ඉබේ දුවන කරත්තය බලන්න මහ සෙනඟක්

පෙබරවාරි 14, 2025

බුද්ධාංකුරයක් ලෙස අති පූජණීයත්වයට පත් බළන්ගොඩ අනන්ද මෛත්‍රෙය හිමියන් ජීවමානව සිටි කාලයේ සියැසින් දැක සිත පහදවාගන්නට හෝ එක බණ පදයක්වත් අසන්නට හෝ නොහැකි වූ ශ්‍රද්ධාවන්ත බොදුනුවන් අප රටේ කොපමණ නම් වෙත් ද?

“අනඳ මෙත් වත” ඔවුන් සඳහා අප හිමිසඳ මනසින් ඇසුරු කිරීමට මඟපෙන්වීමක් වනු නො අනුමානය.

පුංචි කාලේ ඕනවට වඩා හුරතල් කළ නිසාදෝ විලියම් නොහොත් ‘පුංචි මහත්තයා’ බොහොම දඟකාරය. දඩබ්බරය, හිතුවක්කාරය, විටෙක චණ්ඩ පරුෂ ගති ද පෙන්නුම් කරයි. “අපේ ලොකු අම්මයි, ලොකු තාත්තයි නම් කියන්නේ. ඒවා තාත්තගෙන් ආරෙට ආපු මුරණ්ඩු ගති කියලයි.”

කෙසේ වෙතත් වෙළෙඳසැලේ කුඩා විලියම් නැවතුණාට පස්සේ ඒ ආතාගේ ගුරුහරුකම් මැද මුරණ්ඩු ගති බොහොමයක් තාවකාලිකව පාලනය වෙලා තිබුණි. ඒත් අසාධාරණ ක්‍රියාවක් දුටුවිට එක්විටම කේන්ති ඒමක් නම් දිගින් දිගටම පැවතුණි.

ඒ කාලේ ගමේ ඇත්තො නම් නිතර කිව්වේ තාත්තා වගේම පුතත් අසාධාරණයට තදින්ම විරුද්ධ වන බවයි.

කුඩා විලියම් නවාතැන්ගෙන සිටි වෙළෙඳසැලේ ඉඳලා මඳක් දුරින් රාමඤ්ඤ නිකායට අයත් පන්සලක් තිබුණි. ආතා ඔය පන්සලට නිතර යයි. පොහොයට සිල් සමාදන් වන්නට යන විට ‘විලියම්’වත් කැටුව යාමට අමතක නොකරයි. පන්සලේදී ආතා ගාථා කියා දෙයි. හැම දිනයකම නිදාගන්න කළින් ආතා පිරිත් කියයි. ආතාට සතිපට්ඨාන සූත්‍රය කටපාඩම්ය.

‘පුංචි මහත්තයා’ට ද හැමදාම පිරිත් අහගෙන ඉඳීමෙන් කටපාඩම් වී තිබුණි.

කඩේට සෑම සති අන්තයකම ගෙනෙන “සරසවි සඳරැස” “රිවිකිරණ” “ලක්රිවි කිරණ” “ඥානාර්ථ ප්‍රදීපය” වැනි පුවත්පත් එකක් නෑර “විලියම්” කියවයි. එහෙත් ඒ කාලෙ නම් දිනපතා පත්තර එකක්වත් තිබුණේම නැත.

ඉබේ දුවන කරත්තය

අනඳ මෙත් හිමියන් උන්වහන්සේගේම වදනින්ම තම කුඩා සන්ධියේ රසබර සිදුවීම් ස්මරණය කළ අවස්ථා තිබුණි. “ඉඳින් මට මතක විදියට ඔය කාලේ 1903 - 1904 විතර වෙන්න ඕනෑ. අපේ ඉස්කෝලෙ ලොකු මහත්තයා ඒ කියන්නේ අද කාලෙ නම් විදුහල්පතිතුමා උදෙන්ම පාසලේ ළමයින් කණ්ඩායම් එකතු කරලා රැස්වීමක් පවත්වල කිව්වා. ‘ඉබේ දුවන කරත්තයකින් උතුමාණන් වහන්සේ අද එනවා. ඔය දරුවෝ පාරෙ දෙපැත්තට වෙලා බලාගෙන ඉන්න’ කියලා. ඉතින් ඒ කියලා අපි පාරෙ ඉන්නකොට වැඩිවේලාවක් ගියේ නැහැ. මේන් අපටත් අත වනමින් උතුමාණෝ ගියා නොවැ1 හරියට ඒක ලොකු ලොරියක් වාගෙයි. දෙපැත්තේ තිරත් එල්ලලා. ලොකුª ලාම්පු දෙකකුත් තිබුණා. ඒවා ගෑස්ලාම්පු ද, භූමිතෙල් ලාම්පු ද කියලා මට දැන් නිච්චියක් නැහැ.

ඉතින් කොළඹ ඉඳලා බදුල්ල දක්වා මේ ඉබේ දුවන කරත්ත පසුකාලීනව යොදාගෙන තිබුණා. ඒවා බොහොම හෙමින් තමයි ගමන් කළේ. ප්‍රසිද්ධ නගරවලටත්, ඒ ඒ නවත්වන ස්ථානවලටත් ඒ ඒ දිනවල පැමිණෙන බව ට්‍රැලිග්‍රෑම් මඟින් කලින් දන්වා එවා තිබුණා.

පැල්මඬුල්ලටත්, බළන්ගොඩටත් ඒ විදියටම දන්වලා එවල තිබුණා. ඉඳින් බළන්ගොඩට එන බව කලින් දන්වා එවා තිබුණු නිසා හැතපුම් දහය, දොළහ තරම් ඈත ගම්බද පෙදෙස්වලින් පවා සියදහස් ගණනක් පිරිස් පැමිණිලා හරියට පෙරහරක් බලන්න තරම් ආශාවෙන් තමයි මේ ඉබේ දුවන කරත්ත බලන්න පාරෙ දෙපැත්තේ රැස්කකා හිටියේ.

ලොකු අශ්ව කරත්තය

හැබැයි ඊට පස්සේ සෑහෙන කාලෙකට කාර් එකක් දැකල තිබුණේ නැහැ. ඒත් විස්සක් විතර දෙනකුට යන්න පුළුවන් ලොකු අශ්ව කරත්තයක් නම් තිබුණා. හොඳට මතකයි. ඒවා බළන්ගොඩින් සවස 6.00 ට පිටත්වුණාම. පසුවදා උදේ 06.00 වනවිට කොළඹට යනවා. ඒ අශ්ව කරත්තය නතර කරන ස්ථානත් තිබුණා. පැල්මඬුල්ලේදී, රත්නපුරයේදී, අවිස්සාවේල්ලේදී හංවැල්ලේදී අශ්වයන් මාරු කරනවා. ඒකාලේ මේවායේ අපි යන්න හරිම ආසයි.

ගොන් කෝච්චිය

ඒ කාලේ ගොන් කෝච්චිය කියල ලොකු ගොන් දෙන්නකු බැඳගෙන තමයි ඒවා දැක්කුවේ. ඒ ඒ තැන්වලදී ගොනුන් මාරු කරනවා. මේ ගොන් කෝච්චියේ නැතිනම් ගොන් කරත්තේ දහ දෙනෙකුට විතර පහසුවෙන් නැඟලා යන්න පුළුවන්. හැබැයි මේවා යන්නේ හෙමින්. ඒත් ඒ කාලේ අපි ගොන් කෝච්චියේ නැඟලා ගියේ මහත් සොම්නසින්.

උතුමාණන් වහන්සේ කිව්වේ, ඒ කාලේ ආණ්ඩුකාරවරයටනේ. ඉතින් ඒ කාලෙ ඉබේ දුවන කරත්තය (කාර් රථය) දැක්කාම පොඩි ළමයින් විනෝදෙට ඒ වගේ කරන්න හදන්න පටන් ගත්තා. ඉවරවුණු නූල් රෝද, රෝදවලට ගත්තා.

අනික ඒ කාලේ ගල්කූරු පෙට්ටි තිබුණානෙ. ගල්කූරු ඉවර වෙච්ච පෙට්ටිත් අරගත්තා. ඒ පෙට්ටිවලට අර නූල් රෝද හතරත් හයිකරලා අරවගේ කරත්ත හැදුවා. ඒ වුණාට ඒවා ඉබේ දුවන්නේ නැහැ නොවැ.

ඉතින් ඒ කාලේ අපිට ප්‍රශ්ණයක් වුණා කොහොමද මේවා ඉබේ දුවන්නේ කියලා. මම ආතාගෙන් ඒ ගැන අහල බැලුවා.

ආතා අපිට කිව්වේ ඕකට රුවලක් හයි කරන්න කියා. ඉතින් අපි කඩදාසි රුවලකුත් හයිකරලා හුළං හමන පැත්තට තිබ්බාම එය වේගයෙන් සුළඟට ඉබේ දුවන්න පටන් ගත්තා. ඉතින් අපිට හරි සතුටුයි. රාත්‍රිය වනතුරු ඕව තමයි කළේ. අනික සරුංගල් හැදීමත් ඒවා අහසේ ඈතට යැවීමත් ආසාවෙන් කළා.

ඒ කාලෙ ටැනිස් බෝලෙන් කරන “ත්‍රීරවුන්ඩ්’ කියල ක්‍රීඩාවක් තිබුණානේ. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් තිබුණා. අපි ඒ කාලේ එළිමහන් තැන්වල ක්‍රිකට් ගහන්නත් ගියා. ඒ වගේම ඒ කාලේ පාපන්දු ක්‍රීඩාවත් තිබුණා. මේ ක්‍රීඩා සියල්ල පොඩි එවුන් වශයෙන් අපි කළා. හැබැයි වඩාත්ම විනෝදම වැඩේ වුණේ සරුංගල් යැවීමයි.

ඒකාලේ ගෙවල්වල වැඩිහිටියන් අතර කුලභේද තිබුණා. ඒත් ළමයි අතර කුල භේද, ජාති භේද, ආගම් භේද තිබුණේම නැහැ.

අබ්දුල් මජීද් කියල අයකු තමයි මගේ හොඳම යහළුවා වුණෙත්. අපි එයාට ආදරේට කියන්න පුරුදු වෙලා හිටියේ ‘අජුරු මජුරු’ කියලා. එයා අඩු වයසින් පසුකාලෙක මියගියා.

මට වයස අවුරුදු නවයේදී පමණ ඒ කාලේ මහබෝධි සමාගමේ ලේකම් වශයෙන් සිටියේ බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍ර මහත්තයා. මගේ බාප්පා කෙනෙක් හිටියා ඇම්.ඒ. පුංචි මහත්තයා කියලා. එයා මහබෝධි සමාගමේ සාමාජිකයෙක්. එයා ඒ කාලේ ධර්මපාලතුමාගේ වැඩ කටයුතුවලට හරියට උදව් පදව් කළා.

අපේ බාප්පා වලිසිංහ හරිශ්චන්ද්‍ර බ්‍රහ්මචාරීතුමා බළන්ගොඩට ගෙන්නුවා. එතුමා නවාතැන්ගෙන සිටියේ බළන්ගොඩ නොතාරිස් කන්තෝරුවේ. දැන් බළන්ගොඩ තැපැල් කන්තෝරුව තියෙන්නේ එතැන. ඒ බිල්ඩිම අයිති අපේ බාප්පාට. දවස් දෙකතුනක් එහි නැවතිලා බ්‍රහ්මචාරිතුමා ඉස්කෝලෙ ළමයින්ට දේශන පැවැත්තුවා.

මැජික් ලැන්ටන් සහ මෙරට මුල්ම ග්‍රැමාෆෝනය

ඉස්සර කාලෙ සිනමාව වෙනුවට තිබුණේ “මැජික් ලැන්ටර්න්” පින්තූර. ඉස්සෙල්ලා ඒවා ඉස්කෝලෙ ළමයින්ට පෙන්වනවා. ඊට පස්සෙ තමයි දේශන පැවැත්තුවේ. එසේම එතුමා හොඳ අවවාදත් දුන්නා.

ලංකාවට පළමුවෙන්ම ගෙන්වූ ග්‍රැමොෆෝන් යන්ත්‍රයෙන් බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා දේශන පැවැත්වූවා. ඒක අපට ඒකාලයේ අමුතුම එකක් වුණා. මීට කලින් ඒවගේ යන්ත්‍ර අපි දැකල තිබුණේ නැහැ.

අනගාරික ධර්මපාලතුමා අමෙරිකාවේ ධර්ම ප්‍රචාරක කටයුතුවලට ගිය අවස්ථාවේ එතුමාට තෑගි ලැබුණු ග්‍රැමෆෝනයයි එය. දේශන පවත්වන විට පාවිච්චියට ගන්න කියල වලිසිංහ හරිශ්චන්ද්‍ර මහත්තයට දීලයි තිබුණේ. ඒකට හයිකරල තිබුණේ බම්බුවක්. තැටි නොවෙයි ඒකට දාන්නෙ. කතාවත් ඒ බම්බුවට ගන්න පුළුවන්. ඉතින් ඕකෙන් ගාථා, ශ්ලෝක, කවි කියවමින් තමයි එතුමා කතා කළේ.

ඒ කතා අපේ සිත්වලට තදින්ම කාවැදුණා. ඒ වගේම එතුමා කෙරෙහි පුදුම ආදරයක්, ගෞරවයක්, අප තුළ ඇති වුණා. එතුමා ඉතා කාරුණික කෙනෙකු වූවා. හැම දෙනාම එතුමාට සෙනෙහස පාන්නට වුණා. ධර්මපාලතුමා වගේ සැරපරුෂ නැහැ නොවැ. ජාතිය රැකගන්න, සිරිත් විරිත් රැකගන්න ආදී කරුණු තමයි එතුමා දේශනාවලදී වැඩිපුර ප්‍රකාශ කළේ. කාටවත් විරුද්ධ එතුමා කතාකළේ නැහැ.”

මේ කාලේ එතුමා හැන්දෑකොරේ. අපේ කඩේටත් ආව ගියා. එතුමාගේ කතා අහල පුදුම විදියට පැහැදුණා. ඒ නිසා මට ආතාට කිවුවා. ලොකු වුණාම මමත් බ්‍රහ්මචාරි කෙනෙක් වෙනවා කියලා.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.