පෙම්වතුන් දිනවන චින්තාංශකය

පෙබරවාරි 14, 2025

ආදරවන්තයන් විවාහ දිවියට ඇතුළු වන විට පොරොන්දම් ගැළපීම ජනපි‍්‍රය ක්‍රමයයි. කෙතරම් පොරොන්දම් නොගැළපුණද චින්තාංශකය ගැළපෙන්නේ නම් ඔවුන්ට සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකි බව ඡ්‍යොතිෂ නියමයයි.

නවම් මාසය හෙවත් පෙබරවාරි මාසය දියත වෙසෙන යෞවන යෞවනියන්ගේ ආකර්ෂණීයම මාසය කිව්වොත් නිවැරදියි. කැලැන්ඩර් ක්‍රමයට වර්ෂයේ කෙටිම දින ගණනක් හිමි මාසය වන පෙබරවාරිය පෙම්වතියන් සහ පෙම්වතුන්ගේ ආකර්ෂණයට හසු වීමට තුඩුදෙන්නේ පෙම්වතුන්ගේ දිනය යෙදෙන මාසය නිසාය.

වර්තමානයේ පෙබරවාරි14 හඳුන්වන්නේ වැලන්ටයින් දිනය ලෙසයි. මේ හා බැදුණ විශේෂිත කතාව අපට අහන්න ලැබෙන්නේ රෝමයෙනි. විශේෂයෙන්ම මෙය ආරම්භ කර තිබෙන්නේ රෝම සොල්දාදුවන් කෙරෙහි අනුකම්පා කිරීම හේතුවෙන් මරණ දණ්ඩනයට නියමු වූ වැලන්ටයින් නම් පූජකතුමා මූලික කරගෙනය. දෙවැනි සෝඩියස් රජතුමා, මේ වැලන්ටයින් නම් පූජකතුමාට මරණ දණ්ඩනය නියම කළේ, ඔහු ආදරය කරන රෝම සොල්දාදුවන්ගේ ආදරය සබඳතාවලට උදවු කිරීම හේතුවෙනි. මේ වැලන්ටයින් පූජකතුමාට මරණ දණ්ඩනය නියම කළ දිනය පෙබරවාරි 14වෙනිදාය. බොහෝ දෙනා තම හිත්ගත් තැනැත්තාට හෝ තැනැත්තියට තම ආදරය ප්‍රකාශ කිරීමට මේ දිනය යොදා ගනිති. එහෙත් ආදරය ප්‍රකාශ කළ පමණින් දෙනෙකුට විවාහ විය හැකිද? ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග මහත්මිය මේ පිළිබඳ විග්‍රහ කළේ මෙසේය.

ආදරවන්තයන්ගේ සිහින සැබෑ වීමට ඡ්‍යොතිෂය කෙසේ බලපාන්නේ ද යන්න ගැන සලකන විට බොහෝ ප්‍රචලිතව ඇති ක්‍රමය පොරොන්දම් ගැළපීමයි. එහෙත් දෙදෙනාගේ උපන් නැකැත් දෙකට අනුව බලන පොරොන්දම් ගැළපීමෙන් ම දෙදෙනාගේ විවාහ ජීවිතයේ සාර්ථකභාවය පැවසීමට නොහැකියි. ඒ සඳහා දෙදෙනාගේ කේන්දර සටහන් දෙක පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි.

මෙහිදී විශේෂයෙන් චින්තාංශකය ගැන අවධානය යොමු කළ යුතුයි. චින්තාංශකය යනු විවාහ වීමට අපේක්ෂිත දෙදෙනාගේ සිතුවිලි එක සමාන වන්නේද යන්න විමසන ක්‍රමයයි. එසේ සිතුවිලි සමාන වීම දෙදෙනාට යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමටත්, ඉදිරි දියුණුවටත්, සමගියටත් බලපායි.

මෙයට වසර දහස් ගණනකට පෙර භාරතයේ විසූ පරාශර, පුලස්ති, පුරන්දර වැනි මහා ඍෂිවරු මේ පිළිබඳ හොඳින් විග්‍රහ කර ඇත. දෙදෙනකුගේ පොරොන්දම් විස්සම ගැළපුණ ද චින්තාංශය නැතහොත් එම යුවළ සිතන ආකාරය, සිතිවිලිවල ස්වභාවය එක් රිද්මයක් නොපැවතුණ හොත් දෙදෙනාගේ අදහස් පරස්පර වේ.

එයින්,

දෙදනාගෙ ඉවසීම ප්‍රගුණ කරයි.

දෙදනාගේ මතගැටුම් වළක්වාලයි.

කේන්ති ඒම පාලනය කරයි.

අමනාපකම් දුරලයි.

එකිනෙකාගේ අදහස්වලට ගරුකරයි.

එකිනෙකාගේ විශ්වාසය පළුදුවීම වළක්වයි. තීරණ ගැණීමේදී වඩාත් නම්‍යශීලී වෙයි. එකිනෙකාට භක්තිමත් පවුල් පසුබිමක් සෑදෙයි.

ගැටුමක් රහිතව වේගයෙන් එකගතාවයට පත්වෙයි.

දෙදනකු වුවද එකකුසේ සියලු ජයග්‍රහණ භුක්තිවිදීමට පවුල් පසුබිමක් සාදයි.

ජීවිතයේ විවිධ හැලහැප්පීම් ඉතා කෙටි කලක් තුළ හඳුනාගෙන මතුවට එවැන්නක් සිදුනොවීමට වගබලා ගනියි.

දුකේදීත්, සැපේදීත් සමව විද ගැනීමටත් , ඒවා දරා ගැනීමට හැකියාව ඇතිවෙයි.

තම පවුල සංස්ථාව තුළ පමණක් නොව අවට සමාජයේ සියලු ගැටලු පහසුවෙන් හදුනාගෙන කටයුතු කරයි

දෙදනාම හොඳ තීරකයන් වෙයි.

පවුලේ අභ්‍යන්තර ගැටලු බාහිර පාර්ශ්වයන්ට හෙළිනොවේ. එමගින් පහසුවෙන් විසදුම් සොයාගත හැකිය.

සමාජයේ හොද කීර්තිමත් පවුලක් නිර්මාණය කරගැනීමට චින්තාංශය ගැළපීම මහෝපකාරී වනු නියතය.

චින්තාංශයෙන් පෙන්වා දෙන්නේ බාහිර පියකරුබව, භෞතිකව ධනවත්බව හා සමාජ තත්ත්වයන් හා ශාරීරිකව සුදුසුකම් සපුරා තිබීමට වඩා දෙදෙනකුගේ භාවාත්මක සිතිවිලිවල සමීප බව අත්‍යවශ්‍ය බවය. එනම් දෙදෙනා සමානව සිතීමයි.

කෙසේ වෙතත් සාමාන්‍යයෙන් චින්තාංශය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල දෙදෙනා සසැඳීමේදී සියයට 60ට වැඩි වීම අත්‍යවශ්‍ය වන්නේ විවාහයේ පදනම ස්ථාවර කර ඉදිරි දිවිය සාර්ථක වීමටය.

චින්තාංශකය ගැළපීම සේම පහත දැක්වෙන කරුණු ද ගැළපීම විවාහයක සාර්ථකත්වයට තුඩු දේ. ඇතැම් විට චින්තාංශකය ගැළපුණද මෙහි සඳහන් ඇතැම් කරුණ නොගැළපෙන විට දෙදෙනා සතුටින් සිටිය ද අඹුසැමි සබඳතා නිසි ලෙස නොපවතී.

කේන්ද්‍රයේ රවි, සඳු, කුජ, සිකුරු යන ග්‍රහයන් හතර දෙනා ඒ කේන්ද්‍ර සටහන් දෙකෙහි පිහිටි ආකාරය, ස්ත්‍රී කේන්ද්‍රයේ එම ග්‍රහයන්ට පුරුෂ කේන්ද්‍රයේ එම ග්‍රහයන් පෙනෙන්නේද, රාශි මාරු කරගෙන සිටීද, ශනි මංගල දෝෂ, කුජ දෝෂ, කඩහන්දි දෝෂ, ස්ත්‍රී පුරුෂ මරයෝග, නානාංශක දෝෂ වැනි විවිධ දෝෂ තත්ත්වයන් කේන්දර සටහන් දෙකෙහිම තිබේ නම් විවාහයට බාධාවක් ඇති නොවේ. සතුටින් සමඟියෙන් විවාහ ජීවිතය ගත කිරීමට හැකියාව ලැබේ. මේ සියලු කරුණු ගැළපුණද විසි පොරොන්දම් ගැළපීමේදී යෝනි පොරොන්දම විරුද්ධ සතුන් දෙදෙනෙකුගේ නම් එනම්, එළු-වඳුරු, සර්ප- මුගටි, අශ්ව-මීගව, ඇත්-සිංහ, බළල්- මූෂික වැනි යෝනිවලට හසු වේ නම් විවාහ ජීවිතයට බාධා ඇති වීමට ඉඩකඩ වැඩි වේ. එමෙන්ම කේන්දර සටහන් ගැළපීමේදී සෞඛ්‍ය තත්ත්වය හා දරුඵල වැනි දේ ද සලකා බැලිය යුතුය.

කේන්දර සටහනේ 7වැනි භාවයෙන් විවාහ ජීවිතය ගැන කියැවේ. හත්වැන්නේ සිටින ග්‍රහයන් මෙන්ම හත්වැන්නාධිපති ගැනද බැලිය යුතුය.

දෙදෙනාගේ චන්ද්‍රයා උච්චව හෝ ස්වක්ෂේත්‍ර වී 9 වැන්නේ සිටීම ඉතා යහපත් පිහිටීමක් වන අතර විවාහ ජීවිතය ඉතා සැපවත් ලෙස ගත කිරීමටද හැකියාව ලැබේ.

චන්ද්‍රයා නීච වීම යහපත් නොවන අතර 7 වැන්න අධිපතියා උච්ච ස්වකේෂ්ත්‍ර වී සිටීම හෝ අධික බලයෙන් යුතුව සිටීම නිසා විවාහය පිළිබඳ අන් ග්‍රහයන් දුබලව සිටියත් ඔහුට හෝ ඇයට යහපත් විවාහ ජීවිතයක් ලැබේ. විවාහය සැපවත් එකක් වේ.

හත අධිපතියා ස්ථිර රාශියක හෝ තුලා රාශියේ නම් ස්ථිර ආලය ඇති අයෙකි. එකම විවාහ සහකරුවෙක් හෝ සහකාරියක් සමඟ බොහෝ කල් එකමුතුකමෙන් කල් ගෙවිය හැකිය. හත අධිපතියා ලග්නාධිපතියාට වඩා බලයෙන් අඩුව ලග්නාධිපතියා සමඟ සිටී නම් තමාට වඩා උසස් අයකු සමඟ විවාහ විය හැකිය.

එමෙන්ම විෂ කන්‍යා යෝගයද පොරොන්දම් ගැළපීමේ දී විශේෂයෙන් සලකා බැලිය යුතු කාරණාවක්ය. දොළොස් වැනි තිථිය ඇති ඉරිදා දිනෙක කැති, විසා, අස්ලිස, සියාවස නැකැතකින් ඉපදී සිටීම, දියවක තිථිය - අස්ලිස නැකැත ඉරිදා දිනක යෙදීමත්, සතවක තිථිය ඇති අඟහරුවාදා දිනයක සියාවස නැකැත පැවතීමත්, දොළොස්වක තිථිය ඇති අඟහරුවාදා දිනයක සියාවස නැකැත පැවතීමත්, දියවක තිථිය ඇති සෙනසුරාදා දිනක අස්ලිස නැකැත යෙදීමත්, සතවක තිථිය ඇති සෙනසුරාදා දිනක කැති නැකැත යෙදීමත්, විෂ කන්‍යා යෝගය යෙදෙන බැවින් විවාහයට ඉතා අසුබය.

ගුරු සිකුරු සතුරු රාශිගතව ද ලග්නයේ කුජ, රාහු, ශනි වැනි පාපයන් හෝ 22 වැනි දෙර්කාණාධිපති තැන්පත්ව සිටියදී උපන් ස්ත්‍රීන් හා විවාහ වීමෙන් එම පුරුෂයා බොහෝ දුක් කම්කටලු රාශීයකට හිමිකම් කියන අතර සැප සම්පත් අහිමිවේ. ආයුෂ පවා හීන වේ. එහෙත් මෙසේ උපන් ස්ත්‍රී කේන්දර තුළ ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 7වැන්නෙහි සප්තමභාව අධිපතියා තැන්පත් වීමෙන් වැන්දඹු යෝග යෙදීම සහ දරුඵල අහිමි වීමේ දෝෂ අහෝසි වන්නේය. මෙහිදී විශේෂයෙන් ආයුෂ ගැන ද සලකා බැලිය යුතුය. සඳු, ලග්නාධිපති, බුධ, ගුරු, සිකුරු උච්ච ස්වක්ෂේත්‍ර වීම හෝ කේන්දරයේ 1,4,7,10 සිටීම දීර්ඝායුෂ ලබාදෙයි.

විවාහයෙන් පසු දියුණුව ලග්න කේන්දරයෙන් 7 වැන්නට දෙවැන්න වූ 8 වැන්නෙන් බැලිය යුතුය. 8 වැන්නේ සුබ ග්‍රහයකු තැන්පත් වී ඇත්නම් විවාහයෙන් පසු දියුණුව ඇති වේ. පාප ග්‍රහයකු නම් වියදම් අධික කරයි. එමනිසා විවාහ දිවියට එළඹෙන දෙදෙනෙකු සම්බන්ධයෙන් දෙදෙනාගේම චිත්තාංසකය බලා එම විවාහ කටයුතු සිදු කිරීම ඉතා සුබය.

 

තොරතුරු

ඡ්‍යොතිෂවේදිනී

ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.