දරුපලවලට ඒරාෂ්ටකය බලපාන අයුරු

අගෝස්තු 23, 2024

 

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටි සනත් ජයසූරිය මහතාට ඒරාෂ්ටක කාලවකවානු තුළදි ලැබුණු සුබ ප්‍රතිඵල කිහිපයක් පිළිබඳව මීට පෙර ලිපියකින් සාකච්ඡා කරන ලදී. එදින සඳහන් කළ පරිදිම ඔහුගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව, ලග්නය කුම්භ වේ.

ඒ අනුව ඒ මහතාට 2023 වසරෙහි ජනවාරි පමණ සිට ආරම්භ වූ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව දැනටද පවතින අතර එය 2025 වසරෙහි මාර්තු 29 වැනිදා දක්වාම තවදුරටත් පවතියි. පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ප්‍රබල ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම් පරදවා, වසර 27 කට පසු අපරාජිත එක්දින තරගාවලි ජයක් ලැබූ අතර සමාජ මාධ්‍ය මඟින් ලැබෙන තොරතුරුවලින් මෙන්ම බොහෝ අය කතා බහ කරන තොරතුරුවලින්ද පෙනී ගියේ, එම ජයග්‍රහණයට අදාළ ගෞරවයෙන් වැඩි කොටසක් සනත් ජයසූරිය මහතාට හිමි විය යුතු බවය. ඉන්දියාව සමඟ ලැබූ ජයග්‍රහණය කිසිසේත් සුළු පටු නොවන්නේ, එය කිසිදු පුද්ගලයකු කිසිසේත් බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් වීම නිසා සහ ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ පැවති අවසන් එක් දින තරග කිහිපයේදීම අන්ත පරාජයක් ලබා තිබීම නිසාය. ඒ අනුව සනත් ජයසූරිය මහතාගේ කීර්තිය ඉහළට ගිය, මේ අනපේක්ෂිත සිදුවීම සිදු වන්නේද ඒ මහතා අති ප්‍රබල ඒරාෂ්ටකයක් ගත කරද්දී බව පෙනේ.

මීළඟට බලාපොරොත්තු වන්නේ, ඒරාෂ්ටක කාලසීමාවලදී පෞද්ගලික වශයෙන් මා දන්නා තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුට ලැබුන අනපේක්ෂිත අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නටය. මා දන්නා සිංහ ලග්නය හිමි යුවළකට ඔවුන් කෙතරම් බලාපොරොත්තු සහගත වුවත් කුමක් හෝ හේතුවක් නිසා දරු පල ලාභ නොලැබුණි. 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදාත් 2006 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලසීමාව තුළද 2007 වසරෙහි ජූලි 17වැනිදාත් 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් අතර කාලය තුළද ඔවුන් දෙපළම ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත විය. තවද ඊට වසර දෙකහමාරකට පමණ පෙර සිටම ඔවුන් දෙදෙනාට ලග්න ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ආරම්භ වී තිබුණි. ඒ අනුව, ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ආරම්භ වන්නට ආසන්න වෙද්දී ඔවුහු කුඩා දරුවකු දරුකමට හදාවඩා ගැනීමට ලබා ගත්හ. ඒ දෙපළට දරු පල නොලැබුණද ප්‍රබල ඒරාෂ්ටක කාලසීමාවක් තුළ, ජීවිතයේ ප්‍රථම වරට දරු සුරතල් බැලීමට හැකි විය.

තවද මා දන්නා ධනු ලග්නය හිමි දෙපළකටද දරු පල බලාපොරොත්තුවෙන් සිටියද කුමක් හෝ හේතුවක් නිසා දරු පල ලාභ නොලැබුණි. ඔවුන් දෙපළ 2004 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2005 වසරෙහි ජනවාරි 6 වැනිදාත් අතර කාලය තුළද, 2005 වසරෙහි මැයි 29 වැනිදාත් 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදාත් අතර කාලය තුළද 2006 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත්, 2007 වසරෙහි ජූලි 17 වැනිදාත් අතර කාලය තුළද අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කර තිබුණේ හරියටම එම කාලසීමාව තුළ ඔවුන් දෙපළද කුඩා දරුවකු දරුකමට හදා වඩා ගන්නා ලදී. එනම් ඔවුන් දෙපළටද දරු පල නොලැබුණද තදබලම ඒරාෂ්ටක කාලසීමාවක් තුළ දරු සුරතල් බැලීමට හැකි විය.

මීළඟට දරු පල ලාභ පිළිබඳව අහම්බෙන් ලැබුණ ආරංචි කිහිපයකට අදාළ ග්‍රහ සටහන් විස්තර පිළිබඳව කතාබහ කරමු. මා දන්නා මීන ලග්නය හිමි තැනැත්තියකට 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත්, 2012 වසරෙහි මැයි 13 වැනිදාත් අතර කාලය තුළද 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත්, 2014 වසරෙහි නොවැම්බර් 3 වැනිදාත් අතර කාලය තුළද අෂ්ටම ඒරාෂ්ටකයක් පැවතුණි. එම කාල සීමාව තුළ ඇයට දරුවෙකු ලැබී ඇත. තවද මා දන්නා තවත් මීන ලග්නය හිමි තැනැත්තියකට ද ඉහත කී කාලසීමාව තුළම ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වෙමින් තිබුණි. මේ අෂ්ටම ඒරාෂ්ටක කාලසීමාව තුළ ඇයට අහඹු ලෙස විවාහයක් සිදුවී ඇති අතර දරුවකු පිළිසිඳ ගෙන ඇත. එහෙත් අවසානයේදී අදාළ දරු උපත මළ දරු උපතක් වී ඇත.

මා දන්නා කුම්භ ලග්නය දරන තැනැත්තියකගේ 7 වැනි භාවයෙහි චන්ද්‍රයා තැන්පත්ව ඇත. ඒ අනුව ඇයට 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළද, 2012 වසරෙහි මැයි 13 වැනිදාත්, 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත් අතර කාලය තුළද අෂ්ටම ඒරෂ්ටකය සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර යන ඒරාෂ්ටක දෙකම ගත වී ඇත. එම කාල සීමාව තුළ ඇයට දරු උපතක් සිදු විය. මෙහි විශේෂත්වය වන්නේ ඇයට මේ දරු උපත සිදු වී ඇත්තේ ඇයගේ ප්‍රථම දරු උපත සිදු වී වසර 10කට පමණ පසුව වීමය. ඒරාෂ්ටක කාලවකවානු, දරු උපත් කෙරෙහි කෙතරම් තදබල බලපෑමක් ඇති කරනවාද යන්න පිළිබඳව මේ උදාහරණයෙන් ද මොනවට පැහැදිලි වෙයි. මිට පෙර ලිපියකදී ද මෙවැනිම උදාහරණයක් දක්වා ඇත.

මීට වසර ගණනාවකට පෙර, මා ඉතාම හොඳින් දන්නා තැනැත්තියක් තම ජන්ම පත්‍රය මා වෙත යොමු කළාය. ඇය මා වෙත ජන්ම පත්‍රය යොමු කළේ 2006 වසරෙහි නොවැම්බර් මාසයෙහි මුල් සතියේදි වන අතර ඇයගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍ර ග්‍රහයා සිංහ රාශිය තුළ ඇති නිසා 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදා සිට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ආරම්භ වන බව මම දුටුවෙමි. ඒ අනුව යම් දෙයකට පමණ පසු පවුලේ අවධානය යොමු වන ආකාරයේ සිදුවීමක් සිදු වන බවට මම ඇයට අනාවැකි පළ කෙරුවෙමි. ඇය සිනාසුණා මිස ඒ පිළිබඳව තවදුරටත් සිතන්නට නැත. ක්‍රමයෙන් සති 2ක් ගත විය. 2006 වසරෙහි නොවැම්බර් මාසයෙහි ඇය කාර්යාලයට පැමිණියේ නැත. ඇය නිවසින්ද අතුරුදන්ව සිටි නිසා ඇයගේ මවුපියන් පොලිසියටද පැමිණිලි කරමින් සතියක් මුළුල්ලේ ඇයව සොයා ඇත. 2006 වසරෙහි නොවැම්බර් මාසය තුළ ඇයගේ ජීවිතයෙහි සිදු වූ පෙරළිකාර සිදුවීම කුමක්ද යන්න පිළිබඳවද තදබල ඒරාෂ්ටක කාලවකවානු ගත වද්දී තවත් කිහිප දෙනෙකු මුහුණ දුන් අපූරු අත්දැකීම් පිළිබඳවද සාකච්ඡා කිරීමට මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.