නීච භංග රාජ යෝගය බලවත් කරමින් අඟහරු මිථුනයට එයි

අගෝස්තු 23, 2024

 

මේ වන විට ධනු රාශියට බල පැවැත්වෙන නීච භංග රාජ යෝගය බලවත් කරමින් කුජ මිථුන රැසට සතුරුව සංක්‍රමණය වීම මේ මස 26 වැනිදා සඳුදා පස්වරු 3.23ට සිදු වෙයි.

එයින් මේෂ, වෘෂභ, වෘශ්චික, ධනු, මකර, මීන යන ලග්න හිමියන්ට සුබපල උදා කෙරෙන අතර මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, කුම්භ ලග්න හිමියන්ට මිශ්‍රපල උදා කෙරෙනු ඇත.

කන්‍යාවේ සිකුරු නීච වීමත් චන්ද්‍රයා උච්ච මූල ත්‍රිකෝණව වෘෂභයේ සිටීමත් නිසා මේ නීච භංග රාජ යෝගය උදා වී පවතී.

එසේම මිථුනයෙහි සතුරුව සිටින කුජ ඔක්තෝබර් 20 වැනිදා කටක රාශිගත වීමෙන් ද යළිත් නීච භංග රාජ යෝගයක් එපරිද්දෙන්ම ක්‍රියාත්මක වීමට හේතු වනු ඇත. දෙසැම්බර් 04 වැනිදා කුජ වක්‍ර වීමෙන් පසුව ද පවතින මේ තත්ත්වය 2025 ජූනි 07 වැනිදා කුජ සිංහ රාශිගත වීම දක්වා බලපැවැත් වේ.

රාජ වංශික අඟහරු හිස, නාසය, මුහුණ, ලිංගේන්ද්‍රියන්, මුත්‍රාශය, වකුගඩු, ඇට මිදුළු, ඉකිලි, බඩවැල්, වම්කන ආදි ශාරීරික කොටස්වලට ආධිපත්‍යය පතුරවනු දැකිය හැකි වෙයි.

අඟහරුගේ මේ සතුරු සහ නීච මෙන්ම වේගවත් චලනයන්ගෙන් ඇතිවන විවිධ බලපෑම්වලින් අත් මිදීමට කොළොන් වෘක්ෂය මුල් කරගත් ප්‍රබල සෙත් ශාන්ති ඉටු කිරීම අතිශයින් යෝග්‍ය වනු ඇත.

එසේම ජටා මාංශ, රුක් මල්, බෙලි, සුදුහඳුන්, බැවිල, කනේරු මල්, මූණමල්, පෙරුම්කායම්, තැම්බූ ජල ස්නානය මඟින් කුජගෙන් හටගන්නා තුන්දොස් සමනය කෙරෙයි. නිදුක් නීරෝගි බව මතුවෙයි. අමනුෂ්‍ය දෝෂයන් දුරුවෙයි.

අභිසම්භිධාන, කන්ද කුමාර, ජීවම් බලැති ආරක්ෂා යන්ත්‍ර මෙන්ම තෙයියෝරු, යක්ෂ භූත වැනි තෙල් තඹ යන්තරවලට යොදා පැලඳීම යහපත් වෙයි.

කොරල් සහ රතු මැණික් මෙකී අඟහරුගේ මිථුන, කටක රාශි ආශි‍්‍රත සතුරු නීච අපලකාරී තත්ත්වයන් මර්දනය කිරීමට රුකුලක් වනු ඇත.

ඊට අමතරව කොරල්, තිරිඟු, රන්, තඹ මෙන්ම පරිප්පුවලින් සකස් කළ ආහාර වර්ග, ගවයන්, රතු අරලිය මල්, සීනි, තද රතු රෙදිපිළි ආදිය දන්දීම, මෙකී කුජගේ දිගුකාලීන සංචරණ කාල සීමාවේදී ඇති කළ හැකි දෝෂ සමනය කර යහපත් ප්‍රතිපල ගෙන දීමට සමත් වෙයි.

 

මේෂ ලග්නය

රැකියා ආදායම් මාර්ග, තැන්පත් දේපළ වස්තුව, සොර සතුරුබලවේග, රෝගාබාධක අභිබවායාමේ ශක්තියක් ඔබ වෙත රැඳී ඇත. මේ අනුව බුද්ධිමත්ව දූරදර්ශීව තීරණ තීන්දු ගැනීම යහපත් වෙයි.

වෘෂභ ලග්නය

පංචමහා පුරුෂ යෝග අතරින් සස මහා යෝග බලය 10 වැන්නවූ කර්මස්ථානගතව උදාව ඇත. පදිංචි ස්ථානගතව මෙන්ම ලැබීම් අංශය උත්සාහය, උනන්දුව අධිෂ්ඨාන ශක්තිය දියුණු කෙරෙයි. අවදානම් කටයුතු මඟ හැරී යයි.

මිථුන ලග්නය

මානසික කැළඹීම් මතුවිය හැකිය. උසස් ප්‍රභූ ජනතාව ඇසුරට ලැබෙනු ඇත. අභියෝගයන්ට මුහුණ දී උසස්ම අරමුණු රැසක් සාර්ථකත්වයට පත් කර ගනු ලබන්නේ ය.

කටක ලග්නය

සුවිශේෂී බලාපොරොත්තු කෙරෙහි දැඩි අවධානයක් වගකීම් සඳහා ද නැඹුරු විය යුතු කාල පරාසයකි. හදිසි තීරණ තීන්දු යෙදෙනු ඇත. උසස් ප්‍රභූ ජනයා ඇතුළුව රාජකීය අනුග්‍රහයන් ලැබෙන කාල පරාසයක් බැව් පෙනී යයි. අභියෝග ජය ගනියි.

සිංහ ලග්නය

තිරසාර හැඟීම් සමුදායක් මත නව ජීවන ගමන් මඟක සතුටුදායක ක්‍රියාකාරීත්වයක් පෙනී යයි. හදිසි තීරණ තීන්දුවලින් වැළකීම අභියෝගයන් සඳහා සාර්ථකව මුහුණ දීමෙකි.

කන්‍යා ලග්නය

අනාගත අරමුණු සාක්ෂාත් කර ගැනීමෙහි ලා මහත් වූ උත්සාහයක් උනන්දුවක් දරනු පෙනී යයි. සමාජගත ඇසුරමත වර්තමාන හැල හැප්පිලි බාධක අභිබවා යාම සිදු කෙරෙයි.

තුලා ලග්නය

පදිංචි ස්ථානයෙහි කටයුතු රැසක් අතපසු වන බවක් පෙනී යයි. දෙස් විදෙස් සංචාරක කටයුතු, සතුරන් අභිබවා මුදුන් පමුණුවා ගනු ලබයි. බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියා කරයි. අභිමතාර්ථයන් රැසක්ම සතුටුදායක බවක් ගනු ලබයි.

වෘශ්චික ලග්නය

උත්සව, අලුත්වැඩියා කටයුතු නිමා කරනු ඇත. පවුලේ පිරිසෙහි උදාසීන ගති දුරුවෙයි. ජීවන ගෘහයෙහි සමාරම්භක කටයුතු රැසකින් ආර්ථිකමය වාසි රැසක්ම ළඟා වෙයි. දූ දරු ප්‍රශ්න මඟ හැරෙයි.

ධනු ලග්නය

අභියෝග රැසක්ම ශුභවාදී අරමුණු සහ ක්‍රියාකාරකම් අතරින් තෘප්තිමත් කර ගත හැකිය. අතපසු වූ හෝ කල්ගත වූ ස්වකීය අරමුණු සතුටුදායක බවක් ගනු ලබයි. සතුරන් සහ රෝගාබාධ අභිබවා ඉලක්ක තුළින් ජයගනු ලබයි.

මකර ලග්නය

නිර්මාණශීලීව බොහෝ දුරට බාධක අවහිර විජයග්‍රහණය කරනු ඇත. හිස, උරහිස්, උදරය, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රතව රෝගාබාධ ඇති වෙයි. දරු දැරියන්ගේ ඉදිරි ගමන්මඟට සරිලන අරමුණු ජයගනු ඇත. කාර්මික, කෘෂිකාර්මික ක්ෂේත්‍රවල කටයුතු සඳහා සුබ වෙයි.

කුම්භ ලග්නය

සස යෝග බලයෙන් උදාර බවක් ගෙනදෙනු පෙනී යයි. සෙම් කෝප දෝෂ මතුවිය හැකිය. කොන්ද, තුනටියෙහි මෙන්ම පාදවලද, උදරගතවද යම් යම් ශාරීරික තත්ත්වයන් දුර්වල වන බවක් පෙනෙයි. සමාරම්භක කටයුතු රැසක්ම අභියෝග මැඩගෙන විජයග්‍රහණය කර ගනු ලබයි.

මීන ලග්නය

අවබෝධය දැනුම මත පදනම්වූ මානසිකත්වය නිසා ශුභවාදී දර්ශනයන් සැබෑ වී යෑමේ ප්‍රවණතාවයක්ද යෙදී ඇත. අභියෝග මැඩගෙන කටයුතු කිරිමෙන් උසස්ම ජීවිතයකට මඟ සැලසෙනු ඇත. අවංකව, අභිතව, මුහුණ දීමෙහි ශක්තිය තව දුරටත් දියුණුකර ගැනීම අරමුණු රැසකින්ම වියග්‍රහණය ගෙන දීමට සමත් වන්නේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.