පළමු දැක්මේ සතුට ජීවිතය පුරා පවතීද?

ක්‍රිෂ්ණමුර්ති පද්ධතියෙන් දැනගනිමු
පෙබරවාරි 14, 2025

මෙලොව ජිවත්වන අප සැමට ආදරය යන්න පොදු වු කරුණකි. ආදරය නොමැතිව මෙලොව ජීවයේ පැවත්මක් නොමැති අතර සියලු බැඳීම් අතර ආදරය සැඟව පවතී. ආදරය යන්නට නොයෙක් අර්ථකථන දිය හැකි වුවද ආදරය කරන සහ ආදරය ලබන පුද්ගල ස්වභාවයන් මතද ආදරයේ යම් යම් වෙනස්කම් දැකිය හැකිය.

නිදසුනක් ලෙස මවක තමාගේ දරුවෙකුට දක්වන ආදරයේ ස්වභාවයත් පෙම්වතියක තම පෙම්වතාට දක්වන ආදරයේ ස්වභාවයත් අතර විශාල වෙනසක් ද පවතී. මේ ආකාරයට ආදරය යන්න නොයෙක් ආකාරයෙන් අපට දැකිය හැකි මුත් එය ඉතා පටු ලෙස විග්‍රහ කළ නොහැකි කාරණයකි. මන්ද එය මිනිස් ජීවය තුළ මෙන්ම සතා සිවුපාවුන්ට සේම මුළු මහත් විශ්වයටම බද්ධ වු සිද්ධාන්තයක් බැවිනි.

ආදරය කියන වචනය සිහියට එනවිට බොහෝ දෙනකුට සිහිපත් වන එක් දිනයක් තිබේ. ඒ අදට යෙදෙන පෙම්වතුන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනයයි.

විශේෂයෙන් ආදරය කරන පෙම්වතුන් සහ පෙම්වතියන් ට මෙය විශේෂ දිනයන් වශයෙන් හැඳින්විය හැකිය. මෙදිනට පෙම්වතුන් සහ පෙම්වතියන් විවිධ වු ක්‍රම ඔස්සේ තමාගේ ආදරය ප්‍රකාශ කරමින් සතුට භුක්ති විදින ආකාරය දැකිය හැකිය.

එය වරදක් නොවේ. වරද වන්නේ ආදරය මුවාවෙන් පාර්ශ්වයක් කුමන හෝ ආකාරයකින් පීඩාවකට, අසරණ කිරීමකට ලක් කිරිමයි. විශේෂයෙන් ගැහැනු ළමයින් විශ්වාසය පදනම්ව පවත්නා ලිංගික සම්බන්ධතා හමුවේ අසරණ තත්ත්වයට පත්වූ අවස්ථා ඕනෑ තරම් අසන්න තිබේ. ආදරය සුන්දරය. එය විඳිය යුතුය. ඒත් ඒ සඳහා නිවැරැදි සහකරුවා හෝ සහකාරිය තෝරාගැනීමට අවබෝධය තිබිය යුතුය.

වර්තමානයේ බොහෝමයක් ආදර සම්බන්ධතා කනගාටුදායක ලෙස අවසන් වන බවද සමාජ නිරික්ෂණයෙන් අපට ඉතා පැහැදිලිව පෙනෙන්න තිබේ. මේ සඳහා නොයෙකුත් හේතු සාධක බලපාන අතර අනවබෝධය මුලික හේතුවක් වේ. විශේෂයෙන් මෙහිදි ගැහැනු පිරිමි භේදයකින් තොරව මුළාවට පත්වන අතර සමහර සම්බන්ධතා මරණයෙන් ද කෙලවර වේ.

ආදරය උත්තරිතරය. තමා ආදරය කරන පෙම්වතා පෙම්වතිය ජිවිතය පුරා තමාගේ සෙවණැල්ල සේ ළඟින් සිට ආදරය කිරිම ආදරය විඳිනු දැකීම අප සැමගේ ප්‍රාර්ථනාවයි. එම නිසා ඔබ ආදරය කරන පෙම්වතා පෙම්වතිය ඔබගේම සහකරුවා හෝ සහකාරිය වේද යන්න තහවුරු කර ගැනීම වැදගත් වේ.

මේ සඳහා හස්තරේඛා සහ විවිධ ඡ්‍යොතිෂ ක්‍රමවේද යොදාගත හැකි අතර ක්‍රිෂ්ණමුර්ති පඬිතුමා ලොවට දායද කළ ක්‍රිෂ්ණමුර්ති ඡ්‍යොතිෂ ක්‍රමවේදය ඉතාම වැදගත් වේ.

ගයානි සහ සමන් විවාහ වන්නේ ආදර සම්බන්ධයක ප්‍රතිපලයක් ලෙසය. ඇය 1998. 11. 03 දින ප ව 1. 42 මාතලේදි උපත ලබන අතර සමන් 1996 .12. 19 පෙ. ව 11. 25 දකුණු පළාතේ උපත ලැබීය.

ගයානිට වයස අවුරුදු 18 දී පමණ දකුණු පළාතේ ඥාාතියකුගේ නිවෙසට තම දෙමාපියන් සමඟ යන්නේ උත්සවයකට සහභාගී වීම සඳහාය. සමන්ද එදිනම තම මිතුරාගේ නිවෙස හෙවත් ගයානිගේ ඥාාතියාගේ නිවෙසට පැමිණීම සිදුවන්නේ දෛවයේ සරදමක් ලෙසය. ඔවුන් දෙදෙනා දුටු මොහොතේ පටන් ඇතිවුණු ආදර පලහිලව්ව තවදුරටත් සනාථ කරමින් කෙටි කාලයකදි විවාහ දිවියට එළැඹෙන්නේ දෙමාපිය ආශිර්වාදය සමඟිනි.

ගයානි සහ සමන් වර්තමානය වනවිට දරුවකුගේ සුරතල් බලමින් සමගියෙන් සහ ආදරයෙන් විවාහ ජීවිතය ගෙවන බව සාක්ෂි සහිතව මා හට සපථ වි ඇත. ඕනෑම පුද්ගලයෙකුට විවාහය සම්බන්ධ කරණාවලදී ජන්ම කේන්ද්‍රයේ 07 වැන්න ඉතාම වැදගත් වේ.

මෙහිදි කර්මාණුරූපීව විවාහයක හිමිකම, විවාහ සහකරුවාගේ ස්වභාව, රැකියාව, ආයුෂ, විවාහය සිදුවන කාලය, ආදි වූ කරුණු ගණනාවක් ජන්ම පත්‍රයක 07 වැන්න පරික්ෂා කිරිමෙන් තහවුරු කළ හැකිය. එසේම ක්‍රිෂ්ණමුර්ති සිද්ධාන්තයන්ට අනුව දෙදෙනකු අතර විවාහය නිශ්චිතවම සිදුවේදැ’යි තහවුරු කර ගැනිමටද හත්වැන්න වැදගත් වේ.

මෙහිදී එක් අයකුගේ හත්වැන්නේ පාලක ග්‍රහයන් අනිත් පාර්ශ්වයේ ලග්නයේ සහ සඳුගේ පාලක ග්‍රහයන් සමඟ සම්බන්ධතාවයක් ගොඩ නැඟිය යුතුය. එසේම එම පාර්ශ්වයේ හත්වැන්නේ පාලක ග්‍රහයන් තමාගේ ලග්නයේ සහ සඳුගේ පාලක ග්‍රහයින් අතර සම්බන්ධතාවයක් ගොඩ නැඟිය යුතුය.

මෙය තහවුරු කර ගැනීම සඳහා ඉහත ජන්ම පත්‍ර දෙක සසඳා බලමු.

ගයානිගේ ලග්නය කුම්භ වන අතර ඇයගේ හත්වැන්නේ පාලක ග්‍රහයන් වන්නේ රවි, කේතු, ගුරු, රාහු, කුජ, සඳු, බුධ වේ. එසේම සමන්ගේ ලග්නයේ සහ සඳුගේ පාලක ග්‍රහයන් වන්නේ ශනි, ගුරු, බුධ වේ. ඒ අනුව ගයානිගේ ජන්ම පත්‍රයට අනුව හත්වැන්නේ පාලක ග්‍රහයන් සමන්ගේ ලග්නයේ සහ සඳුගේ පාලක ග්‍රහයන් සමඟ සම්බන්ධවන බව තහවුරු කළ හැකිය.

එසේම සමන්ගේ හත්වැන්නේ පාලක ග්‍රහයන් වන්නේ රවි, සිකුරු, ගුරු, බුධ, කුජ, ශනි, රාහු(බුධ-සඳු) වේ. ගයානිගේ ලග්නයේ සහ සඳුගේ පාලක ග්‍රහයන් වන්නේ කුජ කේතු(ශනි කුජ) සඳු, ශනි, ගුරු වේ. ඒ අනුව සමන්ගේ හත් වැන්නේ පාලක ග්‍රහයන් ගයානිගේ ලග්නයේ සහ සඳුගේ පාලක ග්‍රහයන් සමඟ සම්බන්ධතාවයක් ඇති බවද තහවුරු කළ හැකිය.

ඒ අනුව මොවුන් දෙදෙනා අතර විවාහයක් සිදුවිය හැකි බව තහවුරු කළ හැකි සේම ඔවුන් විවාහ වු 2017 වර්ෂයේ අදාළ මාසයේදී මහ දශාවන් අන්තර් දශාවන් සහ විදශාවන් දෙදෙනාටම විවාහයක තීන්දුව ලබාදී තිබිමෙන් මෙය තවදුරටත් තහවුරු වි තිබිණි.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.