යෝග කාරක ග්‍රහයාගේ බලපෑම රජකමටත් හදිසි අනතුරුවලටත් හේතුවන හැටි

අගෝස්තු 9, 2024

ලග්න කේන්දරයක කේන්ද්‍ර ස්ථානයකට සහ ත්‍රිකෝණ ස්ථාන දෙකකට හිමිකම් කියන හෝ ත්‍රිකෝණ ස්ථානයකට හිමිකම් කියන ග්‍රහයා ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී යෝග කාරක ග්‍රහයා යනුවෙන් හඳුන්වනු ලබයි.

ඒ අනුව මේෂ ලග්න කේන්දරයට 9 -12 වැනි භාවයට හිමිකම් කියන ගුරු ග්‍රහයාද, වෘෂභ ලග්නයට කේන්ද්‍ර ස්ථානයක් වන 10 වැන්නට සහ ත්‍රිකෝණ ස්ථානයක අධිපතිවන සෙනසුරු ග්‍රහයාද, මිථුන ලග්නයට 5 - 12 අධිපති සිකුරු ග්‍රහයා ද, කටක ලග්නයට 5 - 10 අධිපති අඟහරු ග්‍රහයාද, සිංහ ලග්නයට 4 - 9 අධිපති අඟහරු ග්‍රහයාද, කන්‍යා ලග්නයට 2 - 9 අධිපති සිකුරු ග්‍රහයාද, තුලා ලග්නයට 4 - 5 අධිපති සෙනසුරු ග්‍රහයාද වෘශ්චික ලග්නයට 9 අධිපති සඳුත් 10 වැන්නාධිපති රවිත් ප්‍රබල යෝගකාරක ග්‍රහයන් වෙති. ධනු ලග්නයට 9 වැන්නාධිපති රවි ද මකර ලග්නයට 5 - 10 අධිපති සිකුරුද, කුම්භ ලග්නයට 4 - 9 අධිපති සිකුරුද මීන ලග්නයට 2 - 9 අධිපති කුජ ද ප්‍රධාන යෝග කාරක ග්‍රහයන් වෙති. මෙකී යෝග කාරක ග්‍රහයන් ජන්මියා ගේ ජීවිත ආරක්ෂා කරන අතර ධනය, බලය, ප්‍රසිද්ධිය, වාසනාව, ගේදොර, ඉඩකඩම් ලබා දෙති. ඒ අනුව ජන්මියකුට දීර්ඝායුෂ සහිත සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීමට මෙකී යෝග කාරක ග්‍රහ බලය අත්‍යවශ්‍ය වන්නේ ය.

ඒ අනුව ඉහත විග්‍රහ කළ කරුණු පිළිබඳව සත්‍ය වූ පැහැදිලි වූත් අවබෝධයක් ලබා ගත හැක්කේ අකල් මරණයට ගොදුරු වූ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කේන්දර අධ්‍යනය කිරීම වන නිසා මම ඒ සඳහා අප රට වැසියන් හොඳින් දන්නා හඳුනන දේශපාලඥයන්ගේ කේන්දර සටහන් කිහිපයක් උපයෝගී කර ගන්නෙමි. ඒ අනුව පළමු කේන්දරය අයත් වන්නේ මෙරටම යටත් විජිතවාදීන්ගෙන් නිදහස් ලබා දුන් මෙරට ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතාටය.

උපත 1884.10.20 සඳුදා රාත්‍රී 10.52 මීරිගමදී විසා නැකැතේ 2 පාදයෙන් උපත ලබා ඇති හෙයින් ගුරු මහ දශාව ඉදිරියට වර්ෂ 10යි මාස 06යි දින 4ක් ශේෂව තිබුණි.

ඉහත ලග්න කේන්දරයේ භාග්‍යස්ථානාධිපති සෙනසුරු ලග්නයේ යෙදීම, ලග්නාධිපති බුධගෙන් භද්‍ර නම් පංචමහා පුරුෂ යෝගය යෙදීම, 6 අධිපති අඟහරුගෙන් හර්ෂ නම් විපරිත රාජයෝගය සහ මහීපාල යෝගය යෙදීම රාජකීය ග්‍රහයන් වන රවි, සඳු ස්වක්ෂේත්‍ර බලය ලැබූ විට බුධ, කුජ යන ග්‍රහයන් දෙදෙනාම මැදිවීමෙන් පැන නැගුණ බලගතු ශුභ කර්තරික යෝගය ඩී.ඇස්. සේනානායක මැතිතුමා ශ්‍රී ලාංකිකයන්ගේ මතකයෙන් කිසිදා ගිලිහී නොයන අමරණීය දේශපාලන චරිතයක් වීමට හේතු වුවද ඒ මහතාගේ මිථුන ලග්න කේන්දරයට ප්‍රබල යෝග කාරක ග්‍රහයා වන සිකුරු ග්‍රහයා උත්්පත්තියේ දී දුර්වල වීම නිසා අවුරුදු 68 දී අසුපිටින් වැටී මිය ගියේ ය. ඒ පිළිබඳව ඉහත කේන්දරයට අනුව කරුණු විමසා බලන කල 5 - 12 අධිපති සිකුරු 3 වැන්නේ සතුරු වූ බාධක ස්ථානාධිපති ගුරු සමඟ යෝගව සතුරු ස්ථානාධිපති කුජගෙන් පීඩා වූ ලග්නයේ සිටින 8 අධිපති ශනිගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩාවීම සහ 5 වැන්නේ නීච රවිගේ සහ 10 වැන්නේ පතිත කේතුගේ පූර්ණ දෘෂ්ඨිය සිකුරුගෙන් 12 වැන්නට වැටීමෙනුත් සිකුරුගෙන් 2 වැන්නේ රාහු පතිතව සිටීමෙන් පැන නැඟුණු පාපී කර්තරි යෝගයකට මැදිව යෝගකාරක සිකුරු අතිශයින් පාප පීඩිත වීම ඩී.ඇස්. සේනානායකයන් අකල් මරණයකට ගොදුරුවීමට හේතු වූ ප්‍රධාන ග්‍රහ බලය වන්නේය.

දැන් අපි තවත් උදාහරණ කේන්දරයක් දෙස අපගේ අවධානය යොමු කරමු.

උපත 1899.01.08 ගම්පහදී ඉරිදා උදේ 10.16 ට වෘෂභ නවාංශකයෙන් අනුර නැකතේ 1 පාදයෙන් උපත ලද හෙයින් සෙනසුරු මහ දශාව ඉදිරියට වර්ෂ 8 යි මාස 10 යි දින 08ක් ශේෂව තිබුණි. ඉහත කුම්භ ලග්න කේන්දරය අයත් වන්නේ මෙරට 4 වැනි අගමැති බවට පත් වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාටය. එම කුම්භ ලග්න කේන්දරයේ ලග්නාධිපති සෙනසුරු 10 වැන්නේ යෝග කාරක සිකුරු සමඟ සිටීමත් සහජ පාපීන් වන රවි, රාහු උපචය භාවයක් වන 10 වැන්නේ කුම්භ ලග්නයට අර්ධ යෝග කාරක ග්‍රහයෙක් වන බුධ සමඟ යෝගව සිටීම රාජ්‍ය බලය ලබාදෙන ප්‍රබල ග්‍රහ බලයක් වන නමුත්, එකී රාජ්‍ය බලය කෙටි කාලයකට සීමා වූවකි. එයට ප්‍රධාන හේතුව අප ඉහත කුම්භ ලග්න කේන්දරයේ අප මාතෘකාවට සම්බන්ධ යෝග කාරක සිකුරු ග්‍රහයාගේ බලය දුර්වල වීමයි. ඒ අනුව බණ්ඩාරනායක මහතාගේ ඉහත කුම්භ ලග්න කේන්දරයේ යෝගකාරක සිකුරු ග්‍රහයාට 10 වැන්නේ නීච සඳු සහ සතුරු ක්ෂේත්‍ර සෙනසුරු සමඟ යෝගවීමෙන් පීඩා වී ඇති අතර, සිකුරු තැන්පත් රාශි අධිපති අඟහරු දුෂ්ට භාවයක් වන 6 වැන්නෙහි නීචව ඇත. එම සිකුරු තවදුරටත් රාහු, කේතු, සතුරු ගුරු, නීච කුජ යන ග්‍රහයන්ගෙන් පාප කර්තරීක යෝගයක මැදිවීමෙන් අතිශයින් පීඩාවී ඇත. ඒ අනුව මෙකී යෝග කාරක සිකුරු ග්‍රහයාගේ පීඩාවීමේ ප්‍රතිඵලය වූයේ 1959 ස්වකීය දේශපාලන ප්‍රතිවාදියෙක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ජීවිතක්ෂයට පත්වීමයි.

දැන් අපි තවත් උදාහරණ කේන්දරයක් වෙත අපි අපගේ අවදානම යොමු කරමු.

උපත 1924 ජූනි 23 අලුයම 03.27 කොළඹදී ධනු නවාංශකයෙන් ගුරු හිමි පුවපුටුප නැකතේ 2 වෙනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් ගුරු මහ දශාව ඉදිරිය වර්ෂ 11 මාස 9 දින 18 ක් ක්ෂේව තිබුණි. අංක 2 උදාහරණ කේන්දරය අයත් වන්නේ මෙරට 2 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත් වූ ආර්. ප්‍රේමදාස මැතිතුමාටය. එම කේන්දරයේ මහජනයා නිවේදන කෙරෙන සිව්වැන්නාධිපති සඳු 11 වැන්නෙහි ලග්නාධිපති කුජ සමඟ යෝගව සිටියදී 5 වැන්නාධිපති රවි සමඟ යෝග වූ සිකුරුගේ පූර්ණ දෘෂ්ටිය ලග්නාධිපති අඟහරු සහ මහජන ස්ථානාධිපති සඳු ලක්වීම, ප්‍රබල ජනවරමක් ලබා දෙන බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන නමුත් මේෂ ලග්නයට යෝග කාරක වන බ්‍රහස්පති ග්‍රහයාට 8 වැන්නේ විමල නම් විපරිත රාජ යෝගකට සම්බන්ධව සිටියද 3 වැන්නෙහි සිටින මාරක ස්ථානාධිපති සිකුරු සමඟ පරිවර්තන යෝගයක් උදා කරමින් සිටි 6 අධිපති බුධගේ සප්තම දෘෂ්ටියටත් බාධක භාවයක් වන 11 වැන්නෙහි පතිත 8 අධිපති අඟහරු සහ සතුරු කේතු ගෙන් 5 වැන්නෙහි සිටින සතුරු රාහුගෙන් කේන්ද්‍රය ගුරු ග්‍රහයා ලක්වීමත්, වක්‍ර නිසා නීච බලය ලැබූ බාධක ස්ථානාධිපති සෙනසුරුගෙන් සහ සතුරු රාහුගෙන් යෙදුණු පාප කර්තරී යෝගයකින් යෝගකාරක ගුරු ග්‍රහයා අතිශයින් පාප පීඩිත වීම නිසා ලැබූ ජනවරම කෙටි කාලයකට සීමා වූ අතර ඒ අනුව ප්‍රේමදාස මහතා 1993 මැයි පළමු වැනිදා මැයි රැළියකට සහභාගිවෙමින් සිටියදී ත්‍රස්තවාදියෙකු විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

උපත 1945.06.29 උදේ 09.56ට හොරගොල්ලෙහිදී මීන නවාංශකයෙන් දෙනට නැකතේ 2වෙනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් අඟහරු ග්‍රහයාට අයත් මහ දශාව වර්ෂ 5 යි මාස 0 දින 26 ක් ශේෂව තිබුණු සිව්වැනි උදාහරණ කේන්දරය අයත් වන්නේ මෙරට පළමු විධායක ජනාධිපතිවරිය වන චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනියටය. එම කටක ලග්න කේන්දරයේ සිව්වැන්නාධිපති සිකුරු 5 - 10 අධිපති අඟහරු සමඟ යෝගව ලග්නයට අර්ධ යෝගකාරක ගුරුගේ පූර්ණ දෘෂ්ටියට ද 7 වැන්නෙහි සිටින ලග්නාධිපති සඳුගේ කේන්ද්‍රය දෘෂ්ටියට ලක්ව බලවත්ව සිටීම රාජ්‍ය බලය ලබාදෙන ග්‍රහ පිහිටීමකි. ඒ නමුත් දේශපාලන කටයුතුවලදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ඇසකට තුවාල සිදුවිය. ඒ පිළිබඳව අප මාතෘකාවට අනුව කරුණු විමසා බලන කල කටක ලග්නයට යෝග කාරක අඟහරු ග්‍රහයා 10 වැන්නේ දිග් බලය ලබමින් රුචක නම් පංචමහා පුරුෂ යෝග උදා කරමින් ලග්නයට ශුභ පල දෙන ලග්නාධිපති සඳු සහ අර්ධ යෝගකාරක ගුරු යන ග්‍රහයන්ගේ දෘෂ්ටිය ලබමින් සිටීම යෝග කාරක අඟහරු ග්‍රහයා බලවත් කරන සාධකයක් වන අතර, අනෙක් අතට එකී අඟහරු කටක ලග්නයට අශුභඵල දෙන සිකුරු සමඟ යෝගව 6 වැන්නේ සිටින පාපී කේතු ගේ පූර්ණ දෘෂ්ටියට ලක්ව සිටීමත් නවාංශක කේන්දරයේ අඟහරුට සතුරු නවාංශකයක පතිතව සිටීම අඟහරු ග්‍රහයාගේ බලය දුබල කරවන සාධක වන අතර ඒ අනුව ශුභ අශුභ බලපෑම් දෙකම යෝග කාරක අඟහරු ලැබීම නිසා ඇයගේ ඇසකට තුවාල සිදුවුවද ඇගේ ජීවිතය බේරුණි.

දැන් අපි තවත් උදාහරණ කේන්දරයක් වෙන අපි අපගේ අවධානය යොමු කරමු.

උපත 1906.09.17 කොළඹදී කටක නවාංශකයෙන් පෙ.ව. 07.27 ට මා නැකතේ 4 වන පාදයෙන් උපත ලබා ඇති ඉහත කන්‍යා ලග්න කේන්දරය අයත් වන්නේ මෙරට ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතාටය. එම කන්‍යා ලග්න කේන්දරයේ සිව්වැන්නාධිපති ගුරු 10 වැන්නෙහි පතිතව දෙවැන්නේ නියතික යෝග කාරක සිකුරු සහ 6 වැන්නෙහි පතිත අර්ධයෝග කාරක සෙනසුරු සමඟ ඇති කර ගන්නා මහ ත්‍රිකෝණ යෝගයක් 11 වැන්නෙහි රාහු පතිතවීම යන ග්‍රහ බලයන් ජේ.ආර්. ජයවර්ධන මහතාට ප්‍රබල ජනවරමක් හිමි වන බව පෙන්වාදෙන ග්‍රහ බලයන් වෙයි. ඒ අනුව ඒ මහතාගේ රාජ්‍ය පාලන කාලයෙදි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් විසින් ඒ මහතාට පාර්ලිමේන්තුවේදී එල්ල කරන ලද අත්බෝම්බ ප්‍රහාරයකින් ඒ මහතාගේ ජීවිතයට කිසිදු අනතුරක් තුවාලයක් නොලැබ බේරුණු අතර ඒ පිළිබඳව ඉහත ලග්න කේන්දරයට අනුව කරුණු විමසා බලන කල කන්‍යා ලග්නයට ප්‍රබල යෝග කාරක ග්‍රහයා වන සිකුරු 2 වැන්න වූ තුලාවේ ස්වක්ෂේත්‍රව පියුමාකාර යෝග උදා කරමින් ලග්න කේන්දරයට ශුභඵල දෙන අර්ධ යෝග කාරක සෙනසුරු ලග්නාධිපති බුධ යන ග්‍රහයන් ශුභ බලපෑමට ලක්ව නවාංශක කේන්දරයේ සිකුරු තම උච්ච නවාංශකය වන මීන නවාංශකයේ තැන්පත්ව සිටීම ජේ.ආර්. ජයවර්ධන මහතා සතුරු ප්‍රහාරවලින් ජීවිතයට කිසිදු අනතුරක් සිදු නොවීමට හේතු වූ ග්‍රහ බලය වන්නේ ය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.