සෙනෙහසේ වාස්තු දුකක් නොදුන් සෙනසුරු ඒරාෂ්ටක

පෙබරවාරි 14, 2025

අද දිනයේ දී බලාපොරොත්තු වන්නේ මුළු රටම දන්නා තවත් සුවිශේෂී චරිතයක් පිළිබඳව කතාබහ කරන්නටය. ඔහුගේ KMPH 32 කෙටි කවි ශතකය ළඟදී එළි දකින්නට නියමිතය.

ඒ අන් කිසිවෙකුත් නොව චිත්‍රපට සහ වේදිකාවේ රංගන ශිල්පියෙකු ලෙසද, ගීත රචකයෙකු ලෙසද, රූපවාහිනී නිවේදකයෙකු ලෙස ග්‍රන්ථ කතුවරයෙකු ලෙසද, ජනමාධ්‍යවේදියෙකු ලෙසද ක්ෂේත්‍ර ගණනාවක් තුළ කැපී පෙනෙන චරිතයක් වන වසන්ත දුග්ගන්නාරාළ කලාකරුවාය.

දුග්ගන්නාරාළ 1969 වසරෙහි දෙසැම්බර් 10 වන දා මීන ලග්නයෙන් උත්පත්තිය ලබා ඇති අතර ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහන මෙහි දැක්වේ.

මේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ රවි ග්‍රහයා දෙපස සුබ ග්‍රහයන් පිහිටා තිබීම, රාජ යෝගයක් හා සමාන බලගතු පිහිටීමකි. බුධ 10 වැන්නෙහි පිහිටීම, සන්නිවේදකයකු ලෙසද, මාධ්‍යවේදියකු ලෙසද ජනප්‍රියත්වය ඇති කරවන පිහිටීමකි. තවද මේ කේන්ද්‍ර සටහන තුළ පවතින අර්ධ ධර්මකර්මාධිපති රාජ යෝගයද, අර්ධ සිංහාසන යෝගයද අනුව මේ කලාකරුවාට ආ ගිය තැන ඉහළ පිළිගැනීමක් ලැබෙන බව පෙනේ. යුරේනස් සහ ගුරු යාබද රාශිවල පිහිටීමට අනුව, මොහුට අසාමාන්‍ය චරිත ලක්ෂණ තිබෙන බව පෙන්නුම් කරන අතර, රවි 9 වැනි භාවය තුළ පිහිටීම මහත් ප්‍රසිද්ධ චරිතයක් බවටද පත්වීමටද, ගුරු සහ ශනි සප්තම වීමට අනුව, පිරිස් බලයක් ලබන්නටද වාසනා ගුණය ලැබී ඇත. එමෙන්ම, ශනි සහ කේතු පිහිටීමට අනුව රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි විද්‍යුත් මාධ්‍යවලට ඉතා පහසුවෙන් සම්බන්ධවීමට දුග්ගන්නාරාළයන්ට ලැබී ඇත.

වසන්ත දුග්ගන්නාරාළ මහතා ප්‍රථම වරට ක්ෂේත්‍රයට පිවිස ඇති 1995 වසර වන විට ශනි ග්‍රහයා කුම්භ සහ මීන රාශි මතින් ගමන් කරමින් සිටි අතර ඒ අනුව ඒ මොහොත වන විට ඒ මහතා අති ප්‍රබල ලග්න ඒරාෂ්ටකයක් ගත කරමින් සිට ඇති බව පෙනේ. මීට අමතර ලෙස 1996 වසරේ දුග්ගන්නාරාළ මහතා තම ප්‍රථම රූපවාහිනී ආගමනය ලෙස ස්වර්ණවාහිනියේ වැඩසටහනක් මෙහෙයවීම ආරම්භ කරන විටද ශනි ග්‍රහයා මීන රාශිය තුළින් ගමන් කරමින් තිබුණි. එනම් ඒ වන විට ඒ මහතාට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇත. එමෙන්ම දුග්ගන්නාරාළ ‘පවන’ ගුවන් විදුලිය තුළින් මුල් වරට 1995 දී ගුවන්විදුලි ආගමනය ලබන විටද ඔහුට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අදියර ගත වෙමින් තිබී ඇති බව පෙනේ.

වසන්ත දුග්ගන්නාරාළ මහතා සිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කර ඇත්තේ 1989 වසරේදීය. ඒ වන විට ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා මතින් ශනි ගමන් කරමින් සිට ඇති බව පෙනේ. එනම් ඒ මොහොත වන විට වසන්ත දුග්ගන්නාරාළට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ. එසේනම් තදබල ඒරාෂ්ටක කාල වකවානුවලදී අසුබ ප්‍රතිපල පමණක්ම ලැබෙන්නේ යැයි පවසන්නේ කෙසේද?

1998 වසරේදී වසන්ත දුග්ගන්නාරාළ ‘ජුලියට්ගේ භූමිකාව ' චිත්‍රපටය තුළින් ජීවිතයේ ප්‍රථම වරට සිනමා රංගන ශිල්පියකු ලෙස කටයුතු කරද්දී ශනි ග්‍රහයා ‘මීන’ සහ ‘මේෂ’ රාශි තුළ ගමන් කර ඇති බව පෙනේ. එනම් ඒ වන විටද මේ කලාකරුවාට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇත. වසන්ත දුග්ගන්නාරාළ විසින් 2019 වසරේදී ‘තිත්ත ඇත්ත’ චිත්‍රපටය සඳහාද, 2020 වසරේදී ‘නිම් හිම්’ චිත්‍රපටය සඳහා ද ගීත රචනයෙන් දායක වී ඇති අතර ඒ වන විට ශනි ග්‍රහයා, ධනු සහ මකර රාශි තුළින් ගමන් කරමින් තිබී ඇත. එනම් එම වටිනා අවස්ථාව ලැබෙන විට මේ අතිදක්ෂ කලකරුවාට අතිප්‍රබල ජන්ම ඒරාෂ්ටකයක් ගතවෙමින් තිබී ඇති බව පෙනේ.

2016 වසර තුළ, වසන්ත දුග්ගන්නාරාළ කෘතීන් දෙකක් රචනා කර ඇති බව පෙනේ. ඉන් එක් කෘතියක් කලා කෘතියක් වන අතර අනෙක් කෘතිය ඒ මහතාගේ ස්වයං චරිතාපදාන ග්‍රන්ථයක් වන “ඌ තමයි පුතා” ග්‍රන්ථයයි. මෙහි විශේෂත්වය වන්නේ 2016 වසර වන විට ශනි ග්‍රහයා වෘශ්චික රාශිය තුළින් ගෝචර වෙමින් පැවතීමය. ඒ අනුව, ඔහු තම ජීවිතයේ ඉතා සුවිශේෂී කෘති රචනා කරන මොහොත වන විට ජන්ම ඒරාෂ්ටකයේ පළමු අදියර ගත කරමින් සිට ඇති බව, ඡ්‍යොතිෂය පිළිබඳව සුළු දැනුමක් ඇති අයකුට වුවද පහසුවෙන් වටහා ගත හැකි වනු ඇත. 2016 වසරෙහි අප්‍රේල් 2 වැනිදා මේ සුවිශේෂී කලාකරුවාගේ මාධ්‍ය ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් නෙළුම් පොකුණ රඟහලේ ‘දුකා’ නමින් සංදර්ශනයක් පවත්වන විටද ශනි ග්‍රහයා වෘශ්චික රාශිය තුළින් ගමන් කරමින් ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වෙමින් තිබී ඇති බව පෙනේ. 1996 වසරේදී, දුකාගේ “මං සිංහයට බයයි නංගියේ’ නම් වූ ජනපි‍්‍රය සින්දුව රචනා කරන විට ශනි ග්‍රහයා මීන රාශිය මතින් ගමන් කරමින් ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අදියර ගත වෙමින් තිබී ඇත. කෙසේ වෙතත් වසන්ත දුග්ගන්නාරාළ මහතාගේ විවාහය සහ දරු උපත් පිළිබඳ පැවසූ තොරතුරුවලට අනුව, එම සුවිශේෂී සිදුවීම් සිදු වූ කාලවකවානුවල තදබල ඒරාෂ්ටක ගත වී නොමැති බව පෙනේ. මෙයින් පෙනී යන්නේ ජිවිතයේ සෑම සුවිශේෂී සිදුවීමක්ම ඒරාෂ්ටක කාල වකවානුවලම සිදු නොවන බවය.

වසන්ත දුග්ගන්නාරාළ මහතා 2025 වසරෙහි ජනවාරි 20 වැනිදා ඉතා සුවිශේෂී කටයුත්තක් දියත් කිරීමට සූදානම්ව සිටියි. ඒ ඔහුගේ KMPH 32 කෙටි කවි ශතකය කෘතිය එළිදැක්වීමය. මෙහි විශේෂත්වය වන්නේ වසන්ත දුග්ගන්නාරාළ මහතාට මේ වන විට ලග්න ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වීමත්, 2025 වසරෙහි මාර්තු 29 වනදා සිට ඒ මහතාට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ආරම්භ වීමත්ය. ඒ අනුව ඔහුට , 2025 වසරෙහි මාර්තු 29 වැනිදාත්, 2027 වසරෙහි ජුනි 3 වැනිදාත් අතර කාලසීමාව තුළද 2027 වසරෙහි ඔක්තෝබර් 21 වැනිදාත්, 2028 වසරෙහි පෙබරවාරි 28 වැනිදාත් අතර කාලසීමාව තුළ ද ලග්න ඒරාෂ්ටකයේ උච්චචතම අදියර ගතවීමට නියමිතය. එම කාල වකවානුව තුළ ඒ මහතාට විශාල අභියෝග සහ බාධා මධ්‍යයේ විශාල ජයග්‍රහණ පෙන්නුම් කෙරේ. එමෙන්ම ඉහත කාල වකවානුව තුල දුග්ගන්නාරාළ මහතාගේ ප්‍රසිද්ධිය තව දුරටත් ඉහළ යාමට ඉඩ ඇති අතර අලුත් වෘත්තීමය කටයුතු කෙරෙහි අවධානය යොමු වීමටද ඉඩ ඇත. කෙසේ වෙතත් ඉහත කී තදබල ඒරාෂ්ටක කාල සීමාව තුළ ඔහු අනතුරු පිළිබඳවද, අසනීප පිළිබඳවද, රැවටිලිවලට හසුවීම පිළිබඳවද සොරසතුරු උපද්‍රව පිළිබඳවද වෙනදාට වඩා විමසිලිමත් වීම නුවණට හුරුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.