු ඇති. දොළොස්වැන්න නම් දෙදෙනාම දෙදෙනාට අසීමාන්තිකව ආදරය කිරීමයි. අමාරු කාල තුළද සීමාවන් රහිතව ආදරය කරන්නට උත්සාහ ගන්න. ඉතින් දරුවනේ මම මේ කිව්ව සරල ගුණාංග දොළහා ඔබ දෙපළට මේ මොහොතේ සිට වඩා ගන්න පුළුවන් නම් ඔයාලටම තේරෙයි පවුල් ජීවිතය ඉතා යහපත්ව ගැටලු අවමව සතුටින් ගත කරනවා නේද කියලා. ඉතින් මේ සරල කාරණා කිහිපය හිතට ගන්න. එවිට ඔබ දෙපළගේ ආදරබර ජීවිතේ මේ ලෝකයේ තිබෙන සුන්දරම ලස්සනම ආදර කතාවන් ගොන්නට එකතුවීම කිසිවෙකුට නැවැත්විය නොහැකියි. මේ සෙන් භික්ෂුව ආදරය සම්බන්ධයෙන් ලබා දුන් උපදෙස් හොඳින් සිතට ගෙන ඒ යුවළ සෙන් ආරාමයෙන් පිටවූයේ මනස සුවපත් කරගෙනය. ඔබේ ආදර කතාවත් ගෙවෙන්නේ ඒ අයුරින්ද? නැත්නම් මේ සරල ගුණාංග දුසිම ප්‍රයෝජනයට ගෙන බලන්න. ඔබට යහපතක් උදාවනු ඇත.