වීදි ගණිකාවක් ලෙසින් හමු වූ වෛරක්කාරිය

අද්භූත ගනුදෙනුකරුවා - 8 කොටස
පෙබරවාරි 14, 2025

මෙතෙක් කතාව

බරපතළ ලෙස දුප්පත්ව සිටින තරුණයකු වූ රූපට් ඔරේන්ජ් නැමැත්තා සමාජය තුළ මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් දිවි පෙවෙතකට හිමිකම් කියූවෙකි. එක්තරා ලේඛකයකු විසින් ඔහුගේ ජීවිත ඉරණම පිළිබඳ කතාන්තරය සොයා ගනී, දැන් ගලා යන්නේ එම කතාවය. එම කතාවට අනුව කෲර ඥාතිවරියක නිසා පාරට වැටුණු තරුණයකු වූ රූපට් ඔරේන්ජ් හට දිනක් අද්භූත මහලු මිනිසකු හමුවෙයි. ඔහු තරුණයාට ප්‍රකෝටිපතියකු වීමේ අපූරු ක්‍රමවේදයක් පැහැදිලි කරයි. ඒ අතර ලැබෙන ලියුමක ලිපිනයට යන රූපට් මහා ධනකූවේරයකු වීමට වරම් ලබයි. පොහොසත් ඔරේන්ජ් පිළිබඳ පුදුම සහගත වීරකතා සමාජයේ පැතිර යයි. සුඛෝපභෝගී දිවියක් ගෙවන රූපට් තමා දුප්පතකු කිරීමට හේතු වූ කාන්තාව සොයා යයි.

තමා බරපතළ ලෙස වෛර කළ මිනිසෙකුට මිදිය නොහැකි අයුරින් ආකර්ෂණය වීම උන්මත්තක ප්‍රහර්ෂයකි. එය අනිස් මැතිනියට තේරුම් ගත නොහැකි කරුණක් විය.

වේගවත් වූ හද ගැස්ම හේතුවෙන් ඇයගේ ළය මඬල වේගයෙන් උස් පහත් වන්නට පටන් ගත් අතර, මුහුණ රත් පැහැ ගැනිණි. ආදරය හෝ ප්‍රේමය යන සංවේදනා ඉක්මවා ගිය හැඟීමකින් මේ මිනිසාට යටත්ව දිවි ගෙවීමට ඇය බරපතළලෙස පෙළඹෙමින් සිටියාය. ඒ මිනිසා සතු දිව්‍යමය බලයට තමා සපුරාම යටත් වී අවසන් බව ඇයට දැනුණි.

මේ ආකාරයට ඔහුට සමීපව ඔහුගේ පාලනයට සිය ආත්මය බාර දීමේ දෛවෝපගත බලයකට ඇය ඉතා වේගයෙන් යටත් වෙමින් සිටියාය. අනුරාගයෙන් මුසපත් සරාගී සුරූපිණියගේ භාව ලීලාවලින් යුතුව සපාගත් දෙතොලින් යුතුව බිම බලාගෙන සිටි ඇය තව මොහොතකින් හිස ඔසවා ඔහු දෙසට නෙත් යොමු කළාය. එහෙත් තමා ඇතුළත ගිනි ගනිමින් තිබෙන කිසිදු ආවේගයක් පිටතට නොපෙන්වන්නට සමත් වූ ඇය අසාමාන්‍ය සන්සුන් බවකින් ඔහු දිනා ගැනීමේ වෑයමක යෙදුණාය.

“මා ඔබ එනවිට ඔපෙරාවක් බලන්නට යන්නයි සූදානම්ව සිටියේ, ඉතින්, රූපට් ඔබත් එනවාද මා සමඟ එහි යන්නට?”

කිව නොහැකි තරම් මිහිරි හඬකින් ඇය විමසුවාය. ඔහුගේ දෙඇසට යොමු වූ ඇගේ දෙඇසේ බොහෝ සුන්දර අපේක්ෂාවන් දිදුළමින් තිබෙනු රූපට්ට දැකගත හැකි විය.

“ඔබට පුළුවනි මා සමඟ අසුන්ගෙන එය නරඹන්නටත්”

ඇය ඊළඟට පැවසුවේ ඇසෙන නෑසෙන හඬකිනි. එම ස්වරය තුළ ගැබ්ව තිබුණේ උතුරා ගිය ශෘංගාරයකි.

“අනේ, ඔපෙරාවක් බලනවා කියන්නේ කම්මැළි වැඩක්නේද?” රූපට් පැවසුවේ තමාටම යැයි හැඟෙන ස්වරයකිනි. එහෙත් එය අනිස් මැතිනියට නොඇසුණේ ඒ මොහොතේ ඇය ළඟට පැමිණි සේවකයකු අස්රිය සූදානම් බව දැන්වූ හෙයිනි.

“ඉතින් රූපට් එහෙනම් ඔබත් මා සමඟ එනවා නේද?”

ඇය විමසුවේ ඔහුව විනිවිද යවන්නට සමත් නෙත් කැල්මකින් ඔහු දෙස බලමිනි.

“ඇත්තටම මට ඒකෙන් රසයක් ලැබෙයි කියල හිතෙන්නේ නෑ.”

රූපට් ඔරේන්ජ් පිළිතුරු දුන්නේ ඔහුටම ආවේණික ආකර්ෂණීය සිනාවද මුහුණේ රඳවා ගනිමිනි. සේවකයාට අස්රිය ආපසු යවන්නට අණ කළ අනිස් මැතිනිය රූපට් දෙස එක එල්ලේ බලා සිටියේ වචන බවට ගළපාගත නොහෙන බොහෝ දේ හිත තුළ පෙරළි කරමින් තිබියදීය. ඒ කිසිත් තේරුම් ගත නොහැකි වුණද, මේ අයස්කාන්ත ගැහැනියගේ භාව ලීලාවෙන්ගේ චමත්කාරය ඔහු තූළද මහත් උණුසුමක් ජනිත කර තිබිණි. තවත් සුළු මොහොතක් ඔව්හු එකිනෙකාගේ දෙඇස්වෙත යොමු වී සිටියේ ගැළවීගත නොහෙන අයුරකිනි. ඊළඟ නිමේෂයේදී හදපත්ලෙන් නැගී ආ ඉකිබිඳුමක්ද සහිතව රූපට්ගේ ළය මතට කඩා වැටුණු ඇය වෙව්ලන උණුසුම් දෙතොලින් යුතුව නොනවත්වා ඔහුගේ දෙතොල් සිප ගත්තාය.

මේ ආකාරයට ශීතල මරණය උදෙසා සිය ජීවිතයෙන් අර්ධයකටත් වඩා අලෙවි කර සිටි නමුදු, රූපට් ඔරේන්ජ් ඒ පස් වසර තුළ ආත්ම ගණනාවකට සරිලන සැප සම්පත් කන්දරාවක් භුක්ති විඳීමින් සිටියේය. ජීවිතයේ සදාකාලික සිහින බවට පත්විය හැකිව තිබූ හැම දෙයක්ම පාහේ ඔහු විසින් යථාර්ථයක් බවට පත්කර ගැනීමට ඔහුට කළ යුතු වුණේ ඉතා කෙටි දැනුම් දීමක් පමණි. ඔහු සමාජය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූයේ ධනවතකු ලෙස පමණක් නොවේ. කීර්තිමත් මිනිසෙකු ද ලෙසය.

සුප්‍රකට ආතර් රජුගේ වටමේස නයිටුවේ වීරයකු මෙන් හෙතෙම දුප්පතුන් පෙළන අසාධාරණයට එරෙහිව සටන් කළ අතර, පීඩිතයන්ට ධන පරිත්‍යාගයෙන් නොමසුරුව උදවු කළේ ය. එසේම පෙර කලදී ජීවත්වීම උදෙසා ලියන ලදුව ප්‍රකාශකයන් විසින් නින්දිත ලෙස ප්‍රතික්ෂේප කරන ලද අත් පිටපත් සියල්ලද මුද්‍රණය කර ප්‍රසිද්ධ කෙරිණි. එහෙත් මෙහිදී කිවයුතු විශේෂ දෙයක් වන්නේ ඔහුගේ සාහිත්‍ය කෘතීන් ජනතාව අතර ප්‍රචලිත වූයේ, එවැනි කෘතියක් නිකුත් වනතුරු බලා සිටි පුවත්පත් විසින් දෙන ලද අසීමිත ප්‍රචාරය නිසාම නොවේ. අත්‍යන්තයෙන්ම ඒවා සාහිත්‍ය රසයෙන්ද පරිපූර්ණව පැවැති බැවිනි.

මේ අයුරින් පොදු ජනතාව තුළ ඔහු කෙතරම් කීර්තියක් අත්කර ගත්තේ ද යත්, රූපට් ඔරෙන්ජ් නම ගෑවුණු සෑම ලොකු කුඩා සිදුවීමක්ම පුවත්පත් සඳහා ප්‍රවෘත්තියක් බවට පත්විය. ඔහු පිළිබඳ විවිධ වෘතාන්ත ඇමෙරිකාව පුරා පමණක් නොව, සමස්ත යුරෝපය සිසාරා ද පැතිර යමින් තිබුණේ ජනතාව විස්මයට පත් කරවමිනි. ඇත්ත වශයෙන්ම කියන්නේ නම් කොතරම් දක්ෂතාවයකින් හෙබියේ වුවත්, තනි පුද්ගලයෙකුට විවිධ විෂයයන් අරබයා මේසා ජයග්‍රහණ අත්පත් කරගත හැකිවීම කිසිසේත්ම ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඒවා කලාතුරකින් පහළවන මනුෂ්‍යත්වය ඉක්මවූ බව පෙනෙන දුර්ලභ චරිත කිහිපයකට පමණක් මෙලොවදී අත්විඳීය හැකි ඒවා වූයේ ය.

මේ සා විභූතිමත් ජීවිතයකුත්, අප්‍රමාණ කීර්තියකුත් අත්කර ගැනීමට හේතු වූයේ කෙළවරක් දැකිය නොහැකි තරමට ඔහු වෙත ගලා ආ ධනස්කන්ධයම වූයේය. සිය දිවි ගමනේ විසල් කොටසක් මරණයට හිලව් කර ඇති මිනිසකු වශයෙන් ඉතිරිව ඇති සෑම තත්පරයකින්ම ඔහු එයින් ප්‍රයෝජන ගත්තේ ය.

උදාහරණයක් වශයෙන් තමාට සුළු අසනීප තත්ත්වයක්, එනම් අසුපිටින් බැසීමට යාමේදී පාදයක් උලුක්කුවීම නිසා ඔහු ලේ බේන්ස් නැමැති සුඛෝපභෝගී හෝටලයේ නැවතී විවේක ගත්තේය. මේ සුළු කාලය තුළ ඔහු සුප්‍රකට සුරූපී රදළ සිටුවරියක වූ වොල්නේ ආර්යාව සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගත්තේය. ඉතා ඉක්මනින් එය ඉහළ ධනපති සමාජයේ රසවත් ඕපාදූපයක් බවට පත් වුවද, එයින් පවා සිදු වූයේ රූපට් ඔරේන්ජ්ගේ වටිනාකම වැඩිවීම විනා අන්කිසිවක් නොවේ.

තවත් වරක සෙම්ප්‍රතිශයාවට භාජනය වී ගෙදරටව සිටි දින කීපය තුළ. ඔහු ඒ කාලය ප්‍රයෝජනයට ගනිමින් ඉතා රසවත් ප්‍රහසන නාට්‍ය පිටපතක් රචනා කළේ ය. “ආර්යාවගේ රාත්‍රී භෝජනය” නම් වූ එම ප්‍රහසනය වේදිකා ගතවීමත් සමඟ විචාරක ප්‍රේක්ෂක දෙපාර්ශ්වයේම ඉමහත් ප්‍රතිචාරයකට ලක් වූයේ ය. මේ අතර ඔහුට මුහුණ දෙන්නට සිදුවූ තවත් එක්තරා දෛවෝපගත සිදුවීමක් වූයේ වේගයෙන් ගමන් කළ තම අස්රිය පෙරළීම නිසා ඔහුගේ හිස පැලී යාමය.

නිශ්චිත කාලය එනතුරු මරණ බිය හිතෙන් අතහැර දමා සිටි රූපට් ඉන් බියට පත්වූයේ නැත. තම ලේන්සුව හිසට තබාගෙන ගලා එන රුධිරය වළක්වා ගනිමින් සිටියදී ඔහු දුටුවේ රිය අනතුර හේතුකොටගෙන කෝපයට පත් බීමත් ගණිකාවක් අසිහියෙන් මෙන් තමාට බැණ වදින අයුරු ය. ඒ කාන්තාව වූයේ අන් කිසිවෙකු නොව, කලකට ඉහතදී තමා මහපාරට ඇද දැමූ අනිස් මැතිනි යයි. ඒ වන විට ඇයව මහපාරට ඇද දමන්නට ඔහු කරතිබූ උත්සාහය සාර්ථකවී තිබිණි.

 

(වින්සන්ට් ඕ සුලිවන්ගේ අද්භූත කෙටි කතාවක් ඇසුරිනි)

(මතු සම්බන්ධයි)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.