ප්‍රේමයේ සතුට සදන්නී තාරාදේවී

පෙබරවාරි 14, 2025

 

බෝරා යස විය නෑ මහරු සිරිලක් මැදුරු වෙසෙසී
තෝරා හැර දුසිරි සුසිරි ලකරින් එකල එක සී
වාරානොව රුසිරු ඉසුරු දෙන සුරබිදෙන සදි සී
තාරාදේවිය නමැද යාගත් එයින් නො ලැසී

තිසර සංදේශයේ හැර වෙනත් කිසිදු කෘතියක මේ දෙවඟන ගැන කිසිදු කතිකාවතක් නැත. බෝසත් ගණයට අයත්ය. උතුරු ඉන්දියාවේ තාරාදේවිය වෙනුවෙන් දේවාලයක් ඉදිකර ඇත. අට හා දොළොස් වැනි ශත වර්වලදී ප්‍රබල ලෙස ප්‍රචාරය වූ මහබලැති දෙවඟනකි. ක්‍රි.ව. 779 පමණ කාල පරාසය තුළ මේ දෙවඟනට පුද පූජා පැවැත්විණ. තාරාදේවිය සෑම බෝධිසත්ත්ව කෙනෙකුගේම මවක් යැයිද නම් කර තිබේ.

අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ඇසින් වැටුණ කඳුළු බින්දුවකින් උපත ලබා තිබේ යැයි ජනකතාවකි. නෙළුමක් මත වැඩ සිටී. අතින් රන් ආභරණයක් ද ත්‍රිශූලයක් හා රන් මාලයක් දරන්නීය. නෙළුම් මලට ආදරය නොකරන මිහිපිට කිසිවෙක් නොමැත. සුදු තාරාදේවිය නමින් හැඳින්වේ. මුළු සිරුර පුරාම රන් ආභරණ හා වස්ත්‍රය. විචිත්‍රය. මැණික් ඔබ්බවා ඇති රන් ආභරණවලින් සැරසී සිටින්නීය.

මේ දෙවඟන ලොව ඇති සියලුම විෂ වර්ග නසන්නීය. ඇය ඉතාම බලවත්ය. අවලෝකිතේශ්වරගේ දකුණු පසින් සිටින්නීය. තියුණු දියුණු මනසක් හිමිය. දේහ ලක්ෂණ විද්‍යාව දන්නීය. ඕනෑම කෙනෙකුගේ සිත් දැනගන්නීය.

අන්‍යයන් වහා වශී කර ගැනීමට සමත් වන්නීය. මේ දෙවඟනට පුද පූජා තබා යාතිකා කිරීමෙන් තමාට ශක්තියක් ඇතිවේ. අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසිය තුනක් සතුරු ආන්ත්‍රා දුරුවේ. සියලුම බාහිර දෝෂ දුරු වේ. ඇස්වහ, කටවහ, හෝවහ දුරු වේ. රක්ත රතු තාරා දේවිය රුධිරයට අධිපතිය. විශේෂයෙන්ම පෙම්වතුන්, පෙම්වතියන්ට උපකාර වන්නීය. දෙදෙනාගේ අදහස්වලට අවනත වී දෙදෙනාගේම ආලය, ආදරය නොකඩවා දිගටම ගෙන යෑමට ආධාර උපකාර කරන්නීය. සතුට සොම්නස ලැබේ.

තාරා දේවිය කුවේරගේ හිතවතියකි. ධනය අත්පත් කර දෙන්නීය. තවද තාරාදේවියගේ ප්‍රතිමාවට පුද පූජා තබා මේ දෙවඟනට සැහැලි පද්‍ය ගායනා කර සතුටු කරන්නේ නම්, තමාට යස ඉසුරු සම්පත් ලැබේ. කෑගල්ලේ දොරවක විහාරගෙයි තාරා දේවඟනගේ මූර්තියක්, පිළිමයක් ඇත. ඈත ගම්වල ජනයා මේ දෙවොලට පැමිණ පුද පූජා තබති.

තාරාදේවිය පිළිබඳ දිගු කතාවක් ගොතා ඇත්තේය. මෙහි සඳහන් වන්නේ සංක්ෂිප්ත තොරතුරු බිඳකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.