විශ්ව ශක්තිය ළඟා කරගන්නා බලවත් පුද්ගලයෙකි

අගෝස්තු 23, 2024

දැනට වසරකට හෝ දෙකකට පමණ පෙර භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට පිරිනැමුණු බව ඔබ අසන්නට ඇතැයි මම සිතමි. එම සම්මානය ලැබීම සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද නව සිද්ධාන්තය එක්තරා දුරකට විද්‍යාඥයන් පමණක් ම නොව, ලෝකය පිළිබඳව ගවේෂණයේ යෙදෙන බොහෝ පිරිසකගේද මනස කලඹවාලන්නට සමත් විය.

භෞතික විද්‍යාවේ ගණිතමය සංකල්පවලින් පරිබාහිරව අපට තේරෙන භාෂාවෙන් වටහා ගත් විට පෙනී යන්නේ එය ලොව අංක එකෙහි බුද්ධිමතකු ලෙස අදටත් පිදුම් ලබන නොබෙල් ත්‍යාගලාභී ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්තාවාදයට ද එක්තරා දුරකට අභියෝග කරන්නක් බවකි.

විශේෂයෙන්ම ඔහු විසින් ඉදිරිපත් කරන ලද ආලෝකයේ වේගය කිසිවකුට ඉක්මවා යා නොහැකිය යන මතය මෙහිදී අභියෝගයට ලක් කෙරුණු අතර, එසේ යා හැකි ශක්තීන් තිබෙන බව ක්වන්ටම් භෞතික විද්‍යාවට අනුව පෙන්වා දෙනු ලැබිණි. ඇල්බර්ට් අයින්ස්ටයින් පවා මේ කාරණයේදී තමන්ටද නොතේරෙන අබිරහසක් ඉතිරිව තිබෙන බව පිළිගෙන තිබේ යයි යන්නද මේ සමඟම ලෝකයට හෙළිදරව් කෙරිණි. යම් යම් භෞතික වස්තූන්ගේ අංශූන් තවත් පුද්ගලයකු සිටින විට ක්‍රියාත්මක වන ආකාරය සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් බව අද ක්වන්ටම් භෞතික විද්‍යාව විසින් පර්යේෂණාත්මකව පෙන්වා දී අවසන් ය. ඉතිරි වී ඇත්තේ එය සිදුවන්නේ කොයි ආකාරයකින්ද යන්න නිශ්චිත පැහැදිලි කිරිමක් සිදු කිරීමට විද්‍යාඥයින් අපොහොසත් සිටීමය.

මේ යුගයේ බොහෝ දෙනකු සිල්ලර ප්‍රතිකාර විධි සඳහා උපයෝගී කර ගන්නා බව පෙනෙන විශ්ව ශක්තිය නම් සංකල්පය මේ සඳහා ද මුල් වන්නට ඇතැයි යන අදහස මෙහිදී පොදුවේ සිතට නැඟෙන මතයකි.

එහෙත් විශ්වය අරබයා මේ වන විට ඉතා සුළු වශයෙන් හෝ සොයාගෙන නිශ්චිත නිගමනවලට පැමිණ ඇති කරුණු වන චලිතය, ආලෝකයේ ප්‍රවේගය, ශබ්දයේ වේගය, මන්දාකිනි, කළු කුහර, නිහාරිකා, ආදිය පිළිබඳව මෙන්ම විශ්ව ශක්තිය පිළිබඳවද විද්‍යාත්මක නිගමනයකට විද්‍යාඥයන් තවමත් එළැඹී නැත. උදාහරණයක් වශයෙන් පවසනවා නම් එය විශ්වයේ මෙන්න මෙතැනින් නිකුත්වන, මෙනමින් මෙවැනි ශක්තියකින් හා මෙවන් වේගයකින් යුත් කිරණයක් හෝ වෙනත් බලවේගයක් යයි තවම සොයා ගෙන නැත.

අනෙක් පැත්තෙන් එය භෞතිකව නිරීක්ෂණය කළ හැක්කක්ද යන ගැටලුවත් විද්‍යාඥයන් හා චින්තකයන් තුළ පවතී.

එහෙත් ස්වකීය විද්‍යා ඥානය පදනම් කර ගනිමින් විශ්වය දෙස දාර්ශනිකව අවධානය යොමු කරන චින්තකයන්, විද්‍යා ප්‍රබන්ධ රචකයන් පමණක් නොව, විද්‍යා ක්ෂේත්‍රයෙන් පරිබාහිර කවියන්, ගීත රචකයන් පවා මේ පිළිබඳව ලිපි හා නිර්මාණ ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධතම කවියා ලෙස සැලකෙන මහගමසේකර ස්වකීය අවසාන කෘතිය වූ සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ නමැති කෘතියේ එක් පරිච්ඡේදයකද මිනිසාගේ හදවතෙහි ස්පන්දන රිද්මයේ සිට අනන්ත අප්‍රමාණ විශ්වයේ අසීමිත චක්‍රාවාට දක්වා වූ භ්‍රමණයන් එක්තරා රිද්මයකට සිදුවන්නේ යයි පෙන්වා දී ඇත.

ඒවා දෙස අවධානය යොමු කරන කල එක්වරම පෙනී යන්නේ පෘථිවිවාසීන් වන අප සමස්ත විශ්වයට අනුව කොයිතරම් නම් ක්ෂුද්‍ර දූවිලි අංශුවක්ද යන්න ය.

වඩාත්ම වදගත් කරුණ වන්නේ දැවැන්ත විශ්ව විඥානයක් විසින් කෙරෙන පාලනයකට අප යටත්ව සිටින කල එය අපගේ දෛවය, ඉරණම, ආදී වශයෙන් ඇතැමෙකුට පෙන්වා දිය හැකිය යන්නය.

අනෙක් පැත්තෙන් භෞතිකවාදී ලෙස බලන කල ද පෙනී යන්නේ සමස්ත විශ්වයේ ඇති මහා බල වේගයකට අප නතුව සිටින බව ය.

එය නම් භ්‍රමණය විසින් ඇති කර තිබෙන අපේ ජීවන සැකැස්මය. සූර්යයා වටා අපව භ්‍රමණය වීම, දිවා රාත්‍රී ඇතිවීම, ආදී කාරණා හැරුණු විට සූර්යයා විසින් ලබා දෙන ශක්තියෙන් අපගේ මුළු ජීවිතයම පාලනය කරන ආකාරයට අපට මොහොතකටවත් අමතක කළ නොහැකි දෙයක් නොවේ.

සූර්යයාද මේ විශ්ව ශක්තියේම කොටසකි. අපට ආහාර, වාතය, හා ශක්තිය ලබා ගැනීමට මුල්වන ගහකොළවල සිට අව්ව වැස්ස ද එම ශක්තියේ ම කොටසකි.

අද මෙන් දියුණු තාක්ෂණයක් නොතිබූ පුරාතනයේ සෘෂිවරයෝ පොළොවෙන් සහ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඈත අවකාශයේ ඇති තාරකා රාශීන්වල ශක්තිය අපගේ දෛවය පාලනය කරන අයුරු කියා දුන්හ. ඡ්‍යොතිෂය ලෙසින් අදටත් නොනැසී පවතින්නේ එම විද්‍යාව ය. සමීකරණ හා ගණිතමය සංකල්ප ලෙස ඔප්පු කෙරී නැතත් විශ්ව විඥානයක් පිළිබඳ අදහස අද ප්‍රබල ලෙස විද්‍යාඥයින් තුළද මුල් බැස ගෙන ඇති බව පෙනේ.

ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස දිවි ගෙවූ සම්මානනීය විද්‍යා ප්‍රබන්ධ රචක ආතර් සී ක්ලාර්ක් නම් විද්‍යාඥයා සිය කෘතීන් තුළ මේ පිළිබඳ නොයෙක් අවස්ථාවල කතාබස් කොට තිබේ. සඳෙහි, පෘථිවියෙහි සහ විශ්වයේ ඇතැම් ග්‍රහ ලෝකවල තනනු ලැබූ කළු කුහර මගින් දියුණු විශ්ව සංස්කෘතියක් ඇති කරන මහා විශ්ව විඥානයක් පිළිබඳව ඔහු විසින් සඳහන් කර තිබේ.

පෘථග්ජන මිනිසාට වුව සිය මනසේ වපසරියෙන් ඔබ්බට ගිය ආධ්‍යාත්මික බලයක් ලබාගත හැකි බවට විශ්වාසයක් ඔහුගේ චින්තනය තුළ ඇතැයි එම කෘතීන් පරිශීලනය කරන විට හැඟේ.

අපගේ පෞද්ගලික අදහසද එවැනි මහා බලයක් විශ්ව විඥානය තුළ ඇති බවය. මෙන්න මේ විඥානය අවබෝධ කර ගැනීමට අප ගන්නා උත්සාහය මෛත්‍රිය පෙරදැරි කර ගත් එකක් විය යුතු බව නම් දැනට ප්‍රත්‍යක්ෂ වී අවසන්ය. එය සෙසු ලෝකයාට යහපතක් උදාකර දෙන ආකාරයෙන් කෙනකුට ස්පර්ශ කළ හැකි වන්නේ ඒ අනුවය. සියලු ආකාරයේ විවිධාකාරයේ ව්‍යසනයන්ට විටින් විට ගොදුරු වන ලෝකය සුවපත් කරවනු පිණිස සුවිශේෂ විඥානයක් සහිත මනුෂ්‍යයන් ලොව බිහිවන්නේ මේ විශ්ව ඥානය මුල් කර ගනිමිනි.

එසේ නම් මේ මහා ශක්තිය මනුෂ්‍යයින් වන අපට ලබාගත නොහැකිද යන්න මේ මොහොතේ අපට ඇති වන ප්‍රශ්නයකි. එය ඇත්තෙන්ම ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය ජය ගත හැකි වන්නේ මෙය හෘදය සාක්ෂියේ අවංකභාවය සමඟ කෙරෙන ගනුදෙනුවක් වූ විටය.

එයින් ශක්තිමත් වීම කෙසේ වෙතත්, කුමක්දැයි අවබෝධ කර ගැනීමේ හැකියාව පවා ලබාගත හැක්කේ සන්සුන් වූ සිතකට පමණි. සන්සුන් වූ සිතක් ධ්‍යාන ගතවීමෙන්ද, සමාධිගත වීමෙන්ද, තමා හා විශ්වය ඒකාත්මික වූවායයි හැඟීමක් පුද්ගලයකු තුළ ඇතිවේ. එය මේ භෞතික ලෝකයේ රැකියාවකින් උසස්වීමක් ගැනීමට මුදල් ගෙවා ඩිප්ලෝමාවක් කරන අයුරින් සම්පූර්ණ කරගත හැක්කක් නොවේ. එහෙත් කෙනෙකුට එම අවබෝධයට පැමිණිය හැකිනම් ඔහු ඉතා බලවත් පුද්ගලයකු බවට පත්වේ. ඒ අන් කිසිවකින් නොව, ආධ්‍යාත්මික ශක්තිය අතිනි.

ගුප්ත ශක්ති ගවේෂණ මධ්‍යස්ථානයේ

මෙරින්සන් අතුකෝරාළ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.