උවදුරු සඳහා පිළියම් රැගෙන රවි ධනුවට

දෙසැම්බර් 11, 2020

2020 වසරේ අවසාන රවිය වන හා 2021 පළමු රවිය ලෙස ගණන් ගැනෙන ගුරු හිමි ධනු රාශියට රවිගේ පැමිණීම 2020 දෙසැම්බර් මස 15 කුජ දින 21.32 ට සිදුවේ. මෙතැන් සිට 2021 ජනවාරි 14 තෙක් රවි එහි ගමන් කරන අතර, ‘මුල, පුවසල, තරුසල පෙදෙක ධනු රැස” කී වාසේ කේතු හිමි මුල නැකත සම්පූර්ණව ද කිවි හිමි පුවසල නැකත සම්පූර්ණව හා රවි හිමි උත්‍රසල නැකතේ ප්‍රථම පාදයට හසුවන ප්‍රදේශ මේ කාලය තුළ රවි විසින් පසු කරනු ඇත. රවි ධනු රැසට ප්‍රවේශ වන අවස්ථාවේ සඳු හිමි කටක ලග්නය හා ශනි හිමි මකර නවාංශකය උදාව පවතී. මෙහි ග්‍රහ තත්ත්වය විමසා බලමු. පස්වැන්නේ බුධ, කිවි කේතු ද 6 වැන්නේ රවි, සඳු දෙපළ ද සත්වැන්නේ ගුරු – ශනි දෙපළ ද , අටවැන්නේ නෙප්චූන් ද, 9 වැන්නේ කුජ ද 10 වැන්නේ යුරේනස් හා 11 වැන්නේ රාහු ද පිළිවෙළින් සිටී.

 

රාහු–කේතු දෙපලගේ පිහිටීම අනුව පාපකර්තරී යෝගය ද විද්‍යමාන වේ. ගුරු ශනි දෙපලගේ නීච භංග යෝගය ද සැලකිල්ලට භාජනය විය යුතු වේ. පස්වැන්නේ බුධ, සිකුරු දෙපල පාප ග්‍රහණයට හසුව තිබීම නිසා රට තුළ පවත්නා වයස්ගත රෝගී තත්ත්වයන් ඉක්මනින් පාලනය වන බවක් නොපෙනේ.

නව ඖෂධ වර්ග නිෂ්පාදනය වී ඒවා පාලනය කිරිමේ ක්‍රියාමාර්ග ඇතිවන බව ද කිව යුතුය. මෙවැනි බාධා කරදර මධ්‍යයේ වුව ද රටෙහි ආර්ථික, සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් අඩපණ නොවී පවත්වාගෙන යාමට හැකි වනු ඇත. පාසල් දරු දැරියන්ගේ අපේක්ෂාවන් ද පෙර පරිදි ඉටු කර ගැනීමට අවකාශ යෙදේ. ඒ සම්බන්ධව විධිමත් සැලැස්මක් දියත් කෙරේ. කලා ක්ෂේත්‍රය් දියුණුව සඳහා වැඩපිළිවෙළක් සකස් වේ. කාන්තා අභිවෘද්ධිය සඳහා නව ක්‍රියාමාර්ග ගන්නා අතරම ඒ සඳහා නව නීති ද සකස් කෙරේ. විදේශ රටවල් සමඟ කෙරෙන සංවර්ධනාත්මක වැඩපිළිවෙළ ඒ අයුරින්ම යථාවත් වේ. රජය අපහසුතාවයට පත්කොට දුර්වල කිරීමේ වැඩ පිළිවෙලවල් විරුද්ධ පාර්ශ්වයන්ගේ යටි අරමුණු හා කුමන්ත්‍රණ හිරු දුටු පිනි මෙන් විනාශයට පත්වේ. ආගම් පිළිබඳ ධර්ම සාකච්ඡා , සම්මන්ත්‍රණ, ආරම්භ වේ. නව ව්‍යවස්ථාවක් එළිදැක්වීම පිණිස අදහස් හා යෝජනා ප්‍රකාශයට පත් කෙරේ. මේ අනුව 2021 වසර රට සංවර්ධනය කිරීමේ වසරක් බවට පත් කෙරෙන බව නොකියා බැරිය. දෙසැම්බර් 17 බුධ ධනු රැසට පැමිණීමත් හා දෙසැම්බර් 24 දින අඟහරු මේෂ රාශිගතව බලවත්වීමත් සැලකිල්ලට ගත යුතු වේ. සැමට සුබසෙත

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.