ඩෙංගු රෝගය සඳහා වන ආයුර්වේද ප්‍රතිකාර

සැප්තැම්බර් 6, 2024

ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව පුරා විවිධ කාලයන්හි වරින් වර පැතිර ගියද, දැන් හැම කාලෙකම වාගේ පවතින බරපතළ මාරාන්තික රෝගී තත්ත්වයක් මෙන්ම සුව වූ පසුද රෝගියෙකුගේ ජීවිතය බොහෝ අඩපණ කොට ශාරීරික සුවතාවය බිඳ දමනා වෙනත් අතුරු උපද්‍රවවලින් පිරී පවතිනා දුක්ඛිත රෝගී තත්ත්වයක් වේ. මේ රෝගයෙහි ස්වභාවය කුඩා දරුවකු පවා තොරතුරු දන්නා තත්ත්වයකි. එසේම වෛරස අතර මාරාන්තික වෛරස තත්ත්වයකි. දුර්වල රෝගීන්, වෙනත් රෝග පවතින අය, ගර්භිණී අය, වයස්ගත හා කුඩා ළමයින්ට විශේෂයෙන් බරපතළ වේ. එසේම බොහෝ රෝගීන්ගේ නොසැලකිලිමත්භාවයද මෙය බරපතළ වීමට හේතු වේ.

පරිසරය හා බැඳී පවතින මේ රෝගී තත්ත්වයට අපම වගකිව යුතු වන්නේ කැලිකසළ බැහැර කිරීම, තම පරිසරය පිරිසුදු කොට නොගැනීම මෙන්ම බොහෝ අය තමා අවට පරිසරය අපිරිසුදු කිරීමය. තමාගේ ගේ අවටත් පිරිසුදු කර නොගන්නා අය සමාජයේ වැඩිවීම නිසා රෝගී තත්ත්වයද නොකඩවා පැවතීම විශේෂයක් වේ. බුදු දහම අනුව ගෞතම බුදු රජුන් දේවතා සංයුක්ත ආරාමරෝපා සූත්‍රයේ පැහැදිලිව දක්වා ඇත්තේ පරිසරය මෙන්ම ඒ හා බැඳි ගහකොළ රකිනා ලෙසටත් එසේම බෝග වගාව, වන රෝපණය, මහා පුණ්‍ය ක්‍රියාවලියක් ලෙසටත් ය.

ආයුර්වේදයෙහි පරිසර සංරක්ෂණය විෂය ඉතාමත් වැදගත් කොට සලකන්නේ ගහකොළ හා පරිසරයේ සියලුම ස්වභාවික දේ නොමැතිව අපට ජීවත්වීමට නොහැකි නිසාත් අපට ප්‍රතිකාර සඳහා නැතිවම බැරි සාධක සියල්ලම පරිසරය මත රැඳී පැවතීමත් නිසාම ය. මේ සඳහා වන ප්‍රධාන සම්පත් වන්නේ වාතය, ජලය හා හිරුඑළියයි. මේවා අපට ජීවිතය සඳහා අත්‍යවශ්‍ය වන අතර, ආයුර්වේදයේ මෙන්ම පරිසරයෙහි ද පෝෂණය සඳහා ආයුර්වේදීය ශාස්ත්‍රය ප්‍රධාන කොටස් 03කට බෙදා දක්වා ඇත්තේ මෙසේ ය.

1. මානව ආයුර්වේදය

2. සත්ත්ව ආයුර්වේදය

3. වෘක්ෂායුර්වේදය ලෙසට ය.

මේ සහසම්බන්ධතාවය රැකගැනීම මඟින් අපට සිදුවන සියලුම රෝග පමණක් නොව, ස්වභාවික විපත් පවා වළකාලිය හැකිවීම විශේෂයකි.

ඩෙංගු රෝගයෙහි ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස තදබල උණ, හිසරදය, ඇඟපත වේදනාව, අරුචි, වමනය දැක්විය හැකිය. විශේෂයෙන් උණ රෝගය සඳහාවන ආයුර්වේදීය ප්‍රතිකාරයක් ලෙස,

ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට තම්බා පානයට දීම ඉතාමත් ගුණදායක වේ. තවද විශේෂයෙන් කොත්තමල්ලි බැද කුඩුකර තම්බා කෝප්පයක් උදේ, සවස දීම මඟින් මලබද්ධය ද නැති වේ. එසේම බිම්කොහොඹ තම්බා බීමට දීම, මැලේරියා වසංගත රෝග කාලවලදී පවා ඈත ගම්මාන සඳහා ගෙන දෙන පෙති වර්ගයක් වන කුවිනින් අඩංගු ඖෂධ හිගඟ වකවානුවල බිම්කොහොඹ තම්බා බීමට එකල ගැමියා පුරුදු වී සිටියේය. එය ද බොහෝ රෝග සුවයට ඉවහල් විය.

තවද පස්පංගුව, දසපංගුව, නොයෙක් පේයා වර්ග ගුණදායක වුණා.

වියළි ඉඟුරු, දේවදාර, සුවඳ කොට්ටං, කොත්තමල්ලි, එළබටු මුල්, කටුවැල්බටු මුල් තම්බා ක්ෂාය බිමට දීම හොඳයි.

මහා සුදර්ශන චුර්ණය හෝ සුදර්ශන පෙති උණුවතුරින් හෝ පස්පංගුව තම්බා දෙන්න.

දාරුපර්පට කෂාය, දාරුපර්පට ක්වාථය හෝ චූර්ණය දිය හැකිය. ඇඟපත වේදනාව, උණ ආදි අපහසුතාවයන්ට හොඳයි.

අමෘතාරිෂ්ඨය සමඟ ශක්තිය වැඩිවීමට දාෂ්ඨාරිෂ්ඨයද රෝගය සුවවන අවස්ථාවලදී දිය හැකිය.

නිතර නිතර පානවර්ග ගැනීම ඉතාමත් හොඳයි.

විශේෂයෙන් ශක්තිය වඩනා පාන වර්ග මෙන්ම උතුරවා නිවාගත් උණු වතුර ටික ටික පානය කරන්න.

රතුපාට එළවළු වර්ග, රතුපාට ආහාර වර්ග භාවිත නොකරනුයේ රෝගියා රක්තපාත තත්ත්වයට පත්වෙතැයි යන අදහසින් ය.

බත් වර්ග මෙන්ම පොළොස් වැනි කෙඳි බහුල ආහාරද, කොහිල, බෝංචි, වැටකොළු හොඳයි. රතුපාට එළවළු වර්ග නොදෙයි. එළවළු සුප්, හීනටිහාල් කැඳ ගුණයි. පොළොස් ඉතාමත් ගුණවත් වේ.

තවද ලංකාවේ අත්දැකීම් මත ඵලදායි බෙහෙතක් ලෙසද, දැනට පේටන්ට් අයිතිය ගෙන ඇති පැපොල් ගසේ මැද කොළ 2ක් පමණ ගෙන නාරටිය කපා පිරිසුදුකොට තලා එම ඉස්ම පමණක් දෙන්න.

තවද මැලේසියාවේ හා පිලිපීන ජාතිකයන් මේ සඳහා අත් බෙහෙතක් ලෙස භාවිත කරන බව මා දුටු සටහනක වනුයේ ඊචඹච ඊචඹච ලෙස ඔවුන් හඳුන්වන කැපුම්කිරිය කොළ එයට තවද ඛුද්දකිරිය ලෙසද හඳුන්වනු ලබයි.

මේවා කැපුම්කිරිය පැළෑටි 5 - 6 ක් ගෙන පිරිසුදු කර මුල් කපා ඉවත්කර වතුර උණුකරන බඳුනක් ගෙන අඩු ගිනි දැල්ලෙන් හොඳට වතුර නටවන්නට සලස්වාගෙන නිවුණාට පසු පැය 24ක කාලයක් පුරා එම වතුර බීමට දෙන්න.

තවද ප්‍රතිකාරයක් වනුයේ බතල ශාඛයේ රිකිලි හෙවත් පත්‍ර සහිත අඩියක් පමණ දිග බතල රිකිලි 12ක් ගෙන පිරිසුදු කර ජලය සමඟ විනාඩි 05ක් පමණ තම්බා ලැබෙන යුෂවලට ලුණු, සීනි දමා දෙන්න.

යහ පිළිවෙත් සම්බන්ධව නම් ඇඳ විවේකය ඉතාමත් අවශ්‍ය වේ. එසේම සුදුසු පාන වර්ග නිතර නිතර බීමට දෙන්න. නියමිත පරිදි දිරවීමට පහසු ආහාර වර්ග බත්, මෙන්ම බෙහෙවින් දුර්වලතාවය බොහෝ අයට පවතිනා බැවින්, ඒ සඳහා වන සුප්වර්ග, කැඳවර්ග, පොළොස් තම්බා පෙරා වතුර දීම, හිසරදය සඳහා සුදුසුවන නීල්‍යාදී, ත්‍රිපලා වැනි තෙලක් භාවිත කිරීම, පෝෂණ තත්ත්වයට ගුණවත් කිරි වර්ගයක් මෙන් ම ඒ සඳහා සුදුසු ආහාර වර්ග දෙන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.