ගෘහිණියන්ට වද දෙන මහපටැඟිල්ලේ වේදනාව

De Quervain
සැප්තැම්බර් 6, 2024

 

අස්ථි සහ පේෂි පද්ධතියට වැලඳෙන රෝග සැලකීමේදී විවිධ රැකියා සහ නිශ්චිත ශාරීරික ක්‍රියාකාරකම් කරන පුද්ගල කාණ්ඩවලට වැලඳෙන සුවිශේෂී ආබාධ තත්ත්වයන් පවතිනවා. ගෘහණියන්ට වැලඳීමට ඉඩකඩ ඇති රෝගාබාධ මෙහිදී විශේෂයි. එලෙස ගෘහණියන්ට වැලඳෙන සුලබ රෝගයක් ලෙස De Quervainසහලක්ෂණ තත්ත්වය දක්වන්නට පුළුවන්. මහපට ඇඟිල්ල ආශ්‍රිතව ඇතිවන වේදනා සහ තද ස්වභාවයක් ලෙස මෙය ඇතිවෙනවා. මැණික් කටුව සන්ධිය සහ මහපට ඇඟිල්ල ආශ්‍රිතව පවතින Abductor pollicis longus  සහ Extensor pollocis brevis  යන මාංශ පේශිවල කන්ඩරා අශ්‍රිතව ඇතිවන ප්‍රදාහයික තත්ත්වය මෙහිදී හට ගනු ලබනවා. මාංශ පේශි ඇතුළු මෘදු පටකවලට ඇතිවන රෝග වර්ගීකරණයේදී Overuse injuries කාණ්ඩයටයි මෙය අයත් වන්නේ.

රෝග ලක්ෂණ

මහපට ඇඟිල්ලේ මුල කොටසේ ඇතිවන වේදනාව

මහපට ඇඟිල්ලේ මුල ඇතිවන ඉදිමීම

මැණික් කටුවේ සහ මාපටැඟිල්ලේ චලන අපහසුතාවය

මහපට ඇඟිලි චලනය කිරීමේදී ඇතිවන හිරවීමේ ස්වභාවය

රෝගය ඇතිවීමට හේතු

වයස අවුරුදු 30-50 අතර පුද්ගලයන්ට මේ රෝගය ඇතිවීමේ අවදානම අනෙක් වයස් සීමාවන්වලට වඩා වැඩිවේ.

ගෙදර දොරේ වැඩ කටයුතුවලදී මැණික් කටුව සහ මහපට ඇඟිල්ල ආශ්‍රිත චලන වැඩිවීම නිසා එම ප්‍රදේශයන්ට එල්ල වන අනවශ්‍ය පීඩනය.

පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන් අතර මේ රෝගය පැතිරීමේ අවදානම වැඩිවේ.

ඔබ කුඩා දරුවන් රැකබලා ගැනීමේ වැඩ කටයුතුවල නිරතවන පුද්ගලයකු නම් එවිටද මේ රෝගය වැලඳීමේ අවදානම් වැඩිවෙනවා.

රෝගය වැලඳීම සහ පැතිර යාම

මැණික් කටුවේ පිටත කෙළවර හෝ මහපට ඇඟිල්ලෙහි ඇතිවන වේදනාවක් සහ තද ස්වභාවයක් ලෙස මෙය ඇතිවන්නට පුළුවන්. මුල් අවස්ථාවේදී මැණික් කටුව සහ මහපට ඇඟිල්ල ආශ්‍රිත ක්‍රියාකාරකම්වලදී පමණක් ඇතිවන මේ වේදනාව සහ තද ගතිය ඔබ විවේකීව සිටින අවස්ථාවලදී පවා ඇති වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් දවස අවසන්වන හවස් වෙලාව වන විට අපහසුතාවයන් වඩාත් උත්සන්නව දැනීමේ හැකියාව පවතී. සමහර අවස්ථාවලදී රාත්‍රී නින්දෙන් පවා වේදනාව ඇතිවිය හැකි අතර ඒ නිසා ක්‍රමානුකූලව නිදා ගැනීමේ අවහිරතාවයන්ද ඇතිවන්නට පුළුවන්. කල්ගත වීමත් සමඟ මහපට ඇඟිල්ලේ පාමුල යමක් හිරවී තද වී ඇති ආකාරයේ වේදනාවක් ද දැනෙනවා. සමහර රෝගීන් සැලකීමේදී මේ වේදනාව මැණික් කටුවෙන් උඩට සහ මැණික් කටුවෙන් පහළ අත්ල දෙසට විහිදී යන්නට පුළුවන්. සුළු ඉදිමීමේ තත්ත්වයක් ඇතිවීම ද මෙහිදී සිදුවනවා. තමන්ගේ හුරු අතේ මේ තත්ත්වය මුලින්ම වැලඳීය හැකි අතර රෝගය උත්සන්න වීමත් සමඟ හුරු අතින් කාර්යයන් සිදුකිරීම ස්වභාවිකවම අඩුවන නිසා නුහුරු අතට අනවශ්‍ය පීඩනයක් එල්ල වනවා. මේ නිසා එක් අතකට මේ රෝගී තත්ත්වය වැලඳී නිසි පරදි ප්‍රතිකාර නොකරන විට අනෙක් අතටද වැලදීමේ හැකියාවක් පවතිනවා. ප්‍රතිකාර කරන වෛද්‍යවරයා ද මේ පිළිබඳව නිවැරැදි අවධානයක් යොමු කළ යුතුමයි.

ප්‍රතිකාර

පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මඟින් ඉතා ඉක්මනින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගී තත්ත්වයක් ලෙස ච්ඥ Qභඥපමචඪද හඳුන්වන්නට පුළුවන්. එහෙත් රෝග ලක්ෂණ මුලින්ම ආරම්භ වූ අවස්ථාවේ සිටම ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු වීමට වගබලා ගන්න. බටහිර ඖෂධ සහ වේදනා නාශක වර්ග භාවිත කිරීම නිසා වේදනාව දැනීම අඩු වුවත් රෝගයට පිළියමක් සිදුවන්නේ නැහැ. එම නිසා වේදනා නාශක ඖෂධවලින් මේ රෝගයට පිළියම් සෙවීමට යෑම නුවණට හුරු වන්නේ නැහැ.ප්‍රතිකාර ආරම්භ කිරීමත් සමඟම ආබාධයට ලක් වී ඇති අතට විවේකයක් ලබා දෙමින් එදිනෙදා සාමාන්‍ය වැඩකටයුතුවලින් ඈත් වී සිටීම අත්‍යවශ්‍ය වනවා. එසේ නොමැති අවස්ථාවලදී ප්‍රතිකාරවලින් සුවය ලැබීමට ගතවන කාලය වැඩිවෙනවා.පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර සලකන විට තෙල් ගැල්වීම, තැවීම සහ තෙල් මඟින් යොදන පත්තු භාවිත කරන්නට පුළුවන්. වැඩි වශයෙන් වේදනාව පවතින අවස්ථාවලදී චීන කටු වෛද්‍ය ක්‍රමයද භාවිත කරන්නට පුළුවන්. මහපටැඟිල්ලේ හෝ මැණික් කටුවේ චලන අවහිරතාවයන් සහ මාංශ පේශි දුර්වලවීම් ඇති විට සිදු කරන ප්‍රතිකාරවලට සමගාමීව ව්‍යායාම සිදු කිරීමද වැදගත් වෙනවා. මෙමඟින් මැණික් කටුව ආශ්‍රිත ශක්තිමත්භාවය පවත්වා ගැනීම සහ වැඩිදියුණු කිරීමත් මැණික් කටුව ආශ්‍රිත සන්ධිවල චලන පරාසයන් පවත්වා ගැනීම සහ වැඩිදියුණු කිරීමත් සිදු කරගන්නට පුළුවන්.

ප්‍රථමාධාර

මහපට ඇඟිල්ල හෝ මැණික්කටුව ආශ්‍රිතව වේදනා ඇතිවෙන අවස්ථාවලදී ක්ෂණිකව මිනිත්තු 10ත් 15ත් අතර ප්‍රමාණයක් අයිස් තැබීම සිදු කරන්න.

මඳ රස්නය සහිත උණු වතුර බඳුනක් ගෙන එයට ලුණු කැට කිහිපයක් දමා මැණික් කටුව දක්වා අත ගිල්වා මිනිත්තු 20ක් තබන්න. දිනපතා කිරීම වඩාත් යෝග්‍යයි.

ඔබ ගෘහිණියක් නම් පොල් මිරිකීම සහ රෙදි මිරිකීම වැනි ක්‍රියාකාරකම් හැකිතාක් අවම කරන්න.

ඔබේ කාර්යාලයේ වැඩ කටයුතුවලදී පරිගණක සහ ජංගම දුරකථන භාවිත කරනවා නම් එම වැඩ ප්‍රමාණයන් ද තරමක් හෝ දුරට අඩු කිරීම වඩා යෝග්‍යයි.

ඔබේ නිවෙසේ කුඩා ළමයින් සිටිනවා නම් ඔවුන් එසවීම සහ වඩා ගැනීම ද අවම කිරීමට කටයුතු කරන්න.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.