සිතුම් පැතුම් සපලවේද? කලින් බලාගත හැකි දේව ශාස්ත්‍ර නිමිත්ත

අගෝස්තු 9, 2024

අතීතයේ භාරත දේශයේ විසූ ඍෂිවරුන් විසින් මිනිසාගේ යහපත උදෙසා යන්ත්‍ර හා මන්ත්‍ර නිබන්ධනය කෙරෙන ලද්දේය. ඒ අතර නිමිති ශාස්ත්‍ර පිළිබඳව ද ඔවුහු සඳහන් කළෝය. නක්ෂත්‍රය හා නිමිති ශාස්ත්‍ර එක දම්වැලක පුරුක් දෙකක් මෙනි. නිමිති ශාස්ත්‍රයෙන් දැනගත හැකි කරුණු බොහෝය. භාරත ඍෂිවරු නිබන්ධනය කළ නිමිති අතර නවග්‍රහ නිමිත්ත අෂ්ඨලෝක ධර්ම නිමිත්ත ශ්‍රී රාම නිමිත්ත ගර්‍ග¡ නිමිත්ත හා දේව ශාස්ත්‍ර නිමිත්ත ප්‍රධාන වේ.

අදත් සමහරුන් කිසියම් දෙයක් නැති වූ විට හෝ වෙනත් සුබාසුබ දෙයක් කලින් දැන ගැනීමට යන්නේ නිමිතිකරුවන් සොයාගෙනය. අපි කැට නිමිත්තක් අල්ලන්න යනවා යයි පවසන්නේ එවැනි අවස්ථාවලදී ය. ඉදිරියේ දී සිදුවන්නට යන දෙය කල්තියා දැනගැනීමට එදා ඍෂිවරුන් විසින් නිර්මාණය කරන ලද දේව නිමිති ශාස්ත්‍රය ඉදිරිපත් කරමි.

මෙහි ක්‍රමය - ඉෂ්ට දේවතාවුන් සිහිකොට ගෙන මලක් කඩාගෙන එමඟින් කුඩා ළමයෙකු ලවා තුන්වරක් කොටුවලට අත තබා එය අනුපිළිවෙළින් ලකුණු කර ගන්න.

එසේ නැත්නම් දිග හා පළල එක ගණනට සිටිනා සේ සුදු හඳුන් කැබැල්ලක් හරි හතරැස් කොට (දාදු කැටය සේ) එහි සතර පැත්තේ ඉහත සඳහන් චක්‍රය ලියා (1 - 2 - 10 - 100 ) තුන් වරක් උඩ දමා උඩට සිටින ඉලක්කම අනුපිළිවෙළින් ලියාගෙන පහත සඳහන් පලාපල ඒ ඒ අංකවලට අයත් කොටස්වලින් බලා දැනගත යුතුයි.

ප්‍රතිඵල

1 - 1 - 1 දෙවියන්ගේ ආධාරයෙන් ඔබ සිතුදෙය සපල වේ. නැති වූ සිව්පාවෙක් හෝ වෙන යම් දෙයක් වේ නම් එය වහා ලැබේ. ගමනක් ගොස් සිටි කෙනෙක් ගැන නම් ඔහුද ඉතා ඉක්මනින් පැමිණේ. ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කටයුතු සපල වේ.

1 - 2 - 2 සිතු අදහස අනුව වැඩ කළොත් බොහෝ අලාභ හානි හා විපත් ඇතිවිය හැකිය. විරුද්ධකාරයන් ඇතිවේ. ඔබ ගමන යාමට සිතා ගත්තේ නම් එය අත්හරින්න.

100 - 100 - 100 අදහස ඉටුවේ. ගොවිතැන් කටයුතු සඵල වන අතර මිතුරෙකුගේ උදව්වෙන් සතුරන්ගෙන් ජය ලැබේ.

100 - 100 - 1 ඔබට ඉතා අසුබයි. සිතු අදහස සිතින් බැහැර කර ගන්න කවුරුන් හෝ ඔබට මේ ගැන පැවසුවේ නම් එය විශ්වාස නොකරන්න.

10 - 2 - 2 ඔබට දේව කෝපයක් ඇති වී තිබෙන බැවින් කරනා කියනා දෙය ඉටු නොවේ. කෙනෙකුට යටත් නොවනා බැවින් කරදර ඇතිවේ. දෙවියන්ට පූජා පවත්වා පින් පෙත් දෙන්න. 2 - 2- 10 ජීවිතයට හානියක් නොවේ. රෝගයක් නම් එය සුවවේ. සතුරන් මිතුරු සැප සම්පත් ගෙන දේ.

10 - 1 - 10 - සිතූ අදහස සඵල නොවේ. පුණ්‍ය ස්ථානවලට පැමිණේ නම් එම අදහස ඉටුවේ. සුබඵල ලැබේ. ස්ත්‍රියක සමඟ විරුද්ධයක් නම් ඇය යළි මිතුරු වේ.

100 - 2 - 2 සිතුවිල්ල අසාර්ථකයි. ඉටු නොවේ. මධ්‍යම ප්‍රමාණයේ සුබාසුබ ඇතිවිය හැකිය.

1 - 100 - 100 සිතා සිටින අදහසින් හානි පැමිණිය හැකිය. කරන්නට යන රැකියාවෙන් ප්‍රයෝජනයක් නැත. රෝග පීඩා ඇතිවේ. විවාහය ප්‍රමාද වේ. පුණ්‍ය ක්‍රියාවන්හි යෙදීමට සිතට ගන්න.

10 - 10 - 1 ඔබ ඉවසිලිවන්තව කටයුතු කළේ නම් වස්තුව ලැබේ. විවාහය සිදුවේ. පිය පාර්ශ්වයෙන් භූමි ලාභ ඇතිවේ.

2 - 1- 10 සිතූ අදහස ඉටු නොවේ. එය සිතින් ඉවත් කර ගන්න. විරුද්ධකාරයින්ගෙන් අපල උපද්‍රව ඇතිවිය හැකි බැවින් සිහිනුවණින් යුතුව කටයුතු කරන්න.

10 - 10 - 2 අදහස නිෂ්ඵලයි පරිස්සම් වන්න.

1 - 10 - 1 ඔබගේ පවුලේ තත්ත්වය ඉතා කෙටි කලකදී වාසනාවන්ත වේ. සිතූ පැතූ සියලු සම්පත් ලැබේ.

1 - 10 - 2 ඔබේ පළමු සතුරා මිතුරු වේ. උසස් අයගෙන් උපකාර ලැබේ. නෑදෑයන් සතු ධනය හිමිවේ. ප්‍රශංසා ලැබේ.

100 - 100 - 10 සතුරන් මිතුරන් වේ. ඥාතීන්ගෙන් සහ සොරුන්ගෙන් ලාභ ලැබේ. ආභරණවලට හිමිකරුවකු වේ.

2 - 10 - 2 ගනුදෙනු නොලැබී යයි. අදහස හරි නොයයි. වෙළෙඳාමෙන් පාඩු ලැබේ. සිවුපාවුන්ට හානි පැමිණේ. රෝගාබාධ ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

10 - 1 - 1 අයහපත් අතහැර යහපත් කටයුතු කිරීමෙන් අදහස සඵල වේ. නඩුහබවලින් ජය ලැබේ. උතුමන්ගෙන් කීර්ති ප්‍රශංසා හිමිවේ.

10 - 100 - 1 - ලෝකඩ ආදිය වෙළෙඳාමෙන් ප්‍රයෝජනයක් නො ලැබේ. ස්ත්‍රියක නිසා ඉඩකඩම් ලාභ ඇති කරයි.

100 - 2 - 10 සෑම කටයුත්තකින්ම ජය ලබයි. තමා සිතූ දෙය කෙනෙකු නිසා මෙතෙක් ප්‍රමාද වුවත් එය ඉක්මනින් ඉටු වෙයි. රෝගයක් නම් ඉක්මනින් සුවය ලැබේ.

1 - 100 - 10 - අදහස සාර්ථකයි. ආධාර ලැබේ.

1 - 2 - 10 ගොවිතැන් කටයුතු ගැනනම් එය සාර්ථකයි. වෙළෙඳාමක් ගැන නම් ඉන් ප්‍රයෝජන ඇති වේ. ස්ත්‍රීන් හා දරුවන් ලැබේ.

100 -2 - 100 ඔබට සතුරෙක් සිටී. ඔහු සමඟ දබරයට යාමෙන් වළකින්න. කරන කියන කටයුතු අසාර්ථක වේ. දෙවියන්ට පින් පෙත් දෙන්න.

10 - 100 -10 ඔබ සිතු දෙය සපල වේ. සිතු අය සමඟ කතා කළොත් නොවරදවාම එම කටයුත්ත ඉටුකර ගත හැකිය. ස්ත්‍රී සැප රන් රුවන් හා ගව සම්පත් ලැබේ.

10 - 2 - 1 - උතුමන් මිතුරු වේ. ඖෂධවලින් ගුණ ලැබේ. රෝග පීඩා සුවවේ. විරුද්ධවාදීන් ගැන සිතා ගමන අතපසු නොකරන්න. සියල්ලෙන්ම ජය ලැබේ.

2 - 100 - 2 මෙතෙක් සිතා සිටි කරුණු යහපත් නොවේ. හවුලේ වෙළෙඳාම් නොකරනු. ධන හානි හා ශාරීරික පීඩා ඇතිවේ. සිවුපා පුත්‍ර මිත්‍ර ආදීන්ගෙන් විපත් ඇති කරවයි. කුල දෙවියන් පිදීමෙන් මඳක් ගුණ ලැබිය හැකිය.

10 - 100 -100 - දෙවියන්ගේ ආධාරයෙන් කුසල් කිරීමට සිත යොදන්න. උතුමන්ගේ ආශ්‍රයෙන් විරුද්ධවාදීකම් දුරු වේ. යක්ෂ ගෙවල ප්‍රේත සූනියන් දෝෂ දුරු වේ. සිතූ පැතූ සම්පත් ලැබේ.

1 - 2 - 1 උසස් අය මිත්‍රවීම ඉඩකඩම් ලැබීම මෙහෙකරු සිවුපාවුන් වැඩිවීම සිදුවෙයි. සිතූ දෙය ඉටුවේ.

2 - 1 - 2 රැකියාව නැතිවේ. ස්ත්‍රීන් නිසා නින්දා අපහාස ලැබේ. රෝග දුක් හා පීඩා විපත් පැමිණේ. පුත්‍ර හානි සිදුවේ.

1 - 100 - 1 සතුරන්ගෙන් ජය ලැබේ. ග්‍රහ අපල දුරුවේ. රෝගය සුවවේ. අධික ධන ලාභ ලැබේ.

100 - 10 - 100 -උතුමන් ආශ්‍රයෙන් රාජ්‍ය ගෞරවය ලැබේ. නැවත විවාහය සිදුවේ. පුත්‍රලාභ අදහස් සපල වේ. වස්තු ලාභ නීරෝගි බව හා සතුට ඇති කරයි.

100 - 10 - 1 - ඉහත දැක් වූ පලයමයි.

2 - 10 - 100 දැනට ඔබ පදිංචි වී සිටින ස්ථානය හොඳ නැත. අදහස් නිෂ්ඵල වේ. සොර සතුරු බිය ඇතිවේ.

100 - 1 - 1 සහ 2 - 100 - 10 - කුල දෙවියන්ගේ ආධාරයෙන් සිතූ අදහස සපල වේ. නා නා මාර්ගවලින් සැප ලැබේ. මුහුදින් එතෙර දේපළවල හිමිකම් ලැබේ.

1 - 1 - 10 - ග්‍රහ අපල කරණකොටගෙන විපත් ඇතිවිය හැකිය. ස්ත්‍රී සමාගමයෙන් කරදර ඇතිවේ. පුත්‍රයන් වෙන් වෙයි. සොර සතුරන්ගෙන් හානි පැමිණේ.

10 - 10 - 100 - ශෝකය දුරුවෙයි. වෙන් වූ අය නැවත පැමිණේ. සොරුන් ගෙන ගිය දෑ නැවත ලැබෙයි. අදහස් සාර්ථක වේ.

2- 2- 1 සිතූ දෙය ඉක්මනින් ඉටුවේ. පාට ද්‍රව්‍යයන්ගෙන් ලාභ ගුරු උපදේශ ලැබේ. විවාහය ඉටුවේ.

10 -100 - 2 - ඔබ ඉදිරියට පැමිණෙන සතුරාට බිය නොවන්න. ගොවිතැන් වෙළෙඳාම් කටයුතු සාර්ථක වේ.

100 - 10 - 2 - මවු පක්ෂයෙන් ලාභ ලැබේ. උතුමන්ගෙන් වෙන්වීමට සිදුවේ. පහත් අය සමඟ මිත්‍රවීම නිසා අදහස ප්‍රමාද වෙයි. තරමක් ප්‍රයෝජනයි.

100 - 100 - 2 සිතූ සියල්ල ලැබේ. සතුරන් තුන් දෙනෙකි. එහෙත් භය නොවෙනු. සිතූ දෙයින් ජය හා සතුට හිමිවේ.

1 - 10 - 100 දුර සිටි කෙනෙක් පැමිණේ. සිතු දෙය යහපත් වේ. ඔහුගෙන් ඔබට බොහෝ පල ප්‍රයෝජන ලැබේ.

100 - 1 - 100 ස්ත්‍රීන් වෙන්වීම උණ රෝග භූමි හානි හා කල කෝලාහල ඇතිවිය හැකිය. කටයුතු අතපසු වේ. උතුමන්ගෙන් සුළු ප්‍රයෝජන ලැබේ.

1 - 10 - 10 - සිතු දෙය ඉටුවේ. සිරෙන් නිදහස් වේ.

2 - 1 - 10 අදහස සඵල වේ. ස්ත්‍රී සැප වස්ත්‍රාභරණ භූමි ලාභ හා වෙළෙහෙළඳාමෙන් ලාබ ලැබේ.

2 - 2 - 2 වස්ත්‍රාභරණයන්ට හා රැකියාවට හානි පැමිණේ. දරුවන්ගෙන් කරදරද රෝග පීඩා ද වෙළෙඳාමෙන් ස්වල්ප ලාභද ඇති කරයි.

10 - 10 - 10 ඔබේ සියලු විපත් දුරු වී බන්ධු මිත්‍රාදීන්ගෙන් ආධාර උපකාර ලැබේ. සිතේ ධෛර්යයද වෙන් වූ අයෙකුගේ ආධාරද ධාන්‍ය ලාභ ද ඇතිවේ.

1 - 100 - 2 දෙවියන්ගේ ආධාරයෙන් සැමගෙන් උදව් ලැබේ. සිද්ධස්ථානවලට යාමෙන් ලාභ ප්‍රයෝජන අත්වේ.

10 - 1 - 10 පුත්‍රයන් ලැබීම, විවාහ පිළිබඳ සතුට අදහස ඉටුවීම, සිතේ චංචල ගතිය මඟහැරී යාම විරුද්ධකාරයින් මිතුරුවීමද වේ.

2 - 10 - 1 ඔබේ අදහස ප්‍රයෝජන සහිතයි. පුත්‍රයින් ලැබේ. වස්තු හා වස්ත්‍රාභරණ ලාභ ඇති කරයි.

1 - 1 - 10 සහ 10 - 2 - 1 සඳහා ප්‍රතිඵල රතු මිනිසුන්ගෙන් අදහස ඉටුවේ. කළු අය කරණකොට ගෙන විරුද්ධවාදීකම් ඇතිවේ. පිට පළාත්වලින් ධාන්‍යාධාර ලැබේ.

සිත සන්සුන් කරගෙන නිමිත්ත අල්ලන්න. සාර්ථක ප්‍රතිඵල ලැබේ. දේව ශාස්ත්‍ර නිමිත්ත කෙසේදැයි ඔබත් අත්හදා බලන්න.

ගුප්ත ශාස්ත්‍රවේදී, බණ්ඩාරවෙල

එස්.ටී.එස්. ද සිල්වා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.