ඔබේ නමේ මුල් අකුරෙන් කියැවෙන පලාපල

අගෝස්තු 16, 2024

මේ ලෝකයේ සෑම දෙයක්ම හඳුනාගැනීම සඳහා කිසියම් නමක් පවතී. නම යනු යම් දෙයක් හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබන ශබ්ද සංඥාවකි. එම ශබ්ද සංඥාව හඳුනා ගැනීම සඳහා යොදනු ලබන සංකේත, අක්ෂර ලෙස හඳුන්වයි. උච්චාරණයේදී ශබ්ද තරංග කම්පනය වීම මඟින් යම් බලයක් උත්පාදනය වෙයි. එම කම්පන බලවේගය එම වස්තුව කෙරෙහි නැවත බලපෑමක් එල්ල කරනු ලබයි.

විශේෂයෙන් මෙය පුද්ගලයන් කෙරෙහි වැඩි වශයෙන් බලපෑමක් එල්ල කරනු ලබන්නේ පුද්ගලයකුගේ නමක් වැඩි වශයෙන් නිතර නිතර භාවිත කිරීම නිසාය. පුද්ගලයන් කෙරෙහි නමක බලපෑම හඳුනා ගැනීමට ඈත අතීතයේ සිටම ශබ්ද ශාස්ත්‍රඥයන් බොහෝ උත්සාහ දරා ඇත. ඒ අනුව සෑම ශබ්දයකටම අංකමය වටිනාකමක් ඇති බව හඳුනා ගන්නා ලදී. වස් කවි සෙත් කවි ආදිය මෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රය පවා නිර්මාණය වී ඇත්තේ මේ අනුවයි. ඈත අතීතයේ සිටම ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද නම් තැබීමේ සිරිත් පැවති බව ඉතිහාසය තුළින් දැකිය හැකිය. ඒ අනුව සුබ පල දෙන වාසනාවන්ත නමක් තබා ගැනීමට කවුරුත් උනන්දු වූ අතර ඒ සඳහා අක්ෂර තෝරා ගැනීම අදට ද සිදුකරනු ලබයි. පුද්ගලයකුගේ නමක වැදගත්ම කොටස වන්නේ එහි මුලින්ම උච්චාරණය වන ශබ්දයයි. ඒ අනුවයි කවුරුත් නමක් තැබීමේදි මුලට එන අක්ෂරය සුබ අක්ෂරයකින් තබා ගැනීමට උනන්දු වන්නේ.

මේ ලිපියෙන් පැහැදිලි කරනු ලබන්නේ ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියා එහි මුලට එන අක්ෂරය අනුව ඔබගේ චරිත ලක්ෂණ ගතිගුණ පෞරුෂය සහ සිතුම් පැතුම් කෙරෙහි එය කොයි ආකාරයෙන් බලපානවාද යන්න පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කිරීමටයි. මේ තුළින් ඔබගේ නම පටන් ගන්න මුල් අකුර අනුව ඔබ පිළිබඳව යම් අදහසක් ඔබට ලබාගැනීමට හැකි වනු ඇත.

ඉංග්‍රීසි භාෂාවේ ඒ අකුරෙන් නම පටන් ගන්නා අයගේ පලාපල මුලින්ම සලකා බලමු.

ඔබගේ චරිතය තුළ ඉතා යහපත් ගුණාංග නිතැතින්ම පිහිටයි. ඔබ යහපත් සිතුවිලිවලින් යුක්ත පුද්ගලයකු වන අතර යමක් විනිවිද දැකීමේ හැකියාව ද පවතී. ඉතා සංවේදී මනසක් ඇති ඔබ බොහෝ විට හැඟීම්බර පුද්ගලයකු ද වෙයි. කිරීමට බැරි දේවල් ගැන කල්පනා කිරීමට හෝ කරන්නට කැමති නැත. කළ හැකි දේවල් ගැන පමණක් සිතන ප්‍රායෝගික මනසක් ඇති පුද්ගලයකු වෙයි. තැනට සුදුසු නුවණින් යුක්තව කටයුතු කිරීමට දක්ෂ වෙයි. නිදහස්කාමී පුද්ගලයකු වන ඔබ නිදහසේ කාටත් කරදරයක් නැතිව ජීවත් වීමට අපේක්ෂා කරයි. තම ස්වාධීනත්වය පවත්වා ගැනීමට උත්සාහ කරයි. බොහෝ විට මේ පුද්ගලයන් තම තත්ත්වය තරාතිරම අනුව යම් ප්‍රසිද්ධියක් අත්කර ගනු ලබයි. තමා මෙන්ම අන් අය ද සතුටින් සිටිය යුතු බව මොවුන්ගේ හැගීමයි. නිතරම දුක සැප අන් අය සමග බෙදා හදාගෙන ජීවත් වීමට කැමති මොවුන්ගේ එකම ප්‍රාර්ථනය ලස්සන ලෝකයක් දකිනු ලැබීමයි. සමාජය තුළ නායකත්වය ගෙන කටයුතු කිරීමට කැමැත්තක් දක්වන මොවුන් තුළ නායකත්ව ලක්ෂණ ද නිරායාසයෙන්් ම පිහිටයි. එමෙන්ම ජීවිතය තුළ වෙනස් අත්දැකීම් ලැබීමට ද මොවුන් තුළ කැමැත්තක් ඇත. විනෝදය සතුට සහ සංචාරයන් වෙනුවෙන් කාලය වෙන්කර ගැනීමට ද කොතරම් වැඩ තිබුණත් මොවුන් අමතක නොකරයි. බොහෝ විට මොවුන්ට එක් ස්ථානයක දිර්ඝ කාලයක් එක දිගට පදිංචිව සිටීමට නොහැකි වන අතර පදිංචිය වෙනස් කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයක් ලෙස දැකිය හැකිය. බොහෝ විට මොවුන් නිහඬ පුද්ගලයන් ද වෙයි. අන් අය තම කටයුතුවලට ඇඟිලි ගසනවාට අකමැති මොවුන් තම ආධිපත්‍යය පතුරුවාගෙන සිටීමට කැමැත්තක් දක්වයි.

 

ඕ - අකුර

ඔබේ නම පටන් ගන්නේ ඉංග්‍රීසි හෝඩියේ බී අකුරෙන් නම් ඔබ තුළ මෙවැනි ගති ලක්ෂණ බොහෝවිට පිහිටයි. තරමක් අධි සංවේදී මනසක් ඇති ඔබට බොහෝ දේවල් අන් අයට වඩා ඉක්මනින් දැනෙන ස්වභාවයක් පවතී. දැඩි සංවේදී බව ඔබේ දුර්වලතාවයක් ලෙස ද පෙන්වා දිය හැකිය. යහපත් මිතුරු සබඳතා පවත්වා ගැනීමට දක්ෂ වෙයි. එහෙත් ඕනෑවට වඩා මිනිසුන් විශ්වාස කිරීමට යාම තුළ යම් ආකාරයක ගැටලුකාරි තත්වයන්වලට මුහුණ දීමට සිදු සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම හොඳයි. අන් අයගේ අදහස් වලට හොඳීන් සවන් දෙයි. තමන්ට ලැබෙන්නා වූ යහපත් අවවාද උපදෙස් අනුව කටයුතු කිරීමට ද පෙලඹෙන ගතියක් පවතී. මේ අය අන් අයගේ අවධානය, ආදරය සහ ගෞරවය බොහෝ විට වැඩි වශයෙන් බලාපොරොත්තු වන ස්වභාවයක් පවතී. වැඩි දුර දිග නොබලා සබඳතා ගොඩනඟා ගනියි. ප්‍රේම සබඳතා ඇති කර ගැනීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු වන්නේ නොගැළපෙන අය තම ඇසුරට පත්විය හැකි බැවිනි. මොවුන් ඉතා යහපත් ගුණාංග සහිත පුද්ගලයන් වෙයි. ධනාත්මක සිතිවිලිවලින් සුබවාදීව කටයුතු කරයි. මොවුන්ගෙන් කිසිවෙකුටත් කරදරයක් නැත. ස්වාධීනව කටයුතු කරයි. කලහකාරී බවට මොවුන් කැමැති නැත. නිදහස් පරිසරයක සතුටින් ජීවත්වීම අපේක්ෂාව වෙයි. අන් අයගේ මතවාද තර්ක විතර්ක හමුවේ ඉතා සංයමයෙන් කටයුතු කරන අතර සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගනියි. නිහතමානීබව සහ විශ්වසනීය බව මොවුන්ගේ ප්‍රධාන ලක්ෂණයක් වෙයි.

(අනෙකුත් අකුරුවලට අදාළ පලාපල ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.)

ඡ්‍යොතිර්වේදී

අමිල ජීවන්ත දීපාලෝක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.