ඔබේ නමට හිමි අංකය 4,5 හෝ 6 ද?

අගෝස්තු 2, 2024

පසුගිය දෙසතියේ ම අපි ඔබට ඔබේ නමේ අංකය සොයා ගන්නා ආකාරය දැක්වූයෙමු. අද එහි තවත් කොටසක් ගෙන එන්නෙමු. නමෙහි අකුරුවල අගය ඉංග්‍රීසි අකුරුවලට අදාළ අංකවල අගයට හැරවූ විට ලැබෙන අවසන් තනි ඉලක්කමේ අගයෙන් හෙළිවන ඔබේ ජීවන තොරතුරු වෙත යොමු වෙමු.

ඔබේ නමට හිමි

ප්‍රකාශන අංකය 4 නම්

 

ඔබේ නමින් කියවෙන ප්‍රකාශන අංකය හෙවත් නාම අංකය හතර නම් ඔබට මේ කරුණු කාරණාවන් විශේෂ ලෙස බලපානු ලබයි. අංක හතර හිමි ඔබ ජීවිතය පිළිබඳ ඉතා හොඳ දැක්මකින් කටයුතු කරයි. පවුල තුළ සියලු දෙනා සමඟ සුහදව කටයුතු කරන ඔබ තම දරුවන් වෙනුවෙන් සහ බිරිඳ හෝ ස්වාමියා වෙනුවෙන් නොපිරිහෙලා යුතුකම ඉෂ්ට කරනු ලබයි. සංගීතයට සහ වාදනයට හොඳ ප්‍රවීණත්වයක් උරුම කරගනී. ඒ වගේම ශාස්ත්‍රීය වශයෙන් සංගීතය හා වාදනය හැදෑරීමට ඔබ තුළ ආශාවක් හා උනන්දුවක් ඇති කරයි. ජීවිතයේ ඔබට මුහුණ දීමට සිදු වන්නාවූ ප්‍රශ්නකාරි අවස්ථාවන් ඉතා ක්‍රමානුකූලව විසදා ගැනීමට සමත් වෙයි.

එමෙන්ම ඔබට ඉතාමත් හොඳ සංවිධාන හැකියාවක් ඇති අතර ආයතනයක ප්‍රධානත්වය දැරීමට හැකි හොඳ කළමනාකරණ හැකියාවක් ඔබට පිහිටනු ලබයි. ඔබ සිහින මවනු ලබන්නේ ඉෂ්ට කර ගත හැකි දේවල් පිළිබඳ පමණි. ප්‍රායෝගිකව ජිවිතේ දෙස බලයි. ඔබට දියුණු වීමට හොඳ සැලසුම් ඇති අතර ඔබ ඒ සඳහා ඉතා දක්ෂ පුද්ගලයකු වෙයි. කොහොම වුණත් මුදල් පරිහරණයේදී ඔබ දෙවරක් සිතා බැලිය යුතුයි. යම් ආකාරයක වියදම් කිරීමේදී ආදායම සහ වියදම තුලනය කර ගැනීමට වැඩි අවධානයක් යොමු කිරීම හොඳයි. සෑම අවස්ථාවකදීම ඔබගේ උද්යෝගීමත් භාවය අඩු නොවී තබා ගැනීමද ඉතා වැදගත් වෙයි ඒ තුළින් ඉතා සාර්ථකව කටයුතු සිද්ධ කර ගැනීමට හැකියාව ලැබෙයි.

සමහර අවස්ථාවන්වලදී ඔබ ඉතා ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වීම දුර්වලතාවයක් ලෙස දැක්විය හැකිය . සමහර ප්‍රශ්නවලට කෙටි මාර්ග ඔස්සේ පිළිතුරු සෙවීමට පෙලඹීම දක්නට ලැබෙයි. කොහොම නමුත් අනිත් අයට සමාජයට ආදර්ශමත් ජීවිතයක් ගත කරන ඔබගෙන් අන් අයට උගත හැකි පාඩම් බොහෝය. ස්ථිර අධිෂ්ඨානයකින් කටයුතු කරන ඔබට, ඔබ කරන දේ පිළිබඳ හොඳ විශ්වාසයක් ඇති අතර ඔබ තෝරාගත් අරමුණු කරා යෑමේ දී ඔබේ මග පෙන්වන්නා වන්නේ ද බොහෝ විට ඔබමය.

ඔබ විසින් පටන් ගන්නා වැඩ අතරමග නතර කරදැමීමට ඔබ කිසිසේත් කැමති නැත කෙසේ හෝ අවසානයක් කරා ගෙන යන්නට සමත් වෙයි. ඔබේ එකම අරමුණ බවට පත් වන්නේ පටන් ගත් වැඩ කෙසේ හෝ සාර්ථකව නිමාවට පත් කිරීමයි. ඔබ තුළ විවෘත ගති පැවතුම් ඇති අතර ඔබව අන්‍යයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට ද හැකියාව ඇත. කෙසේ වෙතත් ඔබට යම් දැනුම් ඇති අයෙකුගේ මඟ පෙන්වීමක් සහ දිරි ගැන්වීමක් ලැබෙන්නේ නම් ඉතා සාර්ථක භාවයට සහ දියුනුවට පත්වීමට පහසුවෙන් හැකියාව ලැබෙනු ඇත.

 

ඔබේ නමට හිමි

ප්‍රකාශන අංකය 5 නම්

ඔබගේ නාම අංකය 5 නම් ඔබගේ චරිතය තුළ මෙවැනි ගති ලක්ෂණ හා විශේෂතා පිළිබිඹු වෙයි. ඔබ දෑතේ මහන්සියෙන් ජීවත්වීමේ හැකියාවක් උරුම කරගත් පුද්ගලයෙකි. බොහෝ විට කුඩා කාලයේ සිටම විදේශ සංචාර සහ එතෙර රැකියාවන් යෙදීමේ වාසනාව ඇත. ඔබ යමක් ප්‍රකාශ කිරීමට පෙර දෙවරක් ඒ පිළිබඳ සිතා බැලීම හොඳයි. වචන භාවිතයේදී වඩා සැලකිලිමත් වන්න.

ඔබ ආහාර ගැනීමේදී මනා සැලකිල්ලක් දැක්විය යුත්තේ ඔබගේ සෞඛ්‍යය කෙරෙහිය. විවිධ අපත්‍ය ආහාර ආදිය නිසා බොහෝ ඉක්මනින් ලෙඩ රෝග සාදා ගැනීමට පෙළඹෙයි. එමෙන්ම බෝවෙන රෝග ආදියෙන් වඩා ප්‍රවේශම් වීම හොඳයි. ඉතා හොඳ චින්තන ශක්තියක් ඇති ඔබට කරුණු වහා අවබෝධ කරගැනීමේ හැකියාවද තිබේ. ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයන්, දේශපාලකයන්, මහජන සම්බන්ධතා නිලධාරීන්, නීතිඥයන්, මැති ඇමැතිවරුන් ආදී බොහෝ වැදගත් මිනිසුන් මේ නාම අංක පහ හිමි පුද්ගලයන් අතර වෙයි. විශේෂ සහජ හැකියාවන් දක්ෂතාවයන් රැසක්ම මොවුන් සතු වන අතර ඔවුන් කුමන ක්ෂේත්‍රයක වුණත් ඉතා ඉදිරියෙන් සිටින පුද්ගලයන් වෙයි. කුමන හෝ ක්ෂේත්‍රයකින් ජීවිතේ සාර්ථකත්වය ළඟා කර ගනියි.

අවශ්‍ය තරම් විවේක ගැනීම ද එමෙන් ම නිතරම ව්‍යායාමවලට හුරු වීම ද කෑමෙන් බීමෙන් ප්‍රවේශම් වීම ද ඔබ වඩා සැලකිලිමත් විය යුතු කාරණාවන් වෙයි. එමෙන්ම ඔබ තම මතයට තනි තීරණ ගෙන වැඩ කරන ගතිය තරමක් අඩු කර නම්‍යශීලී ස්වභාවයෙන් යුතු පුද්ගලයකු වීම අවශ්‍ය වන අතර තැනට ගැළපෙන ආකාරයෙන් තමන්ගේ කටයුතු වෙනස් කර ගැනීමට හුරු වීම ද මතක තබා ගත යුතු වැදගත් කාරණාවන් වෙයි. ඔබට යම් තත්ත්වයකට අනුව හැඩ ගැසීමට සැලකිය යුතු තරම් කාලයක් අවශ්‍ය වෙයි.

ඔබ බොහෝ දේවල් සම්බන්ධව දැනුමක් සහ පළපුරුද්දකින් යුතු පුද්ගලයකු වෙයි. යමක් කළ යුතු ආකාරය ඉක්මනින්ම වැටහෙයි. නිතරම ඔබේ දියුණුවට අතහිත දෙන මිනිසුන් පමණක් ඇසුරු කරන්න. ඒ තුළ ඔබේ දක්ෂතා හැකියා වර්ධනය කර ගැනීමට දියුණු වීමට අවස්ථාව උදාකරගත හැකියි. ඔබට සෑම විටම අලුත් දෙයක් පිළිබඳ ඉගෙන ගැනීමටත් සෙවීමටත් උනන්දුවක් සහ කුතුහලයක් පවතී. එකම දෙයක් තුළ ඇලී ගැලී සිටීමට ආසා නොකරන ඔබ විවිධත්වයට සහ අලුත් දේට ඇලුම් කරයි. එමෙන්ම ස්වාධීන අදහස් ඇති ඔබ නිදහස් මතධාරියෙක් ලෙස ද හැඳීන් විය හැකිය. ඔබේ නිදහසට කිසිවෙක් බාධා කරනවට කැමති නැත. මොවුන්ට ම ආවේණික ගමන් මාර්ගයක ජීවිතය ගතකරන අංක පහ හිමියන් ජීවිතයේ ඉහළ සාර්ථකත්වයකට ළඟා විය හැකි පුද්ගලයන් වෙයි.

 

ඔබේ නමට හිමි

ප්‍රකාශන අංකය 6 නම්

නාම අංක හෙවත් ප්‍රකාශන අංක 6 න් උපන් ඔබ ගැන සඳහන් කරන විට තමන්ගේ ගෞරවය රැකගෙන සමාජයේ අනිකුත් අය කෙරෙහි ද ගෞරවණීය පුද්ගලයකු ලෙස නීතියට ගරු කරමින් කාටත් කරදරයක් නැතිව ජීවත් වන පුද්ගලයකු ලෙස හැඳීන්විය හැකියි. නාම අංක 6 හිමි අය තමන් ගැන ලොකු විශ්වාසයකින් කටයුතු කරයි. ඔබට ව්‍යාපාර අතින් සහ ස්වයං රැකියා මඟින් හොඳ සාර්ථකත්වයක් ලැබිය හැකිය.

කලාත්මක හැකියාවන්ගෙන් ද යුක්ත වන ඔබට විවිධ නිර්මාණාත්මක දේවල් කිරීමට හැකියාව ඇති අතර මෝස්තර නිර්මාණවලට මෙන්ම රංගන හැකියාවන්ගෙන්ද යුක්ත වෙයි. ඔබ මිනිස්සුන්ට උදව් කිරීමටද කැමතිය. ඉතා උණුසුම් හැඟීමකින් යුතුව අන් අය සමඟ ගනුදෙනු කරන ඔබ ආදරයේදි ඉතා හැඟීම්බර පුද්ගලයකු වෙයි. ඔබ ඔබගේ රාජකාරි කටයුතු වුවමනාවටත් වඩා කිරීමට පෙලඹෙන ගතියක් තිබේ. රැකියාව ප්‍රමුඛ කාර්යය කොට සලකයි.

ස්වභාවික පරිසරයට ඉතා ඇලුම් කරන ඔබ තම ගෙවත්ත මිදුල ඉතා ලස්සනට අලංකාර කිරීමට පෙලඹෙන අතර මල් වගා කිරීමට මෙන්ම උයන් අලංකරණයට ළැදියාවක් දක්වයි. නිතරම පිළිවෙළටත් ලස්සනටත් සිටීමට කැමති ඔබ තම ශරීර ස්වභාවය සහ රූපය පිළිබඳව උනන්දුවක් දක්වන අයෙකි. සංගීතය මෙන්ම ගෘහ නිර්මාණය වැනි දේවල්වලට ද වඩාත් ප්‍රිය කරයි. සතුන් කෙරෙහි ද ඔබ තුළ විශේෂ ආදරයක් කරුණාවක් දක්නට ලැබේ.

සැබවින්ම ඔබ මනුෂ්‍ය ගතිගුණවලින් පිරිපුන් පුද්ගලයකු වෙයි. අවශ්‍ය ඕනෑම විටෙක මිත්‍රත්වයෙන් උදව් කරයි. අන් අයගේ ප්‍රශ්න ගැටලු නිර්මාණශීලි ආකාරයෙන් විසඳා දීමේ හැකියාවක් ඔබට ඇත. ඔබගේ විවාහය සහ ආදරය කුමන පැත්තකට හැරුණත් එය එතරම් ගැටලුවක් කර නොගනී. සියල්ල උපේක්ෂාවෙන් ඉවසීමෙන් විඳදරා ගනී. පිරිසක් නිවැරදිව මෙහෙයවීමේ හැකියාව ඔබට ඇත. වෙනත් අයගේ ජීවිතයේ ප්‍රශ්න පිළිබඳ ඔබ ඕනෑවට වඩා කරදර වීම අවශ්‍ය නොවේ. ස්වභාවයෙන්ම සමාජශීලී සහ සුහදශීලී පුද්ගලයෙක් වන ඔබ කා අතරත් ජනප්‍රිය පුද්ගලයෙක් වනු ඇත.

ඔබේ නමට හිමි ප්‍රකාශන අංක 7, 8, 9 පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

 

ඡ්‍යොතිර්වේදී අමිල ජීවන්ත දීපාලෝක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.