වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
කොරළවලින් සම බේරාගමු
ශරීරයේ විශාලතම අවයවය වන්නේ සමය. රුව ලස්සන වඩාත් මතුකර දක්වන්නේ පැහැපත් සමය. සමේ කොරළ ඇතිවීමෙන් දිස්වන්නේ අප්‍රසන්න ස්වභාවයකි. මුහුණ කොතරම් ලස්සන වුවද අත්පාවල වියළි ස්වභාවයක් දක්වමින් කොරළ මතුවී ඇත්නම් එම ලස්සන පවා මකා දමන්නට මෙය හේතුවක් වේ. සමේ කොරළ ඇතිවීම දෙයාකාරයකට දැක්විය හැකිය. එනම් උපතින්ම ඇතිවන කොරළ සහ පසුකාලීනව ඇතිවන කොරළ වශයෙනි. සම වියළීම හේතුවෙන් සම දුර්වර්ණ වී, අවපැහැ වී, අවලස්සන ස්වභාවයකින් සමේ කොරළ ඇතිවේ. මින් එක් තත්ත්වයක් ලෙස අත්පාවල ඇතිවන කොරළ පෙන්වාදිය හැකිය.
ජානමය හේතුන්
ඇතැම් පුද්ගලයන්ගේ සම උපතින්ම වියළි ස්වභාවයක් ගනී. සමහර අයගේ කකුල්වල කොරළ වශයෙන් පොතුද ගැලවී යා හැකිය. පොතු ගැලවීයාම සාමාන්‍ය ලෙස මෙන්ම ඉතාමත් පීඩාකාරි ලෙස වුවද සිදුවිය හැකිය.
ඇතැම් කාන්තාවන් රාජකාරි කටයුතු හෝ අවිවේකය මත මූත්‍රා බැහැර නොකර දරා සිටීමද හොඳින් ජලය පානය නොකිරීම නිසාද සම වියළි වේ.
පුද්ගලයාගෙන් පුද්ගලයාට සම වෙනස් වේ. සමේ තෙතමනය පවත්වාගෙන යන අන්දම අනුව සමේ රෝග අඩු වැඩිවේ. දහවල් 12ත් 3ත් අතර වන අව්ව (හිරු එළිය) අපේ සමට අහිතකරය.
පසුකාලීනව සමේ කොරළ ඇතිවන අය සිටිති. එය විවිධ හේතුන් මත ඇතිවන තත්ත්වයකි. සමේ අධික වියළි බව නුසුදුසු ආලේපන වර්ග භාවිතය අධික ශීත දේශගුණය ඇති ප්‍රදේශවල විසීම වායුසමීකරණ ආශි‍්‍රතව නිතර රැඳීම, විටමින් ඌනතාව සහ සබන් වර්ග භාවිතය මීට හේතුන් වේ.
වැඩි වේලාවක් ජලයේ බැස සිටිනවා නම් වුවමනාවට වඩා නානවානම් නිතර මඩවතුරේ සිටිනවා නම් සමට හානි සිදුවේ. එහිදී සම ඉතා වියළි ස්වභාවයක් ගන්නවා මෙන්ම දිලීර ආසාදිත තත්ත්වයන්ද වැඩි වේ.
බොහෝදෙනකු සිතන්නේ නෑමේදී හෝ ඇඟ සේදීමේදී සම හොඳින් තදින් ඇතිල්ලිය යුතු බවයි. මෙය ඉතාම අහිතකර තත්ත්වයකි. ගල්වලින් සමේ ආරක්ෂාකාරි පටලය ඇතිල්ලීමෙන් සම තුවාල වේ. එමඟින් සම තුළට කාවදින දූවිලි ඇතුළු කුඩා අංශු මඟින් විවිධ රෝග හටගැනීම ඉක්මන් වේ. පිටතින් තිබෙන මැරුණූ සම අපේ පැවැත්මට අවශ්‍යයි. ඉතාමත් මෘදු සබන් වර්ගයක් ගා සෝදා හැරීම ප්රමාණවත්ය. සමෙහි පවතින රෝගී තත්ත්වයන් නිවැරැදිව හඳුනාගෙන එය අභ්‍යන්තර රෝගයක ලක්ෂණයක් නම් ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්ය.
පවුලේ එක්කෙනකුට සමේ රෝගයක් වැලඳේ නම් අනෙක් සාමාජිකයන්ටද එය බෝවීමට ඇති ඉඩකඩ වැඩිය.
පාසැල් යන දරුවන් රැකියාවට යන පිරිස් දිනපතාම හොඳින් සෝදා වේළාගත් පිරිසුදු ඇඳුම්, පිරිසුදු යට ඇඳුම් ඇඳීම කළ යුතුය. හැකි තරම් කපු මිශ්‍ර ඇඳුම් ඇඳීමට කටයුතු කළ යුතු අතර කාර්යබහුල යැයි පවසා ගුණාත්මක බවින් තොර ආහාර ගැනීමෙන් ලෙඩ රෝග වැඩිවන බව මතක තබාගන්න.
දහඩිය සහ තෙල් නිපදවන ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය අඩුවීමෙන් එම ග්‍රන්ථිවල ඇති අඩුපාඩුවක් නිසා දහඩිය සහ තෙල් සම මතුපිටට නොපැමිණේ. එවිට සිදු වන්නේ සම මතුපිටින් අධික වියළි ගතියක් ඇතිවීමය. එසේ මතුපිටින් කොරස්තරය වශයෙන් හඳුන්වන මැරුණූ සෛල තට්ටුවක් ඇති අතර මේ සෛල සාමාන්‍යයෙන් විශාලය. මේවා සම මතුපිට වියළි බව මතුකරලීමට හේතුවකි. මේවා සම මතුපිට වියළි බව මතුකරලීමට හේතුවකි. මේ ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා ඇතිවන සමේ වියළි ගතිය වයසට යෑමත් සමඟ ක්‍රම ක්‍රමයෙන් වැඩිවන තත්ත්වයකට පත්වේ.
මෙසේ කොරොස්තරයේ වියළි ගතිය ක්‍රමයෙන් වැඩිවීමෙන් ටික කලක් යෑමේදී එය ඝනකම කොරොස්තරයක් වශයෙන් සම මතුපිට ඇතිවී සමේ ඉරි තැළීම් සමේ තැන් තැන්වල සෑදීමත් සහ කොටු කොටු ආකාරයෙන් දිස්වීම දක්නට ලැබේ.
ආහාරපාන
රණවරා, නෙල්ලි, රසකිඳ, බෙලිමල්, ඉරමුසු වැනි දේවල් නිතර පානයට ගැනීම.
පිටිසහිත ආහාර හැකිතාක් අවම කළ යුතුය. ජලය වැඩිපුර පානය කළ යුතුය. කුඩා මාළු විශේෂයෙන් යෝග්‍යය. පලාවර්ග ආහාරයට ගත යුතුය. සමේ තෙතමනය ඇතිකරන ආහාර (කැකිරි, සාරණ, නිවිති) වැනි ආහාර දෛනිකව ආහාර වේල් සඳහා එක්කර ගැනීම.
මෝරගුලි බීමට සුදුසු අතර මෝරතෙල් ඔලිව් තෙල් සම මතුපිට ගාන්න.
කැරට් යුෂ තක්කාලි යුෂ පානයද ඉතා සුදුසුය.
ආයුර්වේද වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි