වර්ෂ 2025 ක්වූ February 14 වැනිදා Friday
පිරිමින් රැවටෙන සිවුසැට මායම්
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/32_31.jpg?itok=iYxE0L8P)
සිසි වන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර තන
දිස රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන
(සැළලිහිණි සංදේශය)
සමස්ත මනුෂ්‍ය සංහතියේම අසහාය නිමැවුමට හිමි ස්ථානය ලැබෙනුයේ කාන්තාව හටය. එනමුත් අතීත හින්දු වෛදික සාහිත්‍යට අයත් බ්‍රාහ්මණ සමය වන ක්‍රි :පූ 1500 සිට 1700 දක්වා කාල වකවානුවෙහි භාරත දේශයෙහි ස්ත්‍රී පුරුෂ භේදය තදින් වැඩිව පුරුෂාධිපත්‍යය හිස ඔසවන්නට විය. බ්‍රාහ්මණයන් විසින් කාන්තාව පුරුෂයාගේ වහලියකු සේම අවශ්‍ය පරිදි පුරුෂයා හට හැසිරවිය හැකි භාණ්ඩයක් ලෙස ද නම්කොට තිබිණ.
එමඟින් ස්ත්‍රිය සමාජයේ අඩු සැලකිල්ලකට භාජනය වූ අතර අධ්‍යාපනය, රුචි තීරණ ගැනීමේ අයිතිවාසිකම ආදියට පවා වරම් නොලැබුණ බව සාහිත්‍ය අධ්‍යයනයේදී පෙනී යයි. එමෙන්ම ස්ත්‍රිය මායාවක් ලෙස හා ධන හානිය ගෙන දෙන රාක්ෂියක ලෙසද ව්‍යාසකාරය නම් බ්‍රාහ්මණ කෘතියෙහි දිසේ.
“දර්ශනං චිත්ත වෛකල්‍යං
ස්පර්ශං ධන නාශනං
ශයනං මරණං කූර්‍යාත්
ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී”
ක්‍රි:පූ හයවැනි සියවසේදී මෙසේ ස්ත්‍රිය පීඩාවට පත්ව සිටි වකවානුව තුළ ලොව පහළ වූ ගෞතම බුදුන්වහන්සේ අදින් වසර දෙදහස් හයසීයකට පෙර කාන්තා නිදහස වෙනුවෙන් හඬනැඟීම සඳහා ඉදිරිපත්වූ සේක.
“ඉත්ථි භණ්ඩාන මුත්තමං...” පුරුෂයකු සතු වටිනාම සවිඥානක සම්පත තම බිරිඳ බවත් “යාවකීවඤ්ච ලිච්ඡවි වජ්ජියා තා කුලත්ථියෝ කුල කුමාරියෝ තා... නො පරිහානි...” යනුවෙන් කුල ස්ත්‍රීන්ට හා කුමාරිකාවන් උසස් ලෙස සලකන තාක් තමාගේ හා රාජ්‍යයේ පරිහානිය නොවන බවද ලිච්ඡවී රජදරුවන්ට පෙන්වාදී ඇත. එමෙන්ම කාන්තාව හා පුරුෂයා වෙනස් වනුයේ ලිංග භේදයෙන් පමණක් බවත් ඇයටද නිර්වාණය සාක්ෂාත් කරගත හැකිබවත් සඳහන් බොහෝ බුද්ධ දේශනාවන් ත්‍රිපිටකය පුරා දක්නට ලැබේ.
ඒ අතර පුරුෂ බන්ධන නම් සූත්‍ර දේශනාව තුළ පුරුෂයකු විසින් ස්ත්‍රියක හට වසඟ වන කාරණාවන් ලෙස රූපය, සිනහව , කතාව, හැඬුම, බාහිර ස්වරූපය, තුටුපඬුරු දීම, ස්පර්ශය ආදිය දක්වා ඇත.
ත්‍රිපිටකයෙහි පමණක් නොව ස්ත්‍රී දේහ සහ චරිත ලක්ෂණ ගැන අපූර්ව වර්ණනා සිංහල සාහිත්‍යය තුළ ද දුර්ලභ නොවේ. නාරි දේහයේ සුන්දරත්වය සහ ඔවුන්ගේ චරිතාංග ගැන කියවෙන ගද්‍ය, පද්‍ය රචනා මෙන්ම විවිධ කතා බොහොමයක් කුඩා කල සිට අප හැම දෙනාගේ කන වැකී ඇතිබව නොරහසකි.
සිසිවන උවන කවියෙන් දක්වන ලද්දේ ඒ අතරින් කෝට්ටේ යුගයෙහි වැඩසිටි සුප්‍රකට කවියකු වන රාජගුරු, ෂඩ්භාෂාපරමේශ්වර, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් රසැයූ සැළලිහිණි සංදේශයේ චිරප්‍රසිද්ධ කවියකි.
මෑත යුගයේ බිහි වූ සිංහල ගීත නිර්මාණයන් තුළ ද විශිෂ්ට ලෙස කාන්තා දේහය, ආදරය, රාගය ගැන වර්ණනා මෙන්ම ඔවුන්ගේ චරිත ලක්ෂණ හේතුවෙන් සොම්නසට මෙන්ම දොම්නසට පත් පුරුෂයන් ගැන ද සඳහන් කර තිබෙනු දක්නට හැකිය.
“සඳෙහි ලප තියේ.. මලෙහි කටු තියේ.. උපමා නෑ සසඳන්නේ.. ඔබේ නම ආදරේ..”
“ඔබේ සිනා මුව මඬලට මං හරි ආසයි...”
“සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යළි දකින තුරා......
රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඬ යළි මගෙ සවනත වැකෙන තුරා....”
“මලක් වුණේ ඇයි නුඹ මට.. ජීවිතයට සුවඳ සලන.. එනමුදු සිප ගන්නට තහනම්...”
“සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම......”
කෙසේ වුවත්, කාන්තාවන්ට උපතින්ම අන් අය වසඟ කර ගැනීමේ හැකියාවක් ඇතැයි සම්ප්‍රදායික සමාජයේ ද මතයක් පවතින අතර, කාන්තාවන් ද ස්වභාවධර්මයෙන් ලැබී ඇති ගති ලක්ෂණවලට වඩා වැඩි යමකින් තමන් වෙත අවධානය ලබා ගැනීමට උත්සහ කරන බව බොහෝ දෙනා පවසති.
මේ චර්යා රටා ‘ස්ත්‍රී මායම්’ ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳීන්වේ. එවැනි මායම් හැට හතරක් පවතින බව ඉපැරණි ග්‍රන්ථ සහ ලියවිලි තුළ දක්නට ලැබේ.
හැට හතර මායම්
1. නෙතඟින් බැලීම
2. ඇස් කරකැවීම/ ඇස් නැටවීම
3. ඇස් පියවීම.
4. ඇස් නෙරා බැලීම.
5. ඇස් සම්පූර්ණයෙන් වැසීම.
6. ඇස් අඩක් වැසීම.
7. වරින් වර බැලීම.
8. වෙනතක් බලා සිටීම.
9. යමක් සිඹීම.
10. නාසය අකුලා ගැනීම
11. සුසුම් ලෑම.
12. තොල පිට පෙරළා සිනාසීම.
13. කට කොනට නඟා සිනා සීම.
14. කොක්‌හඬලා සිනාසීම
15. තොලින් තොල හැපීම
16. රෙද්ද ලිහා නැවත ඇඳීම.
17. දිව දික් කිරීම.
18. දිව විකා පෙන්වීම.
19. දිව නැටවීම
20. කෑරීම.
21. බොරු කැස්‌ස.
22. පැලඳ සිටින ආභරණ වරින් වර ඇල්ලීම.
23. හුරු අත වැනීම.
24. බඩ අත ගෑම (හේතුවක් නැතිව)
25. අත් කැසීම (හේතුවක් නැතිව)
26. පය කැසීම (හේතුවක් නැතිව)
27. දොරකඩ රැක සිටීම.
28. අත් දෙක බැඳගෙන ළතාවට සිටීම.
29. දෙපා බරකර යැම.
30. පයින් ඉරි ඇඳීම.
31. පයින් පය ගැටීම.
32. අවයව පෙනෙන ලෙස සිටීම.
33. අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම.
34. අවයව පෙනෙන ලෙස නිදා ගැනීම.
35. හේතුවක් නොමැතිව අවේලාවේ නිදා ගැනීම.
36. ළයෙහි අත තැබීම.
37. කතා නොකර සිටීම.
38. දෙපා විහිදාගෙන සිටීම.
39. උඩ බලාගෙන සිටීම.
40. කර බාගෙන සිටීම.
41. නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම.
42. බොළඳ ලෙස කථා කිරීම.
43. ඉඟටිය නැටවීම.
44. මදක් නැමී බැලීම.
45. උරහිස නැටවීම.
46. පියයුරු තද කර ඇඳීම.
47. පයෝධර නැටවීම.
48. දුවගොස් ගෙට වැදීම.
49. දොර කවුළු ආදියෙන් එබී බැලීම.
50. බොරුවට ඈනුම් ඇරීම.
51. කොණ්‌ඩය ලිහාගෙන යෑම.
52. මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස් වැටිය අතරින් බැලීම.)
53. වස්‌ත්‍රයේ කොනක් අල්ලාගෙන යැම.
54. ශබ්ද කොට කතා කිරීම.
55. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම.
56. කෝප වූවකු මෙන් කතා කිරීම.
57. බුලත් සැපීමේ ගිජු බවක් දැක්‌වීම.
58. කවට වචන කතා කිරීම.
59. පිරිමින්ගේ අගුණ කීම.
60. බොරු නෑකම් කීම.
61. ස්‌ත්‍රීන්ගේ අගුණ කීම.
62. බොරු ක්‌ලාන්ත ගතියක් දැක්‌වීම.
63. විසිතුරු දෙයක් දෙස බලා වඩා කුතුහලක් දැක්‌වීම.
64. ඉතා සුළු දෙයටත් බොහෝ බියවූවා සේ පෙන්වීම.
ඡ්‍යොතිෂ් රත්න (ඉන්දියා), වාස්තු විශාරද්, සාමුද්‍රික ශාස්ත්‍රඥ, අධ්‍යාපනවේදී,
රාජකීය පණ්ඩිත
වැලිආරගොඩ රාහුල හිමි