වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
දිව්‍ය ලෝකයට පාවඩ එළූ ආතා
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/60_3.jpg?itok=NddvHbdH)
කුඩා සන්දියේදී ආනන්ද මෛත්‍රෙය හිමියන් “විලියම්” නමින් හැඳින්වුව ද ගමේ ගේ දොර අවට පාත හැමෝම කතා කළේ “පුංචි මහත්තයා”......කියන ආදර වදනිනි. මෙතැන් පටන් නායක හිමියන්ගේම වචනයෙන් මේ ලිපිය සැරසීම වඩාත් මැනවැයි සිතමි.
“මගේ තාත්තට වැඩිමල් අයියා කෙනෙක් හිටියනේ. ඒ කියන්නේ මගේ ලොකු තාත්තා... එයා ඩිංගිරි හාමි. ගමේ අය නම් දෙනෙස්හාමි කියලත් කියනවා. එයා ගොවිතැන් බත් හරි හරියට කරන්න හපනා... අහල පහළ උන්දැලා කියන්නේ අපේ පැත්තෙ ගොවි රජා කියලයි.
මගේ තාත්තාගේ මව දකුණේ මාතර පැත්තෙ කෙනෙක්. තාත්තාගේ තාත්තා ඒ කියන්නේ මුත්තා හතර කෝරළේ කෙනෙක්... අම්මා බෙන්තර ආරච්චි පරපුරෙන් පැවත එන කෙනෙක්. සැදැහැවත් භක්තිමත් අවුරුදු විස්සක් පමණ ඇති තරුණ උපාසිකාවක්. ඇය ශි‍්‍රයා කාන්තාවක් වගේ කියලයි ගමේ අය කිව්වෙ.
අපේ ගෙදර පාසලට ආසන්න ඉඩමක් තිබුණ නිසාත්, බෝමළුවත් ආසන්නයේම වූ නිසාත් අපේ අම්මා හැමදාමත් උදේ, හවස බෝධින් වහන්සේ වඳින්න ගියාලු. බෝමළුව ඇමදීම කරල මල් පහන් එහෙමත් පූජා කරල ප්‍රාර්ථනා කළා කියන්නේ ‘මට මහණ කරන්න පුතකු ලැබෙන්න ඕනෑ’ කියන එකයි.
ඒ කාලේ අපේ ගෙදරට හැමදාම වගේ පිණ්ඩපාත වඩින ධූතාංගධාරි ඉතා සිල්වත් හිමිනමක් ඉඳල තියෙනවා. ඒ පලිපාන වලව්වෙන් මහණ වෙච්චි හාමුදුරු නමක්. ඉතින් අපේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියම අපේ අම්මා ඒ හාමුදුරුවන්ට ගේ ඇතුළට වඩින්න ආරාධනා කරල සුදු රෙද්දක් එහෙමත් එලලා ආසනයක වඩා හිඳුවල පිණ්ඩපාතේ පිළිගන්වල එතැනදීත් ප්‍රාර්ථනා කරන්නේ. මට මහණ කරන්න පුතකු ලැබෙන්න ඕනෑ කියලාලු.
ඒ කාලේදී මගේ තාත්තා හරිම සැඩ පරුෂ කෙනෙක්. කිසිම කෙනෙකුට ලෙහෙසියෙන් කීකරු කරන්න බැරි මහා දරුණු කෙනෙක්. ඒත් එයා අපේ අම්මාට නම් හොඳටම කීකරුයිලු. ඒත් අපේ අම්මා මීට හාත්පසින්ම වෙනස්. එයා අහිංසක කාරුණික තැනැත්තියක්.
අනික එදා අපේ තාත්තාට පුදුම ශරීර ශක්තියක් තිබිල තියෙන්නේ. දහයක්, දොළහක් ආවත් ඔක්කෝටම ගහල පන්නනවා. අපේ තාත්තාට, වැරැද්ද, අසාධාරණ ක්‍රියා පෙන්නන්න බැහැ නොවැ.
දවසක් වැරදි වැඩක් කරපු පොලීසියේ මහත්වරු කිහිප දෙනකුට එකවර එයා පහර දීල ඒ අයගේ නිල හිස්වැසුම පවා ගලවාගෙන විත් පුච්චලා දාලා එහෙම ගෙදර ආවලු. ඉතින් ඒකට ලොකු නඩුවකුත් තිබුණාලු. අසාධාරණයට විරුද්ධව කටයුතු කරපු එකට නඩුකාර උන්නාන්සේ ස්තුති කරල තියෙනවා. ඒත් පොලිස් නිලධාරින්ගේ හිස්වැසුම් ගිනිතැබීම රාජ්‍ය නීතියට පටහැණි ක්‍රියාවක් නිසා ඒකට රුපියල් පහක දඩයක් ගහල තියෙනවා.
“මට තාම මතකයි අවුරුදු හයේදී තමයි නැකැතට අකුරු කියෙව්වේ. ඒ කාලෙ ඒ පැත්තෙ හිටපු හොඳම නක්ෂත්‍ර බලන මනුෂ්‍යයා වුණු හීන්හාමි තමයි මට අකුරු කියවල තියෙන්නේ. අකුරු කියවන නැකත හැදුවෙත් උන්දැමයි.
හැබැයි මගේ උපන් වෙලාව අනුව කේන්දරය හැදුවේ නම් ‘පණ්ඩිතසේකර’ කියන අයකුයි. එයත් හරිම දක්ෂ දෛවඥ මහත්මයෙක්. එදා කේන්දරේ හදලා එය පුස්කොළවල ලියලත් දෙනවා.
“ඔහු කියලා තියෙනවා මේ උපන් වෙලාවෙ බලගතුකම හැටියට මේ කේන්දරය අයිති කෙනා ගිහි ජීවිතයේ හිටියොත් ප්‍රධාන නඩුකාර උන්නාන්සේ කෙනෙක් වෙනවා. බරපතළ පැවිදි යෝගයකුත් තියෙන නිසා පැවිදි වුණොත් රටේ බැබළෙන කීර්තිමත් නායක හාමුදුරු කෙනෙකු වනවා පමණක් නොවෙයි රටට, ලෝකයට ඉමහත් සේවයක් කරන උදාර චරිතයක් වන බව කියලා ලියලා තියෙනවා. අදත් ඒ පුස්කොළ කේන්දරේ බළන්ගොඩ පන්සලේ සුරක්ෂිතව තිබෙනවා.
වයස අවුරුදු 06 වන විට ගේ ළඟම ඇති කතෝලික පාසලට තමයි ‘විලියම්’ ගියේ. බළන්ගොඩ කිරිඳිගල පල්ලියකට අයත් පාසලක් එය. ගේ ළඟ නිසාමයි එයට ඇතුළත් කර තියෙන්නේ. ‘වොලින්’ කියන පූජකතුමා තමයි ඒ පල්ලියේ පාසල පාලනය කළේ. එතුමා හරිම කරුණාවන්තයි. ඒ ඉස්කෝලෙ ගිහි ගුරුවරුන් දෙදෙනෙක් හිටියා. මාස හයක් පමණ කාලයක් තමයි එහි ඉගෙනුම ලැබුයේ.
ඊට පස්සෙ පුංචි ‘විලියම්ව‘ බළන්ගොඩ රජයේ කුමාර විද්‍යාලයට යැව්වා. ඒත් ගෙදර ඉඳල කුමාර විද්‍යාලයට දුරයි. ඒ නිසා විලියම්ගේ පියාගේ තුඹගොඩ තියෙන වෙළෙඳ සලේ නවත්වල පාසල් යන්නට ඉඩ සැලැස්සුවා. ඒ ඉඳලත් සැතැපුමක් පමණ දුර පාසලට යන්නත් වෙනවා.
පුංචි විලියම්ට එය එතරම් පි‍්‍රයජනක තැනක් වුණෙන් නැහැ. මොකද දන්නවද එහෙම වුණේ...ඉස්සර ගමේ ළමයි කාණ්ඩෙ එක්ක ඉඳල පුරුදු වෙලා නෙ තිබුණේ... අනික... ගමේ වතුපිටිවල, පිට්ටනිවල, කුඹුරුවල හේන්වල දඟ පැනල සෙල්ලම් කරන්න තරම් නිදහසක් එහි කිසිසේත්ම තිබුණේ නැහැනේ... අනික පුංචි ‘විලියම්’ හුරු පුරුදු වෙලා තිබුණේ ගමේ නිසංසල පරිසරයට නේ. “බෝවිටියා දම් පළුකම් ... තිබුණු නිදහස සීමාවී තිබුණා... තවත් කුරුල්ලන්ගේ මිහිරි නාදය අසමින් සිටි පරිසරය හිටි හැටියේම මෙහෙම වෙනස් වෙනකොට එයාට ඇල්ලුවේම නැහැ. කඩේ ඉඳල වුණත් සැතපුමක් පමණ පයින් යන්නටත් සිදු වුණා. එයින් මෙයින් පුංචි මහත්තයාට නැතිනම් කුඩා විලියම්ට ඒ තැන එතරම් හිතට ඇල්ලුවේ නෑ.
කුමාර විදුහලට යට පැත්තට වන්නට විලියම්ගේ පියාට අයත් තවත් වෙළෙඳ සලක්ද තිබුණා. හැබැයි ඒක පාලනය කළේ ආතා කෙනෙකුයි, මාමා කෙනෙකුයි විසින්. ඒ ආතා නමින් හේරත් මුදියන්සේලාගේ බණ්ඩප්පුහාමියි. ඒ ආතා කලක් පැවිදි වෙලා ඉඳල සිවුරු හළ කෙනෙක්.
ඕන් ඉතින්. ඒ වෙළෙඳ සලේ කුඩා විලියම්ව නවත්ත ගත්තා. හැබැයි පාසලට එතන ඉඳල යන්න එන්න පහසුයි. ඒත් ඒ කාලේ පුංචි විලියම් තාත්තගේ ගති ලක්ෂණ උරුම වීමෙන් දෝ චණ්ඩපරුෂ ගති එමට තිබුණා. පාසලෙත් බොහොම දඟකාරයි. ඒ වගේම හරි හිතුවක්කාරයි. හැමදාම ළමයි සමඟ ගෝරි දා ගන්නවා. මෙහෙම මුරණ්ඩු ගති පැවතුම් නිසා ‘විලියම්ට’ පාසලේ පන්තියේ ළමයි බය බිරාන්තවයි හිටියේ.
ඒත් බලන්න පුදුමයක මහත: ඒ වෙළෙඳ සලේ ටික කාලයක් නතර වුණාට පස්සේ ආතගේ ආශ්‍රය නිසා විලියම්ගේ ප්‍රචණ්ඩත්වය ක්‍රමක්‍රමයෙන් අඩුවී නැතිවන්නට විය.
ඒ වෙළෙඳ සලේ මැද ශාලාවකුත් තිබුණා. හැමදාම රාත්‍රියට ආතත් සමඟ පුංචි විලියම් ගිනි කබලකුත් තියාගෙන ගිනි තපිනවා. ඒ අතර ආතා නොයෙක් කතාන්දර කියා දෙනවා. අවවාද කරනවා. පින් පව් කියා දෙනවා. ජීවත් විය යුතු විදිය කියාදෙනවා. ඒවා අහගෙන විලියම් ක්‍රම ක්‍රමයෙන් හොඳ තැන්පත් ශිෂ්‍ය නායකයකු බවට පත්වුණා. ගුරුවරුන්ටත්, එක පන්තියේ ඉගෙන ගන්නා ළමයින්ටත් මේ වෙනස හොඳින් වැටහුණා.
දවසක් ආතා මට කිව්වා, “සතුන් මරන්න එපා” “බොරු කියන්න එපා” “කාටවත් හිංසා පීඩා කරන්න එපා”.
“හොඳයි ආතෙ. ඒවා නොකර ඉන්න කොට මොකද වෙන්නේ?”
ආතා එකවරටම කිව්වා “ ඒවා නොකර හිටියොත් දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්” කියලා
මටත් නොදැනීම මම ඒ කතාවට පුදුමාකාර විදියට ඇලුම් කළා. ජාතිස්මරණ ඥානයක් එක්විට ආවාද යන්න හරියට කියන්න බැහැ. නමුත් මට දිව්‍ය ලෝකෙ යා යුතුම බව ඉතා තදින් සිතට ධාරණය වුණා.” දිව්‍ය ලෝකයේ සිට මම මෙහාට ඇවිල්ලද? කියල මටම සිතුණා. මෙතුවක් කල් මම කළ වැරදි අත්හරින්නට මම ආතාට පොරොන්දු වුණා. මම ඇත්තටම ඒ කාලේ දිව්‍යලෝකෙට ඇලුම් කළා. ඒ මම එහේ ඉඳල ආපු නිසාදෝ කියල පසුකලෙක මට සිතුණා.
හැමදාම ඉස්කොලෙදි පන්තියේ ළමයින්ට ගහල මහා ගෝරිදාගන්න “ප්‍රචණ්ඩ විලියම්’ ඒක සහමුලින්ම නතර කළා. තරහ වෙලා සිටිය යහළුවො නැවතත් කල්‍යාණ මිතුªරන් බවට පත්කර ගන්නට ආතාගේ ධාර්මික උපදෙස් පරිදි හැකියාව ලැබුණා.
අසාධාරණයකදී වුවත් වෙනදා වගේ පුංචි විලියම් අතපය ඉස්සර කර ගන්න ගියේ නැහැ. කරුණු කාරණා ඔවුන්ට තේරුම් කරලා ගැටුම් සමථයකට පත්කරගන්නා ආකාරය “ආතා” ගෙන් හොඳින් ඉගෙන ගත්තා. ආතාත් සමඟ සෑම පොහොයටම සිල්ගන්න. යන්නත් මම හුරුවුණා. මෙහෙම කාලයක් යනකොට මටම නොදැනී මා වෙනස් වෙලා.
මේ සියල්ලම ‘ආතා’ මට ඉතා ආදරයෙන් කියාදුන්න දහම් මඟට යොමු කිරීමත් ‘දිව්‍යලෝකෙට පාවඩයක්’ මඟ විවර කිරීමක් දෝයි සිතුණා. මා මනු ලොවට බට කාරණාව ඉටු කළ යුතු යයි සිතුණා.
පුංචිම සන්දියේ අපේ අම්මාගේ ආදරණීය ඉල්ලීම ඉටුකළ යුතු යයි මා සිතුවා. ඒ වෙනත් කවරක්වත් නොව පැවිදි දිවියට පියමන් තැබීමටයි. කෙමෙන් ප්‍රවෘජ්ජාවට ඇති සොම්නස පුංචි විළියම්ගේ සිත කෙමෙන් වෙළාගත්තා දෝයි මම සිතුවා.
පුතෙක් ශාසනයට පූජා කළොත් හත්මුතු පරම්පරාවම නිවන් දකින්නේ යැයි යන අපේ අතීත මුතුන් මිත්තන්ගේ කියමන මේ “බෝධිසත්ව“ ප්‍රවෘජ්ජාව තුළ අන්තර්ගත වී ඇතැයි මට පසක් වුණා.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ